බැඳුම්කර සිද්ධියට 03ක් සැකකරුවන් වෙයි - UPDATE | දිනමිණ

බැඳුම්කර සිද්ධියට 03ක් සැකකරුවන් වෙයි - UPDATE

පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ කසුන් පාලිසේන, අර්ජුන් ඇලෝසියස් සහ හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් යන  තිදෙනා අද බැඳුම්කර වංචා විමර්ශන සිද්ධියේ සැකකරුවන් ලෙස නම් කරනු ලැබුවේ ය.

ඒ, ඊට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හමුවේ කරුණු වාර්තා කරමිනි.

මෙහිදී මහේස්ත්‍රාත්වරිය හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්ට නියෝග කළේ, ලබන 15 වන දාට පෙර දිවයිනට පැමිණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබා දෙන ලෙස ය.

ඒ බව අර්ජුන මහේන්ද්‍රන්ට දැනුම් දෙන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කරනු ලැබුවේ ය.

මෙහිදී නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් යසන්ත කෝදාගොඩ බැඳුම්කර වංචා විමර්ශන ජනාධිපති කොමිසමේ වාර්තාව ද අධිකරණයට ඉදිරිපත් කළේය.


මහේන්ද්‍රන් ඇලෝසියස් පලිසේන සැකකරුවන් ලෙස නම් කෙරේ

* විදෙස් ගමන් තහනම්
* 15ට පෙර ප්‍රකාශයකට මහේන්ද්‍රන්ට නියෝග

මහ බැංකුවේ හිටපු අධිපති ලක්ෂ්මන් අර්ජුන් මහේන්ද්‍රන්, පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ තත්ත්වාකාර ප්‍රධානියකු ලෙස කටයුතු කළ පර්පෙචුවල් ට්‍රෙෂරීස් හෝල්ඩිංග්ස් ලිමිටඩ් ආයතනයේ අධ්‍යක්ෂ අර්ජුන් ජෝසප් ඇලෝසියස් සහ පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි පලිසේන අප්පුහාමිලාගේ දොන් කසුන් ඕෂදී පලිසේන නමැති අයවලුන් මහ බැංකු බැඳුම්කර සිද්ධියට අදාළව සැකකරුවන් ලෙස නම් කරමින් ඔවුන්ගේ විදෙස් ගතවීම වළකාලමින් නියෝගයක් නිකුත් කළ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය එම නියෝගයේ පිටපත් ආගමන විගමන පාලකවරයාට යොමු කරන ලෙස නියෝගයක් ඊයේ (02) නිකුත් කළාය.

මේ සිද්ධියට අදාළව නීතිපති දොපර්තමේන්තුව විසින් අධිකරණයෙන් ඉල්ලා සිටි නියෝග 09ක් නිකුත් කළ මහේස්ත්‍රාත්වරිය සිංගප්පූරුවේ පුරවැසියකු වන මේ වන විට සිංගප්පූරුවේ පදිංචිව සිටින හිටපු මහ බැංකුවේ අධිපති ලක්ෂ්මන් අර්ජුන් මහේන්ද්‍රන් මහතාට කොළඹ අපරාධ පරීක්ෂණ දොපර්තමේන්තුව සිදු කරන විමර්ශනයට සහාය දැක්වීම සඳහා 2018-02-15 දිනට පෙර ශ්‍රී ලංකාවට පැමිණ වාර්තා කරන ලෙස නියෝග කළ මහේස්ත්‍රාත්වරිය එම නියෝගය ඉංග්‍රීසි භාෂාවෙන් නිකුත් කරන ලෙසත් නියෝගයේ පිටපතක් සිංගප්පූරු ජාත්‍යන්තර පොලිසියට යොමු කරන ලෙසත් නියෝග කළාය.

‍මහේස්ත්‍රාත්වරිය මෙලෙස නියෝග කළේ භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුවේදී අක්‍රමිකතාවක් අපරාධයක් සිදුව ඇද්ද යන්න සෙවීමට පත් කළ ජනාධිපති විර්ශන කොමිෂන් සභාවේ නිර්දේශවලට අදාළව නීතිපතිවරයා යම් යම් අපරාධ වරදවල් සිදුව ඇති බවට විමර්ශනය කිරීමට අපරාධ පරීක්ෂණ දොපර්මේන්තුවට යොමු කොට ඇති බවට අතිරේක සොලිසිටර් ජනරාල් ‍ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ මහතා සහ අපරාධ පරීක්ෂණ දපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරි ශානි අබේසේකර මහතා අධිකරණයට සිදු කළ සැළ කිරීම්වලින් අනතුරුවය.

