රොෂේන්ගෙන් යළිත් හුදෙකලා සටනක් | දිනමිණ

රොෂේන්ගෙන් යළිත් හුදෙකලා සටනක්

 පිතිකරුවන් එක පෙළට අඩු ලකුණු ගණනකට දැවී යද්දී බංග්ලාදේශයට එරෙහිව යළිත් ඉනිම ගොඩනැගීමේ හුදෙකලා සටනක නිරතවූ රොෂේන් සිල්වා නොදැවී රැස්කළ අර්ධ ශතකය හේතුවෙන් දෙවැනි ටෙස්ට් තරගය දෙවැනි දිනයට නතර කරනවිට ශ්‍රී ලංකා පිල දෙවැනි ඉනිම සඳහා කඩුලු 8ක් දැවී ලකුණු 200ක් රැස්කරගෙන සිටියේය.

ඩකා හිදී පැවැත්වෙන තරගයේ දෙවැනි දිනය වූ ඊයේ බංග්ලාදේශය පළමු ඉනිමේදී ලකුණු 110කට දැවී ගියේ ශ්‍රී ලංකාව පළමු ඉනිමට රැස්කළ ලකුණු 222කට පිළිතුරු ලෙසිනි.

ඒ අනුව කඩුලු 2ක් අතැතිව සිටින ශ්‍රී ලංකා පිල බංග්ලාදේශ පළමු ඉනිමට වඩා ලකුණු 312ක් ඉදිරියෙන් පසුවෙයි.

පිට පිට සිය දෙවැනි ටෙස්ට් අර්ධ ශතකය රැස්කළ රොෂේන් සිල්වා පන්දු 94කට මුහුණදෙමින් හතරේ පහර 9ක් සමගින් නොදැවී ලකුණු 58ක් රැස්කරගෙන සිටි අතර උප නායක සුරංග ලක්මාල් නොදැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 7කි.

ඊයේ දිවා විවේකයට ඕවර 2ක් තිබියදී දෙවැනි ඉනිම ඇරැඹු ශ්‍රී ලංකාව ඒ ඇතුළත කිසිවකු නොදැවී ලකුණු 9ක් ලබාගත් අතර සවස තේ පානයට තරග නතර කරනවිට කඩුලු 3ක් අහිමිකර ගෙන සිටියේය.

තරගාවලියේ සාර්ථකම පිතිකරු වු කුසල් මෙන්ඩිස් ලකුණු 7කට පිටියෙන් ඉවත් කිරීමට අබ්දූර් රසාක් සමත්වූයේ ඔහු කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකර ගැනීමෙනි. අනතුරුව පිටිය පිවිසි ධනංජය ද සිල්වා හතරේ පහර 5ක් සමගින් පන්දු 24කින් වේගවත් ලකුණු 28ක් රැස් කළේ දිමුත් සමගින් දෙවැනි කඩුල්ලට ලකුණු 34ක් සබඳතාවක්ද ගොඩනගමිනි. තයිජුල් ඉස්ලාම්ගේ පන්දුවක් කඩුල්ල බිඳ දැමීමත් සමග සිල්වාගේ ඉනිම නිමාවට පත්විය.

තේ පානයට පෙර දැවී ගිය අනෙක් පිතිකරු වූයේ ධනුෂ්ක ගුණතිලකය. ඔහු මුළු ලකුණු සංඛ්‍යාව 80ක් වෙද්දී මුස්ටාෆිසුර් රහමාන්ගේ පන්දුවකට කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවන විට රැස්කරගෙන සිටියේ ලකුණු 17ක් පමණි.

පන්දු යවන්නන්ට වඩා වාසිදායක වූ මේ තණතිල්ලේ ප්‍රවේශම් සහගත පිතිකරණයක නිතරවූ දිමුත් කරුණාරත්න තේ පානය වනවිට ලකුණු 29ක් ලබාසිටියද ඉන් අනතුරුව තවත් ලකුණු 3ක් එක්කර ගැනීමත් සමග ඔහු පිටියෙන් ඉවත් කිරීමට මෙහෙදි හසන්ට හැකිවූයේ ඉම්රුල් කයිස් උඩ පන්දුවක් රැක ගැනීමෙනි. කරුණාරත්න පන්දු 105කින් ලකුණු 32ක් රැස් කළේ මෙවර තරගාවලියේ ඉහළම ලකුණු සංඛ්‍යාව සටහන් කරමිනි. පළමු තරගයේදී ලකුණු නොලබා දැවීගිය ඔහුට මේ තරගයේ පළමු ඉනිමේදී ලබාගත හැකිවූයේ ලකුණු 3ක් පමණි.

