දේශ ප්‍රේමය | දිනමිණ

දේශ ප්‍රේමය

ජනාධිපතිවරයා හැත්තෑවන නිදහස් සමරු උලෙළෙහි දී අලුත් අර්ථකථනයක් ජනගත කළේ ය. ඒ දේශප්‍රේමීත්වය සම්බන්ධයෙන් ය. දේශප්‍රේමයට ඒ ඒ කාලවකවානු අනුව විවිධ නිර්වචන සැපයිය හැකි බව කියා සිටි මෛත්‍රීපාල සිරිසේන මහතා මේ කාලයේ හැටියට එය මුල්‍ය විනය පවත්වාගැනීම ලෙස විග්‍රහ කළේ ය. එහි අර්ථය වන්නේ කිසියම් තැනැත්තකු තමන් උපන් දේශයට ආදරය කරන්නේ නම්; ඔහු නිත්‍ය ලෙස ම මුල්‍ය විනයකට අනුව ක්‍රියා කළ යුතු බව ය. මේ කතාව මෙන්ම අර්ථකථනය ද ආදර්ශයට ගත යුතු යැයි කියන්නට පුළුවන. අප්‍රිකානු මහාද්වීපයේ බොහෝ රටවල් පරිහානිය කරා ගමන් කරන්නේ නායකයන් ළඟ මූල්‍ය විනයක් නැතිකම නිසා යැයි චිනුවා අචෙබෙ කියා ඇත.

ජනාධිපතිවරයාගේ කතාවට අනුව අපේ නායකයන් ළඟ මූල්‍ය විනය තිබිය යුතුය. දේශපාලකයන් ළඟ ද මුල්‍ය විනය පැවැතිය යුතු ය. පාර්ලිමේන්තුවේ සිට ප්‍රාදේශීය සභාව දක්වා මුල්‍ය විනය ව්‍යාප්ත විය යුතු ය. නිලධාරීන් ළඟ ද මුල්‍ය විනය පැවැතිය යුතු ය. අවසන් ලෙස පුරවැසියා පවා මුල්‍ය විනයකට අනුව ක්‍රියා කළ යුතු ය. එයින් අපේක්ෂා කරනුයේ වංචා, දූෂණ හා අක්‍රමිකතා රහිත පිරිසුදු රාජ්‍යයෙකි. එබඳු රාජ්‍යයකට ශීඝ්‍ර සංවර්ධනයක් අත්පත් කර ගත හැකි ය. ජනාධිපතිවරයා පෙන්වා දෙන අන්දමට එය ඉහළින් - පහළට ද පහළින් ඉහළට ද ආදර්ශයක් සේ පැවැතිය යුතු ය. එවිට ලොක්කන් හොරකම් කරන්නේ නැත. පොඩ්ඩන් හොරකම් කරන්නේ ද නැත. කෙතරම් අපූරුද?

පසුගිය කාලය පුරාවට අපේ රටට වැදී තිබුණු නරක ලේබලය වූයේ; එය දූෂිත රාජ්‍යයක් යන්න ය. අන්තර්ජාතික වශයෙන් ද මේ විවේචනය පැවැතිණි. දේශපාලකයන් අතර හොරකම පැතිර තිබිණි. නිලධාරීන් හා ආයතන අතර ද දූෂණය හා අක්‍රමිකතා පැවැතිණි. අධිකරණය පවා දූෂිත බව කියැවිණි. මේවා වැළැක්වීම සඳහා නායකයන් ම පෙරමුණ ගත යුතු බවට පිළිගත් මතයක් තිබේ. දැන් එවැන්නක් ශ්‍රී ලංකාවේ දැකගන්නට ලැබේ. ජනාධිපතිවරයා ද, අගමැතිවරයා ද දූෂණයට එරෙහිව කෙළින්ම ක්‍රියා කරති. එය හොඳ තත්ත්වයකි. එහෙත් මේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් නැඟෙන විවේචන ද තිබේ. එක විවේචනයකින් කියැවෙන්නේ ප්‍රධාන හොරුන් අල්ලා නැති බව ය. තව විවේචනයකින් කියැවෙන්නේ නීතිය ක්‍රියාත්මක වීම ප්‍රමාද බව ය.

මේවා සම්බන්ධයෙන් යම් සාධනීය තත්ත්වයක් නැවත දැකගන්නට ලැබේ. ඊට අදාළ ප්‍රධාන සාධක දෙකක් පෙන්වා දිය හැකි ය. එකක් නම්; බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් රජය ගෙනයන වැඩපිළිවෙළ ය. අනෙක නම්; බරපතළ වංචා, දූෂණ හා අක්‍රමිකතා සම්බන්ධයෙන් රජය ගෙන යන වැඩපිළිවෙළ ය. මහ බැංකු බැඳුම්කර සිද්ධිය මෑත කාලයේ කතාබහට ලක්වූ බරපතළ අක්‍රමිකතාවක් ලෙස සැලැකිය හැකි ය. ඉන් රජයට වූ විශාල අලාභය වරදකරුවන් හා ඔවුන්ගේ සමාගම් වෙතින් අය කරගත යුතු බව කොමිසම පෙන්වා දෙයි. මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා, පර්පචුවෙල් සමූහ ව්‍යාපාරයේ අයිතිකාර අර්ජුන් ඇලෝසියස් මහතා මෙන් ම අදාළ ව්‍යාපාරයේ ප්‍රධාන විධායක කසුන් පළිසේන මහතා ද සැකකරුවෝ බවට පත්ව සිටිති.