ඔවුන් මහ බැංකු බැඳුම්කර සිද්ධියට අදාළව සැකකරුවන් බැවින් මෙරටින් පිටවීමේ දී හෝ මෙරටට පැමිණීමට ගුවන්තොටුපළට හෝ වරායකට පැමිණීමේ දී පොලිස් අපරාධ කොට්ඨාසයට දැනුම් දෙන ලෙසට ද මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.

එම නියෝගයේ පිටපතක් රාජ්‍ය බුද්ධි අංශයේ අධ්‍යක්ෂවරයාට නිකුත් කරන ලෙසට ද මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.

මේ සිද්ධියට අදාළව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයාව සිටි ලක්ෂ්මන් අර්ජුන් මහේන්ද්‍රන් මහතා නෛතික කොන්දේසි චේතනාන්විතව උල්ලංඝනය කරමින් එම භාරය පිළිබඳ විශ්වාසය කඩ කර ඇති නිසා පොදු දේපළක් වූ රාජ්‍ය මුදල් සාපරාධි සාවද්‍ය පරිහරණයකට ලක් කර ඇති බවත් ඉන් රජයට සිදුව ඇති පාඩුව රුපියල් මිලියන 688ක් බවට තක්සේරු වී ඇති බව ද අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ මහතා අධිකරණයට කියා සිටියේය.

පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ගිණුම්වල මේ වන විට ප්‍රශ්න ගත මුදල් රුපියල් බිලියන 9.1ක් රඳවා ඇති බවත් සම්පූර්ණ අලාභය එය ඉක්මවිය හැකි බවට කොමිසම අනාවරණය කර ඇති බවත් කී අතිරේක සොලිසිටර් ජනරාල්වරයා එම සමාගම 2015, 2016 වසරවල දී උපයා ඇති ශුද්ධ ලාභය රුපියල් බිලියන 11.5ක් බව ද අධිකරණයට කියා සිටියේය.

පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ තත්ත්වාකාරයෙන් කටයුතු කළ අර්ජුන් ‍ජෝසප් ඇලෝසියස් මහතා තම මාමණ්ඩිය වූ හිටපු මහ බැංකු අධිපති වූ පසුව තම සමාගමේ අධ්‍යක්ෂ ධුරයෙන් ඉවත්ව මේ සිද්ධියට අදාළව සාපරාධී සාවද්‍ය පරිහරණය සාපරාධී විශ්වාසය කඩ කළ බවට වාර්තාවේ සඳහන් කර ඇතැයි ද අර්ජුන් මහේන්ද්‍රන් මහතා සිදු කළ වරදවලට අර්ජුන් ඇලෝසියස් සහ කසුන් පලිසේන යන නැමැත්තන් අනුබල දී ඇතැයි විමර්ශන අනාවරණය කර ඇතැයි ද අධිකරණයට අතිරේක සොලිසිටර් ජනරාල්වරයා කියා සිටියේය.

මේ සිද්ධියට අදාළව 2015-02-27 භාණ්ඩාගාර බැඳුම්කර වෙළෙඳ පොළට සහභාගී වූ අවස්ථාවේ සිට ප්‍රාථමික හා ද්විතීයික බැඳුම්කර මිලදී ගැනීමේ විකිණීමේ අරඹයා ඇති තොරතුරු සහ ආනුශාංශික මූල ලේඛන පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට භාර දෙන ලෙස පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රධාන විධායක විජයවදිනි ජේසුදාසන් මහත්මියට සහ මූල්‍ය කළමනාකරිනි නවගමුවගේ නදීකා දිල්හානි ජයසේකර මහත්මියට නියෝග කළ මහේස්ත්‍රාත්වරිය බැඳුම්කර වෙළෙඳාමෙන් උපයා ගත් ලාභය සම්බන්ධ ලේඛන සහ සකසන ලද ලැයිස්තු පොලිස් අපරාධ විමර්ශන කොට්ඨාසයට භාර දෙන ලෙසට නියෝග කළාය.

