සාන්ත ජෝශප් ක්‍රීඩකයෝ 18න් පහළ පාපන්දු කිරුළ රැක ගනිති | දිනමිණ

සාන්ත ජෝශප් ක්‍රීඩකයෝ 18න් පහළ පාපන්දු කිරුළ රැක ගනිති

පළමු කාණ්ඩයේ පාසල් පාපන්දු තරගාවලියේ අවුරුදු 18න් පහළ ශූරතාව රැක ගැනීමට මරදාන සාන්ත ජෝශප් විදුහල් පිල සමත් වූයේ අවසන් තරගයේදී යාපනය සාන්ත පැට්‍රික්ස් විදුහල ගෝල් 3-1ක් ලෙස පරාජය කරමිනි.

පසුගිය වසරේ පැවැති මේ තරගාවලියේ ද ශූරතාව සාන්ත ජෝශප් විදුහල සතුව තිබිණි.

තරගයේ 12වැනි මිනිත්තුවේදී පළමු ගෝලය වාර්තා කිරීමට සාන්ත ජෝශප් විදුහලේ චමත් රෂිමිත සමත්වූ අතර තවත් මිනිත්තු 4ක් ගතවෙද්දී සාන්ත පැට්‍රික්ස් විදුහලට ගෝලයක් එක්කරමින් තරගය සමකර ගැනීමට ඩී.හේන්ස් හැමිල්ටන්ට හැකිවිය. ඒ අනුව තරගයේ පළමු භාගය නිමාවනවිට ගෝල් 1-1ක් ලෙස දෙපිලම සම තත්ත්වයේ පසුවිය.

තරගයේ දෙවැනි අර්ධයේදී අක්‍රමශිලී ක්‍රීඩා රටාවක් අනුගමනය කළ සාන්ත ජෝශප් ක්‍රීඩකයෝ තවත් ගෝල් 2ක් එක්කර ගනිමින් තරගය 3-1කින් ජය ගැනීමට සමත් වූහ.

දෙවැනි අර්ධයේ 49 වැනි හා 62වැනි මිනිත්තුවලදී සාන්ත ජෝශප් විදුහල වෙනුවෙන් වාර්තා වූ එම ගෝල් ද්විත්වයම අසේල මදුෂාන් ඉදිරියේ සටහන් විය.

තරගයේ දක්ෂතම ක්‍රීඩකයා හා වැඩිම ගෝල් ලාභියා ලෙස සම්මාන දිනා ගැනීමට සාන්ත ජෝශප් විදුහලේ අසේල මදුෂාන් සමත් විය. ඔහු තරග 9කදී රැස්කරගත් ගෝල් සංඛ්‍යාව 9කි.

මේ තරගාවලියේ අවසන් පූර්ව වටයේදී මරදාන සහිරා විදුහල පරාජය කරමින් සාන්ත ජෝශප් විදුහල අවසන් තරගයට පිවිසි අතර සාන්ත පැට්‍රික්ස් විදුහල අවසන් තරගයට එක්වූයේ අවසන් පූර්ව තරගයේදී සාන්ත පීතර විදුහල පරාජය කරමිනි. 

නිරෝෂාන් ප්‍රියංකර

නව අදහස දක්වන්න