ජීවන් මෙන්ඩිස් වසර 5කට පසු කැඳවයි | දිනමිණ

ජීවන් මෙන්ඩිස් වසර 5කට පසු කැඳවයි

* විස්සයි20 නායකත්වය චන්දිමාල්ට
* හසිත-අමිල-ෂෙහාන්ටත් අවස්ථාවක්

බංග්ලාදේශය සමග පැවැත්වෙන තරග 2කින් සමන්විත විස්සයි20 ක්‍රිකට් තරගාවලියට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීමක් දිනේෂ් චන්දිමාල්ට පැවරී තිබේ.

නිත්‍ය නායක ඇන්ජලෝ මැතිව්ස්ගේ ආබාධ තත්ත්වය හේතුවෙන් කණ්ඩායමේ නායකත්වයට චන්දිමාල් පත්කර ඇත්තේ ඉන්දියාවට එරෙහිව පැවැති තරගාවලියේදී නායක්තවය දැරූ තිසර පෙරේරාද මේ සංචිතයට ඇතුළත්ව සිටියදීම වීම විශේෂත්වයකි.

චන්දිමාල් බංග්ලාදේශය සමග එක්දින තරගාවලියේදී ද නායකත්වය දැරූ අතර අවසන් වරට විස්සයි20 තරගයට එක්වූයේ පසුගිය වසරේ ජනවාරි මාසයේදී දකුණු අප්‍රිකාවට එරෙහිවය.

නව පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතාගේ පත්වීමෙන් පසු නම් කළ පළමු විස්සයි20 සංචිතය මෙය වන අතර එහි කැපී පෙනෙන වෙනස්කම් රැසක් සිදුකර තිබේ.

ඒ අනුව 15 දෙනකුගෙන් යුත් සංචිතයට තුන් ඉරියව් ක්‍රීඩක ජීවන් මෙන්ඩිස් වසර 5කට පසුව විස්සයි20 තරග බිමට කැඳවා ඇති අතර යොවුන් ක්‍රීඩකයන් වන 20 හැවිරිදි හසිත ප්‍රනාන්දු හා 22 හැවිරිදි ෂෙහාන් මධුසංඛ, 24 හැවිරිදි අමිල අපොන්සු සමගින් දඟ පන්දු යවන ජෙෆ්රි වැන්ඩසේ හා තුන් ඉරියව් ක්‍රීඩක දසුන් ශානක එක්කර තිබේ.

මීට වසර 3කට පෙර ඇෆ්ගනිස්තානයට එරෙහිව අවසන් ජාත්‍යන්තර තරගයට එක්වූ 35 හැවිරිදි ජීවන් මෙන්ඩිස් අවසන් වරට විස්සයි20 ජාත්‍යන්තර තරගයට ක්‍රීඩා කර ඇත්තේ 2013 වසරේ අගෝස්තු මාසයේදී දකුණු අප්‍රිකාවට එරෙහිව ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදීය. ජාත්‍යන්තර විස්සයි20 තරග 16කට ක්‍රීඩාකර ඇති ඔහු එහිදී ලකුණු 197ක් රැස්කර ඇති අතර බිඳ හෙලා ඇති කඩුලු ගණන 6කි.

හසිත, ෂෙහාන් හා අමිල තවමත් විස්සයි20 ජාත්‍යන්තර තරග වරම් දිනාගෙන නොමැත. කටුනේරිය සාන්ත සෙබස්තියන් විදුහලෙන් පිටියට පිවිසි හසිත පසුගිය වසරේ ජුලි මාසයේ හම්බන්තොටදී සිම්බාබ්වේ පිලට එරෙහිව එක්දින තරගයක් පමණක් ක්‍රීඩාකර තිබේ. බංග්ලාදේශයේ ඩකා හිදී පැවැති තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයෙන් ජාත්‍යන්තර පිටියට පිවිසි ෂෙහාන් මධුසංඛ සිය මංගල එක්දින තරගයේදීම කඩුලු ත්‍රිත්වයක් වාර්තා කරමින් අවධානය දිනා ගැනීමට සමත්වූ ක්‍රීඩකයෙකි.

ඉන්දියාවට එරෙහිව පැවැති විස්සයි20 තරගාවලියට එක්වූ චතුරංග ද සිල්වා හා සදීර සමරවික්‍රමට සිය ස්ථාන අහිමිවී තිබේ. ඉන්දියාවට එරෙහි තරගාවලියට එක්නොවූ සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංගට මෙවරද සංචිතයේ ඉඩක් හිමිවී නොමැත.

දෙපිල අතර විස්සයි20 තරගාවලියේ පළමු තරගය 15 වැනිදා ඩකා හිදී පැවැත්වෙන අතර දෙවැනි හා අවසන් තරගය 18 වැනිදා ෂිලාත් හිදී පැවැත්වෙයි.

ශ්‍රී ලංකා විස්සයි20 සංචිතය : දිනේෂ් චන්දිමාල් (නායක), උපුල් තරංග, ධනුෂ්ක ගුණතිලක, කුසල් ජනිත් පෙරේරා, තිසර පෙරේරා, අසේල ගුණරත්න, නිරෝෂන් දික්වැල්ල, දසුන් ශානක, ඉසුරු උදාන, ෂෙහාන් මධුසංඛ, ජෙෆ්රි වැන්ඩසේ, අකිල ධනංජය, අමිල අපෝන්සු, ජීවන් මෙන්ඩිස්, අසිත ප්‍රනාන්දු.

නිරෝෂාන් ප්‍රියංකර

 

නව අදහස දක්වන්න