ජනාධිපති කොමිසමේ නිර්දේශ විමර්ශනය කරමින් අධිකරණය ඉතා නිවැරැදි තීන්දු ගනිමින් සිටින බවක් පෙනෙයි. අධිකරණය ලබා දුන් නියෝගයකට අනුව මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා ලබන පහළොස්වන දාට ප්‍රථම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ කට උත්තරයක් ලබාදිය යුතු ය. ඒ මහතා සිංගප්පූරුවේ පුරවැසියකු බැවින් සිංගප්පූරු පොලීසියට ද මේ වග දන්වා යවා ඇත. පර්පචුවෙල් සමාගමට හා එම සමාගමෙහි අනුබද්ධ ආයතනවල ගිණුම් අත්හිටුවා ඇත. එය වැදගත් තීරණයකි. මේ බැංකු ගිණුම්වල මුදල් ත්‍යාග ලෙස හෝ පැවැරුම් ලෙස හෝ ආයෝජන ලෙස හෝ වෙනත් ආයතනවලට පවරන්නේ නම්; ගනුදෙනුවලින් උපයා ගත් අයුක්තිසහගත මුදල් තෝරා - බේරා ගැනීම අපහසු වනු ඇත. මේ හැරෙන්නට අර්ජුන් ඇලෝසියස් මෙන්ම කසුන් පළිසේන ද නැවත ප්‍රශ්න කිරීමකට ලක්කර ඇත.

ඊයේ සිදුවීම් නිරීක්ෂණය කළහොත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අර්ජුන් ඇලෝසියස් මහතා මෙන් ම කසුන් පළිසේන මහතා ද අත්අඩංගුවට ගෙන තිබේ. එලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ නීතිපතිවරයාගේ නිර්දේශ මත ප්‍රශ්න කිරීම සඳහා ය. ජනාධිපති කොමිසමේ නිර්දේශ නෛතික ප්‍රතිපාදනවලට අනුව ක්‍රියාත්මක වෙමින් පවතින බව කිව හැකි ය. බැංකු ගිණුම් අත්හිටුවීම, ප්‍රශ්න කිරීම, රටින් බැහැර යෑම වැළැක්වීම හා අත්අඩංගුවට ගැනීම යන සියල්ල නීතියට අනුව සිදුවීම වැදගත් ය. අර්ජුන් ඇලෝසියස් මහතා උක්ත ගනුදෙනු ඔස්සේ අයුතු ඉපැයීමක් සිදුකර තිබේද යන්න පළමුව සනාථ කර ගත යුතු වේ. කසුන් පළිසේන මහතා ජනාධිපති කොමිසම හමුවේ අසත්‍ය සාක්ෂි ලබා දී ඇති බවට සැකයක් ද පවතී.

බැඳුම්කර සිද්ධිය පමණක් නොව; තවත් බරපතළ වංචා, දූෂණ හා අක්‍රමිකතා සිද්ධි ගණනාවක් සම්බන්ධයෙන් කොමිසන් වාර්තාවක් නිකුත් වී ඇත. මේ සියල්ලෙන් ම රටට අහිමි වී ඇත්තේ ජාතික ධනය යි. ඒවා එක අතෙකින් නැවත අයකර ගත යුතු ය. තව අතෙකින් වරදකරුවන්ට දඬුවම් ලබාදිය යුතු ය. මේ දෙකම සිදුවුවහොත්; අනාගතය පිළිබඳ යම් බලාපොරොත්තුවක් ඇති කර ගත හැකි ය. ජනාධිපතිවරයා පෙන්වා දෙන අන්දමට ජාතියක ආරක්ෂණය ලෙස ද මුල්‍ය විනය පවතී. එය සැබෑවකි. පසුගිය කාලය තුළ රජයට අහිමි වූ වත්කම්වල ප්‍රමාණය තවම නිශ්චිත ලෙස හෙළිදරව් වී නැත. එම වත්කම් පැවැතියේ නම්; රටේ සංවර්ධනය මීට වඩා ඉදිරියට ගොස් තිබිය යුතු ය.

හෙට දිනයේ පාර්ලිමේන්තුව තුළ මේ සම්බන්ධයෙන් විවාදයක් පැවැත්වීමට නියමිත ය. මහ බැංකු බැඳුම්කර සිද්ධිය මෙන් ම බරපතළ වංචා, දූෂණ පිළිබඳ වාර්තාව ද මෙහි දී විවාදයට ගැනෙයි. මෙබඳු විවාදයක් පැවැත්වීම ඔස්සේ ද, බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වීම ඔස්සේ ද පැහැදිලි වන්නේ දූෂණයට එරෙහිව ඇත්ත විරෝධයක් පවතින බව ය. මෙය සාධනීය තත්ත්වයකි. නිදහස ලැබී වසර හැත්තෑවක් ගෙවී ගිය තැන හෝ රටේ මූල්‍ය විනයක් ඇති කළ හැකි නම්; එය අපේ ජනතාව ලබන විශාල ම ජයග්‍රහණයක්‍ ලෙස සැලැකිය හැකි ය. අපට ඇති ප්‍රධාන අභියෝගය දුප්පත්කම ජයගැනීම ය. දුප්පත්කම ජයගැනීමේ ප්‍රධාන උපාය මාර්ගයක් වන්නේ ද මුල්‍ය විනය පවත්වා ගැනීම ය.

හොරකම කව්රු කළත් වැරැදිය. ඊට දඬුවම් ලබාදීම මෙන් ම හොරකම වැළැක්වීම ද ශිෂ්ට සමාජයක නියමය විය යුතු ය.



නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...