යළිත් ඉනිම ගොඩනැගීමේ බර කරටගත් රොෂේන් සිල්වා නායක දිනේෂ් චන්දිමාල් සමග 5 වැනි කඩුල්ලට ලකුණු 51ක් එක්කළේ ඉනිමේ ඉහළම සබඳතාව ගොඩනගමිනි. ලකුණු 30ක් ලබසිටි චන්දිමාල් කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවීමෙන් එම සබඳතාව බිඳ වැටුණි.

යළිත් අසාර්ථක වූ නිරෝෂන් දික්වැල්ල ඊයේ ලකුණු 10කට දැවී ගිය අතර ඩිල්රුවන් පෙරේරා (7) හා අකිල ධනංජය (0) පිට පිට පන්දු දෙකකින් දවා ගැනීමට මුස්ටාෆිසුර් රහ්මාන් සමත් විය.

බංග්ලාදේශ නායකයා යොදාගත් සියලුම පන්දු යවන්නන් ඊයේ සාර්ථකවූ අතර මුස්ටාෆිසුර් රහ්මාන් කඩුලු 3ක්, තයිජුල් හා මෙහෙදි කඩුලු 2 බැගින් දවාගත්හ.

අකිල ධනංජය හා ඩිල්රුවන් පෙරේරා එක්ව අවසන් කඩුලු 5ක ලකුණු 3ක් තුළ බිඳ දැමීම හේතුවෙන් ඊයේ දිවා ආහාරයට ඕවර කිහිපයක් ඉතිරිව තිබියදී බංග්ලාදේශ පළමු ඉනිම ලකුණු 110කට සීමාවිය.

ඊයේ තරගය ආරම්භ වනවිට බංග්ලාදේශ පිල කඩුලු 6ක් ඇතැතිව ශ්‍රී ලංකා පිලට වඩා ලකුණු 166ක් පසුපසින් සිටි අතර ඔවුන්ට තවත් එක්කර ගත හැකිවූයේ ලකුණු 54ක් පමණි.

දිනයේ පළමු කඩුල්ල ලෙස ලිටන් දාස් පිටියෙන් ඉවත් කිරීමට සුරංග ලක්මාල්ට හැකිවිය. ලකුණු 25ක් ලබාසිටි දාස් පන්දුව කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් දැවී ගියේය.

අනතුරුව ක්‍රියාත්මක වූ අකිල ධනංජයගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් බංග්ලාදේශ නායකයා පිටියේ ඉවත්වූයේ ඔහුට මංගල කඩුල්ල ලබාදෙමිනි. ඔහු ලකුණු 17ක් රැස්කළ අතර එම ඕවරයෙන්ම නවක පිතිකරු සබීර් රහ්මාන්ද ලකුණු ලබාගැනීමට පෙර යළි නරඹන්නකු බවට පත්කිරීමට ධනංජයට හැකිවිය. රහ්මාන්, දිනේෂ් චන්දිමාල් උඩ පන්දුවක් රැක ගැනීමෙන් දැවී ගියේය.

ධනංජය යැවූ ඊළඟ ඕවරයෙන් සිය තෙවැනි කඩුල්ල සටහන් කරගත්තේ ඔහු විසින්ම ලකුණක් ලබාසිටි අබ්දූර් රසාක් ලබාදුන් උඩ පන්දුව රැක ගැනීමෙනි.

විශිෂ්ට පන්දු රැකීම නිතරවූ කුසල් මෙන්ඩිස් බංග්ලාදේශයට 8වැනි කඩුල්ල අහිමිකරමින් තයිජුල් ඉස්ලාම් දුවද්දි දැවී යෑමට හසුකර ගත්තේ එක් ලකුණක් ලබාසිටියදීය.

අවසන් පිතිකරු ලෙස පිටියට පිවිසි මුස්ටාෆිසුර් රහ්මාන් මුහුණදුන් පළමු පන්දුවෙන් කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකර ගැනීම ඩිල්රුවන් පෙරේරා සමත් වීමත් සමග බංග්ලාදේශ පළමු ඉනිම නිමාවිය. හුදෙකලා සටනක නිරතවූ මෙහෙදි හසන් නොදැවී ලකුණු 38ක් රැස්කරගෙන සිටියේ ඉනිමේ වැඩිම ලකුණුලාභියා ලෙසිනි.

අද තරගයේ තෙවැනි දිනයයි.

නව අදහස දක්වන්න