අරුම පුදුම ගුරු මාරුව | දිනමිණ

අරුම පුදුම ගුරු මාරුව

විදුහල්පති ඒ.එම්.නජුබ්දීන් මහතා

වසර 14ට පාසල් 14යි

1989 වසරේ සිට 2003 දක්වා වසර 14ක සේවා කාලය තුළ පාසල් 14කට සේවා මාරුවීම් ලද විදුහල්පතිවරයකු සිටී. එ් මහතාගේ මෙම මාරුවීම් අතර දින තුනකට පාසල් තුනක්, මාසයකට පාසල් හතරක් සහ වසරකට පාසල් හතක් වශයෙන් මාරුවීම් ලබා ඇති අතර, ජාත්‍යන්තර ගුරු දිනයේ දී ලද මාරුවීමක් ද වේ.

කල්පිටිය අධ්‍යාපන කොට්ඨාසයේ ඒත්තාල රෝමානු කතෝලික දෙමළ සිංහල ද්වී භාෂා විදුහලේ විදුහල්පති අබු තාහීර් මොහොමදු නජිබ්දීන් (වයස අවුරුදු 53) මෙසේ මාරුවීම් ලබා ඇති ගුරු මහතාය. . පස් දරු පියකු වන එ් මහතා මෙසේ සිය අදහස් ප්‍රකාශ කර සිටියේ ය. "මම පළමු පත්වීම ලැබුවේ 1989 වසරේ සැප්තැම්බර් පළමුවෙනිදා උප ගුරුවරයෙක් වශයෙන් පල්ලිවාසල්තුරේ මුස්ලිම් මහ විදුහලට. එදා පටන් 2003 දක්වා වූ වසර 14කට ආසන්න කාලය තුළ පාසල් 14කට මාරුවීම් ලැබුණා. "සාමාන්‍යයෙන් පුත්තලම අධ්‍යාපන කලාපය තුළ ගුරු මාරුවීම් ලැබෙන්නේ වසර අටකට වරක්. නමුත් මට දින තුනට මාරුවීම් තුනක්. මාසයකට පාසල් හතරක් සහ වසරකට පාසල් හතක් වශයෙන් මාරුවීම් ලැබුණා. ලෝක ගුරු දිනයේදීත් මාරුවීම් ලැබුණා.”

මේ නිසා මම විශාල මානසික පීඩනයකටත්, ආර්ථික ප්‍රශ්න රැසකටත් මුහුණ දුන්නා. මගේ බිරියට වගේම දරුවන්ටත් මේ පීඩනය තදින්ම බලපෑවා. ගලගෙදර අල් ජබ්බාර් විදුහලේ, උසස් පෙළ ඉගෙනගනිමින් සිටි වයස අවුරුදු 19ක පුතා ඩෙංගුවලින් මට අහිමි වුණා."

"මම හුදෙක් ඡන්දදායකයෙක් පමණයි. කවදාවත්ම ඡන්ද අපේක්ෂකයෙක් වී නැහැ.මම දේශපාලන අභියාචනා විමර්ශන කමිටුවට අභියාචනයත් යොමු කළා. එහි ප්‍රතිඵලයක් වශයෙන් දේශපාලන පළිගැනීම් සහන නිර්දේශ 1994/2014 යටතේ අමාත්‍ය මණ්ඩලය තීරණ මගින්, මට වැටුප් වර්ධක පහක් ගෙවීමට 2016 මාර්තු දෙවන දින තීරණය කර තිබුණා. මට ඒ බව අධ්‍යාපන අමාත්‍යංශය මගින් ලිඛිතව දැනුම් දුන්නා." “මේ වනතුරු මට එම නිර්දේශිත සහන ලැබී නැහැ. මම කිහිප විටක්ම මේ පිළිබඳව අදාළ නිලධාරීන්ගෙන් ලිඛිතව විමසුවා. මේ වනතුරු සතුටුදායක පිළිතුරක් ලැබී නැහැ. ඒ නිසා මම බලාපොරොත්තුවෙනවා ගරු ජනාධිපතිතුමාගේ හෝ ගරු අගමැතිතුමාගේ අවධානය යොමු වී මට සාධාරණය ප්‍රමාද වී හෝ සලසාවී කියලා."

කල්පිටිය සමූහ 

 

නව අදහස දක්වන්න