මේ වන විටත් නීත්‍යානුකූල නොවන අන්දමින් උපයා ඇති මුදල් මහ බැංකුව විසින් අත්හිටුවා ඇති බැවින් වරදට අදාළව නීති විරෝධී අන්දමින් උපාය ගත් යම් කිසි මුදලක් ඇද්ද යන්න සෙවීම පිණිස මේ ගිණුම්වල ඇති මුදල් ගිණුම් සම්බන්ධ විමර්ශන අවසන් වන තෙක් මුදල් බැහැර වීම සුදුසු නොවන හෙයින් එම ගිණුම් තව දුරටත් අත්හිටුවන ලෙසටත් මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.

එම ගිණුම්වල ඇති මුදල් පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හෝ අනුබද්ධිත සමාගමක හෝ කිසියම් අධ්‍යක්ෂවරයකු වෙත මුදා නොහැර ශ්‍රී ලංකා මහ බැංකුව භාරයේ රඳවා තබන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයාට මහේස්ත්‍රාත්වරිය මේ නියෝගය නිකුත් කළාය.

මේ සිද්ධියට අදාළව අනෙකුත් සමාගම් ප්‍රාථමික සහ ද්විතියික වෙළෙඳුන් සමඟ සිදු කරන ගනු-දෙනුවල දී නිත්‍යානුකූල නොවන අයුරින් උපයා ගත් මුදලින් නීති විරෝධී ලෙස ගත් දේපළ බැහැර කිරීම තමන් නමින් හෝ වෙනත් නම්වලින් ගිණුම්වල තැන්පත් කර ඇති මුදල්, සමාගම් කොටස් හෝ වෙනත් කවර ආකාරයක හෝ ඇති වත්කම් විකිණීම, බැහැර කිරීම, තෑගි දීම, හුවමාරු කිරීම හෝ ආයෝජනය කිරීම අත්හිටුවමින් පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ සභාපති අධ්‍යක්ෂවරුන් මෙන්ම විධායක නිලධාරිවරයාට මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.

එමෙන්ම මේ සිද්ධියට අදාළ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශනය සිදු කරන හා විභාග වන අවස්ථාවන්හි දී භාවිත කරන ලද පරිගණක උපාංග දත්ත ගබඩා ඇතුළු උපකරණ අපරාධ පරීක්ෂණ දොපර්තමේන්තුවට බාර දෙන ලෙස කොමිෂන් සභාවේ ලේකම්වරයාට මහේස්ත්‍රාත්වරිය නියෝගයක් සිදු කළ අතර, 2015-02-27 සිට අදාළ සමාගම සිදු කරන ලද ගනු-දෙනු සම්බන්ධයෙන් සිදු කළ ගෙවීම්, චංචල නිශ්චල දේපළ පිළිබඳ සවිස්තර මුල්‍ය මණ්ඩලයේ සැදුම්ලත් වෘත්තියවේදීන්ගේ සහභාගීත්වයෙන් සිදු කර සවිස්තර වාර්තාවක් කඩිනමින් අපරාධ පරීක්ෂණ දොපර්තමේන්තුවට භාර දෙන ලෙස මහ බැංකුවේ අධීපතිවරයාට මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.

භාණ්ඩාගාර බැඳුම්කර නිකුත්වේ දී අක්‍රමිකතාවක් සිදුව ඇති බවටත් යම් යම් අපරාධ වරදවල් සිදුව ඇති බවට පෙනී යන හෙයින් සුදුසු පියවර ගැනීමට නීතිපතිවරයා නිර්දේශ කර ඇති බව අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ මහතා අධිකරණයට කියා සිටියේය.

මේ සිද්ධිය සම්බන්ධයෙන් ‍අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ මහතා ඇතුළු මඬුල්ලක් අධිකරණයට කරුණු දැක් වූ අතර, පැමිණිල්ල ඉදිරිපත් කරමින් අපරාධ පරීක්ෂණ දොපාර්තමේන්තුවේ ස්ථානාධිපති ශානි අබේසේකර මහතා කරුණු දැක්වීය.

සිද්ධිය සම්බන්ධයෙන් ලබන 16 වැනිදා අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය. 

සුභාෂිණී සේනානායක

නව අදහස දක්වන්න