ලංකා ප්‍රිමියර් ලීගය මේ වසරේදී | දිනමිණ

ලංකා ප්‍රිමියර් ලීගය මේ වසරේදී

වර්නන් ගුණසේකර
ඇන්ජලෝ මැතිව්ස්, උපුල් තරංග හා තිසර පෙරේරා යන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල, ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ජෙරම් ජයරත්න, ‘නිදහස් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ අනුග්‍රාහකයන් වන හීරෝ - අබාන්ස් ආයතනයේ අධ්‍යක්ෂ ලලින්ද්‍ර බ්‍රාහ්මන, අයි.ටී.වී. ආයතනයේ ප්‍රධානී ජොෂී ජෝන්, ඩීස්පෝට් ආයතනයේ ප්‍රධානී ටී.එස්.පැනීසා, චැනල් 9 වැඩසටහන් ප්‍රධානී ටන්වීර් ඛාන් හා ලගාඩිය ස්පෝට්ස් ආයතනයේ උපසභාපති මැල්කම් තෝප් යන මහත්වරු සමග. ඡායාරූපය: රුවන් ද සිල්වා

විදෙස් ක්‍රීඩකයන්ද සහභාගි වන ‘ලංකා ප්‍රිමියර් ලීග්’ (එල්.පී.එල්.) ක්‍රිකට් තරගාවලිය මේ වසරේ ආරම්භ කෙරෙනු ඇත.

එළැඹෙන මාර්තුවේ ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ‘නිදහස් කුසලාන’ ක්‍රිකට් තරගාවලිය ‘ලංකා ප්‍රිමියර් ලීගය’ ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය වේදිකාව සකසනු ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා කියයි.

‘නිදහස් කුසලාන’ ක්‍රිකට් තරගාවලියෙන් රුපියල් බිලියනයක ලාභයක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලැබෙනු ඇති බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ වැඩිම ආදායමක් ලබන තුන්කොන් තරගාවලිය මෙය වනු ඇති බවත් සුමතිපාල මහතා පවසයි.

තිලංග සුමතිපාල මහතා මෙසේ කියා සිටියේ ‘නිදහස් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ අනුග්‍රාහකයන් හඳුන්වා දීම පිණිස කොළඹ ජයික් හිල්ටන් හෝටලයේ ඊයේ පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවේදීය.

ඉන්දියාව අයි.පී.එල්. (ඉන්දියා ප්‍රිමියර් ලීගය) ආරම්භ කිරීමෙන් පසුව බංග්ලාදේශය (බී.පී.එල්.) හා පාකිස්තානය (පී.පී.එල්.) ඔවුනොවුන්ගේ ප්‍රිමියර් ලීග ආරම්භ කර ඇති අතර ආසියානු කලාපයේ තවමත් ප්‍රිමියර් ලීගයක් ක්‍රීඩා නොකරන එකම රට වන්නේ ශ්‍රී ලංකාව ය.

ශ්‍රී ලංකාව නිදහස ලබා වසර 70ක් පිරීම නිමිත්තෙන් ඉන්දියාව හා බංග්ලාදේශයේද සහභාගිත්වය ඇතිව මාර්තු මස 8 සිට 20 දක්වා කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන විස්සයි20 තරග හතකින් සමන්විත ‘නිදහස් කුසලාන’ තුන්කොන් ක්‍රිකට් තරගාවලිය සඳහා අනුග්‍රහය දැක්වීමට ලොව සුපතල ආයතන හතරක් වන Lagardere Sports, DSPORT, Channel 9 හා itw ඉදිරිපත්ව සිටිති.

ලොව විශාලතම රෝද දෙකේ වාහන නිෂ්පාදකයන් මෙන්ම ලොව ජනප්‍රියතම ‘හීරෝ’ මෝටර් සයිකල් නිෂ්පාදකයන් වන ඉන්දියාවේ නවදිල්ලිය මූලස්ථානය කර ගත් ‘හීරෝ මොටෝකෝප්‘ ආයතනයේ ශ්‍රී ලංකා නියෝජිත අබාන්ස් ආයතනය ප්‍රධාන අනුග්‍රාහකයන් වන බැවින් මේ තරගාවලිය ‘හීරෝ නිදහස් කුසලානය 2018’ ලෙසින් නම් කර තිබේ. මෙය අතිවිශිෂ්ට මූල්‍ය සාර්ථකත්වයක් ලැබූ තරගාවලියක් බව ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයා කියයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ‘නිදහස් කුසලාන’ තරගාවලියට අදාළ රටවල් වන ඉන්දියාව හා බංග්ලාදේශ භූමි ප්‍රදේශයන්ට කෙළින්ම මාධ්‍ය හා විකාශන අයිතීන් ලබා ගැනීම සඳහා සහායකයන් සුරක්ෂිත කර ගැනීමට සමත්ව සිටී.

