ඡන්ද ප්‍රතිඵලය | දිනමිණ

ඡන්ද ප්‍රතිඵලය

සාධාරණ හා සාමකාමී මැතිවරණයක් පැවැත්වීමට හැකිවීම ගැන කව්රුත් සතුටු විය යුතු ය. මෙබඳු සාමකාමී මැතිවරණයක් පැවැත්වෙන්නේ අපේ දේශපාලන ඉතිහාසයේ බොහෝ කලකට පසුව ය. සාධාරණ හා යුක්තිසහගත මැතිවරණයක් පැවැත්වෙන්නේ ද බො‍හෝ කලකට පසුව ය. විදේශීය නිරීක්ෂකයන්, ස්වාධීන නිරීක්ෂකයන් මෙන් ම මැතිවරණය පිළිබඳ අවධානයෙන් සිටි සංවිධාන ද මේ තත්ත්වය පිළි ගනී. විදේශීය නිරීක්ෂකයන් සිය දෙනකු පමණ ඡන්ද කටයුතු නිරීක්ෂණය කළ අතර ඒ කිසිවකු චෝදනා නඟා නැත. ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ හොඳ සහතිකයක් මේ නිරීක්ෂකයන් ලබා දෙනු ඇත.

මෙවර පළාත් පාලන මැතිවරණයේ කැපී පෙනෙන ලක්ෂණ කිහිපයක් තිබිණි. ඉන් ප්‍රධාන වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ජනතාව දැක් වූ බලවත් උනන්දුව ය. ඇතැම් දිස්ත්‍රික්කයක ඡන්දය භාවිතය 85% 90% දක්වා ඉහළ නැඟ තිබිණි. උතුරු නැ‍ඟෙනහිර ප්‍රදේශවල පවා ඡන්දය කෙරෙහි බලවත් උනන්දුවක් පැවැතිණි. එයින් පැහැදිලි වන්නේ මැතිවරණ කෙරෙහි විශ්වාසයක් මහජනයා තුළ ගොඩනැගී ඇති බව ය. ඇතැම් විශේෂඥයන්ගේ පුරෝකථන මඟින් කියැවී තිබුණේ මෙවර මැතිවරණයේ දී සැලැකිය යුතු පිරිසක් ඡන්දය පාවිච්චියෙන් වැළකී සිටින බව ය. එහෙත් එම පුරෝකථන ඛණ්ඩනය කරමින් වයස්ගත, ආබාධිත අය පවා ඡන්දපොළට පැමිණියහ.

මැතිවරණයේ තවත් විශේෂතාවක් වන්නේ රාජ්‍ය බලය හෝ රාජ්‍ය සම්පත් හෝ කිසිඳු දේශපාලන කාර්යයක් සඳහා යොදා නො ගැනීම ය. දේශපාලන කාර්යයක් යන්නෙන් මෙහිලා අදහස් වන්නේ පක්ෂයක මැතිවරණ ජයග්‍රහණය සඳහා ඉහත කී දේවල් යොදා ගැනීම ය. රාජ්‍ය බලය මෙන් ම රාජ්‍ය සතු සම්පත් ද දේශපාලන කටයුතු සඳහා යොදාගත හැක්කේ බලයේ සිටින පක්ෂයට ය. වත්මන් පසුබිමට අනුව එම හැකියාව එක්සත් ජාතික පක්ෂයට මෙන් ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ද තිබිණි. විශේෂයෙන් ජනාධිපතිවරයාට හා අගමැතිවරයාට එය කළ හැකි ව තිබිණි. මේ දෙදෙනා ම දේශපාලනයට අවශ්‍ය පූර්වාදර්ශ ලබාදී ඇතැ’යි කිව හැකි ය.

මැතිවරණ නීතිය අකුරටම ක්‍රියාත්මක වීම මෙවර මැතිවරණයේ තවත් විශේෂතාවකි. මැතිවරණ කොමිසම සිය රාජකාරිය අකුරටම ඉටුකර ඇතැ’යි කියන්නට පුළුවන. මේ නිසා ප්‍රචාරක කටයුතු විධිමත් විය. ප්‍රචාරක කටයුතු සඳහා නිරපරාදේ වැය වන විශාල මුදල් කන්දරාවක් ඒ මඟින් ඉතිරි විය. ප්‍රචාරක කටයුතු නිසා පරිසරයට සිදුවන විශාල හානිය ද ඉන් වැළකී ගියේ ය. ප්‍රචාරක කටයුතු සඳහා පොලිතීන් යොදා ගැනීම තහනම් විය. එය හොඳ දෙයකි. ප්‍රචාරක කටයුතු සිදුකළ යුතුව තිබුණේ සීමාවන් ඇතිව බැවින් ගැටුම් අව ම වූ බවක් ද දකින්නට පුළුවන. ප්‍රචාරක කටයුතු මූලික කොට පක්ෂ අතර ගැටුම් ඇතිවීම සාමාන්‍ය දෙයක් බවට පත් ව තිබිණි.

‍මැතිවරණ රාජකාරියෙහි නියුක්ත නිලධාරීන් අපක්ෂපාතී ලෙස ද ස්වාධීන ලෙස ද අභිමානයෙන් කටයුතු කරනු දක්නට ලැබිණි. මන්ත්‍රීවරයකු ඡන්ද පොළක් තුළදී ජන මාධ්‍යයට අදහස් දක්වමින් සිටි අතර පොලීසිය එය වහාම නැවැත්වී ය. ඡන්ද පොළක දූෂණයක් ඇතිවීමට නො හැකි ලෙස ආරක්ෂාව තරකර තිබිණි. නිලධාරීහු ද නීතිය ක්‍රියාත්මක කිරීමට උත්සුක වූහ. මැතිවරණ රාජකාරියෙහි නියුතු රාජ්‍ය නිලධාරීන් මෙබඳු නිදහසක් හා අභිමානයක් භුක්ති විඳින්නේ බොහෝ කාලයකට පසුව බව කිව යුතු ය. මීට පෙර සිදු වූයේ දේශපාලකයන්ගේ බලපෑමට අනුව නිලධාරීන් ක්‍රියා කිරීම ය. එය කණපිට හරවන්නට හැකිවීම විශාල ජයග්‍රහණයකි.

1969 සිට ම අපේ රටේ ක්‍රියාත්මක වූයේ සරල මැතිවරණ ක්‍රමයකි. එය කොට්ඨාසයට වගකියන මහජන නියෝජිතයකුගෙන් සමන්විත ඡන්ද ක්‍රමයකි. 1977න් පසු සමානුපාතික ඡන්ද ක්‍රමය අපට හඳුන්වා දෙනු ලැබිණි. දියුණු රටවල් ගණනාවක් ම මේ ක්‍රමය භාවිත කරති. මේ ක්‍රමය තරමක් සංකීර්ණ වන්නේ වුව සුළු ජන කණ්ඩායම්වලට ඉන් යුක්තියක් ඉටු වූ බව කිව හැකි ය. එහෙත් මේ ක්‍රමය තුළ පවත්නා මනාප ක්‍රමය කාගේත් විවේචනයට ලක්විය. එය ශ්‍රී ලංකාව වැනි රටකට හානිකර බව බොහෝ දෙනාගේ මතය විය.

පළාත් පාලන මැතිවරණයේ දී පළමුවරට මිශ්‍ර ක්‍රමයක් මෙවර භාවිත විය. 60%ක් කොට්ඨාස ක්‍රමයට හා 40%ක් සමානුපාතික ක්‍රමයට වශයෙන් ය. බොහෝ දෙනකු මේ ක්‍රමය අගය කරන බව ද එයින් යුක්තිය ඉටු වන බව ද විශ්වාස කළ හැකි ය. එක අතෙකින් මහජනයාට හා කොට්ඨාසයට වගකියන මහජන නියෝජිතයකු පත්වෙයි. තව අතෙකින් සුළු පක්ෂවලට හා කණ්ඩායම්වලටද සාධාරණය ඉටු වෙයි. කාන්තා නියෝජනය 25%ක් ලෙස ගණනය වීම නිසා තවත් සමාජ යුක්තියක් ඉටුවන බව පෙනෙයි. මෙලෙස මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමට හැකිවීම ද බලවත් ජයග්‍රහණයක් ලෙස සැලකිය හැකි ය. සියල්ලෙන්ම සිදුවන්නේ මහජන අභිමතයට බලය ලබාදීම යැයි කිව හැකි ය.

මනාප පොරය ඉවත් වූයේ ද මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීමට හැකි වූයේ ද රජය ගෙන ගිය අවංක දේශපාලන ප්‍රතිපත්ති නිසා යැයි කිව හැකි ය.

2015 දේදුනු විප්ලවයේ දී මතු වූ එක් ප්‍රධාන මතයක් වූයේ ද මැතිවරණ ක්‍රමය වෙනස් විය යුතු බව ය. සෝභිත හිමියන්ගේ අදහස වූයේ විධායක ජනාධිපති ක්‍රමයේ සිට මැතිවරණ ක්‍රමය දක්වා සියල්ල මහජනයාට හිතකර සේ වෙනස් විය යුතු බව ය. සියල්ල වෙනස් වී නැතත් සෝභිත හිමියන් අපේක්ෂා කළ දෙයින් කොටසක් හෝ ඉටු වී ඇත. ඒ ගැන ද සතුටු විය හැකි ය. යහපත් දේශපාලන සංස්කෘතියක් යන්න සියල්ලන්ගේම ප්‍රාර්ථනය වෙයි.

මෙවර මැතිවරණයේ ජයග්‍රාහී අපේක්ෂකයන් හා ජයග්‍රාහී පක්ෂ වුව පෙරළා තම අවංකභාවය ගැන කල්පනා කළ යුතුව තිබේ. තමන් තනතුරුවලට සුදුසුද, එය සැබෑ මහජන අභිමතයෙන් සිදුවූ දෙයක් ද? එනම්; මහජනයා රැවටීමකට ලක් වී තිබේද යන්න ගැනත් සොයා බලන්නට කාලය එනු ඇත. ඡන්දයෙන් ජයග්‍රහණය කළ ද, දූෂිත පුද්ගලයන්ට එම තනතුරු නොලැබී යෑමට ඉඩ තිබේ. හේතුව දූෂිත පුද්ගලයන් නැවත නීතිය හමුවට යා යුතු බැවින් ය. අපේක්ෂකයන් හැට දෙනකුට පමණ චෝදනා ඇතැ’යි ද කියති. කුමක් වුව පක්ෂවලට, නියෝජිතයන්ට හා මහජනයාට ද තම තීන්දු - තීරණ ගැන ස්වයං විවේචනයක යෙදීමට කාලය පැමිණෙනු ඇත.


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...