2004 වසරෙන් පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අනුග්‍රාහකයන් සොයා ගැනීම සඳහා තනිවම ජාත්‍යන්තර වෙළඳ පොලට පිවිසි ප්‍රථම අවස්ථාව මෙය වෙයි. ‘නිදහස් කුසලාන’ තරගාවලිය සාර්ථක කර ගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ තරගාවලියේ ඔවුන්ගේ ජාත්‍යන්තර වෙළඳ උපදේශකයන් වශයෙන් ජාත්‍යන්තර ක්‍රීඩා වෙළඳ ඒජන්සියක් වන ‘ලගාඩිය ස්පෝට්ස් ඒෂියා’ ආයතනය පත්කර ගෙන තිබේ.

“මගේ මතකය 1998 වසරට යනවා” යැයි කියමින් තිලංග සුමතිපාල මහතා සිය මූලාසන කතාව ආරම්භ කළේය. “ලංකාවට නිදහස ලැබී අවුරුදු 50ක් පිරුණු ඒ වසරේදී මම ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ (BCCSL) සභාපතිවරයායි. නිදහස් කුසලාන ක්‍රිකට් තරගාවලිය ප්‍රථම වතාවට පැවැත්වූයේ ඒ වසරේදීයි. දැන් ශ්‍රී ලංකාවට නිදහස ලැබී අවුරුදු 70ක් පිරෙන විට මම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ (SLC) සභාපතිව සිටිමින් දෙවැනි නිදහස් කුසලාන තරගාවලිය පැවැත්වීමට හැකිවීම ගැන මා සතුටු වෙනවා.”

“අපි මේ තරගාවලිය ක්‍රියාත්මක කළේ අවුරුදු විස්සකට පෙරයි. හැම අවුරුද්දකම මේ වගේ තුන්කොන් සටනක් තියන්න පුළුවන් නම් හොඳයි. ඊට විශාල මුදලක් යනවා. ඒ නිසා මෙවැනි තරගාවලියකට අපි මේ වගේ ජාත්‍යන්තර අනුග්‍රාහකයන් සොයා ගත යුතුයි.”

“මෙවර නිදහස් කුසලාන තරගාවලියෙන් අපි හොඳ ආදායමක් බලාපොරොත්තු වෙනවා. ඒ මුදල් දේශීය ක්‍රිකට් ක්‍රීඩාවට යොදවනවා. මෙය ලංකා ක්‍රිකට් ඉතිහාසයේ වැඩිම ආදායමක් ලබන තරගාවලිය වේවි. මෙයින් රුපියල් බිලියනයක ආදායමක් ලබන්න පුළුවන් වේවි කියා අපි විශ්වාස කරනවා. මීට පෙර තුන්කොන් ක්‍රිකට් තරගාවලියකින් මෙවැනි ආදායමක් ලබා නැහැ.”

“අපට මෙය කරන්න පුළුවන් වුනේ අපි උපක්‍රමශීලී අලෙවි ක්‍රමයකට ගිය නිසායි. අපි දැනටමත් අපේ ආදායමෙන් සියයට 30ක අත්තිකාරම් මුදලක් ලබා ගෙන අවසානයි.”

“මේ තරගාවලියෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට පමණක් අයිති ඉසව්වක ඉහළම ප්‍රේක්ෂකත්වය, ශ්‍රාවකත්වය හා ඉහළම තලයේ ඩිජිටල් තාක්ෂණය ගෙන ඒවි. එයින් ගෝලීය ක්‍රීඩා වේදිකාවේ අපේ ලාංජනයේ වටිනාකම වැඩිවේවි.” “නිදහස් කුසලාන තරගාවලිය ‘ලංකා ප්‍රිමියර් ලීගයේ’ වේදිකාව වේවි. අපි මේ ලීග් තරගාවලිය මේ වසරේ ආරම්භ කරනවා.

ආසියා කලාපයේම ප්‍රිමියර් ලීග් ක්‍රීඩා නොකරන්නේ ලංකාව පමණයි. නමුත් අපට හදිසියක් නැහැ. මොකද, වැඩේ කරනවා නම් හරියටම කරන්න ඕන. නිදහස් කුසලාන තරගාවලියත් ජාත්‍යන්තර මට්ටමේ මෙවැනි අනුග්‍රාහකයනුත් අපට අවශ්‍ය ඒ වේදිකාව හා ශක්තිය ලබා දේවි.” ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැන් මූල්‍ය අතින් ඉදිරියට යමින් සිටින බව තිලංග සුමතිපාල මහතා වැඩිදුරටත් කියා සිටියේය. “අපි දැන් ණය ගෙවලා ඉවරයි. මුදල් පැත්තෙන් අපි දැන් ස්ථාවරයි. තව අවුරුදු දහයකට අපි ශක්තිමත්!”

 

නව අදහස දක්වන්න