ෆෝර්ඩ් හා වර්ල්ඩ්වි­ෂන් ලංකා එක්ව පොලො­න්න­රුවේ වැසි ජල අස්වනු ව්‍යාපෘ­ති­යක් දියත් කරයි | දිනමිණ

ෆෝර්ඩ් හා වර්ල්ඩ්වි­ෂන් ලංකා එක්ව පොලො­න්න­රුවේ වැසි ජල අස්වනු ව්‍යාපෘ­ති­යක් දියත් කරයි

ලෝ සුපතල රථවාහන සන්නාමයක් වන ෆෝර්ඩ් හා එහි දේශීය බෙදාහැරීම් සහකරු වන ෆියුචර් ඔටෝමොබයිල්ස් පුද්ගලික සමාගම හා වර්ල්ඩ් විෂන් ලංකා එක්ව පොලොන්නරුව දිස්ත්‍රික්කයේ වැසි ජලයෙන් ඉහළ වී අස්වැන්නක් ලබා ගැනීම සඳහා වන වැඩසටහනක් දියත් කරයි.

පොලොන්නරුව වැලිකන්ද ප්‍රදේශය මුල්කරගනිමින් ක්‍රියාත්මක කෙරෙන මේ ව්‍යාපෘතිය මඟින් මූලික වශයෙන් ප්‍රතිලාභීන් 100 දෙනෙක් වෙත සේවා සැලසීමට නියමිතව තිබේ. මේ ව්‍යාපෘතිය යටතේ නිකරුනේ අපතේ යන වැසි ජලය රැස්කර තබා ගනිමින් වර්ෂාව අඩු කාලවල දී ඒවා කෘෂිකාර්මික කටයුතු සඳහා යොදා ගැනීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කෙරෙයි.

මේ ව්‍යාපෘතිය අරමුණු කිහිපයක් පෙරදැරි කරගෙන ක්‍රියාත්මක කෙරන අතර, එහි පළමු වැන්න පවුල් 5 - 6ත් අතර පවුල් සමූහයකට එක් වැසි ජල අස්වනු ව්‍යාපෘතිය බැගින් ඉදිකර ඒවායේ පාලනය එම පවුල්වලට භාරදීමයි. මෙහි දී එම සෑම කණ්ඩායමකම එක් සාමාජිකයකු ප්‍රජා මූල සංවිධානයක සාමාජිකයකු වන අතර, ඔහුට මේ වැසි ජල අස්වනු ව්‍යාපෘතිය පිළිබඳව විශේෂ පුහුණුවක් ලබාදෙනු ලබයි. මේ වැසි ජල අස්වනු ව්‍යාපෘතිය සූර්ය බලය යොදා ගනිමින් ක්‍රියාත්මක වන අතර, එමඟින් පුනර්ජනනීය බලශක්තිය භාවිත කිරීම සම්බන්ධයෙන් ග්‍රාමීය ජනයා දැනුවත් කිරීම සහ ඊට පුහුණු කිරීම සිදුවෙයි. මෙහි දෙවන අරමුණ වන්නේ වියළි කාල සීමාවල දී අවම වන භූගත ජල මට්ටම ස්ථාවරව පවත්වා ගැනීම සඳහා ක්‍රියාකිරීමයි. මේ වැසි ජල අස්වනු ව්‍යාපෘතිය මඟින් වර්ෂාව මඟින් ලැබෙන ජලය වියළි කාලසීමාවල දී පොළවට යොමු කෙරෙන නිසා භූගත ජල මට්ටම අඩුවීම පාලනය කර ගැනීමට අවස්ථාව සැලසෙයි. තුන්වන අරමුණ වන්නේ පුනර්ජනනීය ජල පාරිභෝජන සමාජ සහ පවුල් කණ්ඩායම් වෙත සූර්ය බලයෙන් ක්‍රියාකරන අස්වනු ව්‍යාපෘති පිළිබඳව පුහුණුවක් ලබාදීමයි.

මේ ව්‍යාපෘති පිළිබඳව අදහස් දැක්වූ ෆියුචර් ඔටෝ මොබයිල්ස් පුද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි චමත් තෙන්නකෝන් මහතා සඳහන් කළේ වර්ල්ඩ් විෂන් ලංකා ආයතනය සමඟ වසර ගණනාවක සිට පැවති සබඳතාව මේ ව්‍යාපෘතිය සමඟ නව මානයකට යොමු වන බවයි. වැලිකන්ද වැනි ප්‍රදේශවල ජනතාව දැඩි ලෙස නියඟයෙන් පීඩා විඳින ප්‍රජාවක් බවත් ඔවුන්ගේ ජීවන පැවැත්ම නියඟය නිසා අඩාල වන බවත් පෙන්වා දුන්නේය. වැසි ජලය යොදා ගනිමින් ක්‍රියාත්මක කෙරෙන මේ ව්‍යාපෘතිය මඟින් ඔවුන්ට ඉමහත් සේවාවක් සිදුවන බව ද තෙන්නකෝන් මහතා සඳහන් කළේය. එමෙන්ම රැස්කර ගන්නා වැසි ජලය සූර්ය බලය යොදා ගනිමින් පොම්ප කිරීම සිදුකෙරෙන නිසා පුනර්ජනනීය බලශක්තිය යොදා ගැනීම පිළිබඳව ග්‍රාමීය ජනයාට මනා අවබෝධයක් ලබාගැනීමට ද මෙහි දී අවස්ථාව හිමිවන බව හෙතෙම වැඩි දුරටත් පැවැසීය.

මෙහි දී අදහස් දැක්වූ වර්ල්ඩ් විෂන් ලංකා හි ජාතික අධ්‍යක්ෂ ධනන් සේනාධිරාජා මහතා සඳහන් කළේ වර්ල්ඩ් විෂන් ලංකා විසින් දිවයිනේ විවිධ ප්‍රදේශවල ව්‍යාපෘති රැසක් දියත් කරන බවයි. ඒ සඳහා සහයෝගය දැක්වීම පිළිබඳව ෆෝර්ඩ් සමාගම වෙත ස්තූතිය පිරිනමන බව ද හෙතෙම සඳහන් කළේය. පසුගිය වසරේ ෆෝර්ඩ් සමාගමේ සහයෝගය ඇතිව පවුල් 200 කට පිරිසිදු ජල පහසුකම් සැපයීමට හැකියාව ලැබුණු බව හෙතෙම මෙහි දී සිහිපත් කළේය. ඒ හා සමාන ව්‍යාපෘතියක් වන වැලිකන්ද ප්‍රදේශයේ ජනතාවට වැසි ජල ව්‍යාපෘතියක් සඳහා අනුග්‍රහය දැක්වීමට ෆෝර්ඩ් ඉදිරිපත්වීම පිළිබඳව සතුට පළ කරන බව සේනාධිරාජා මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

- ජයන්ති කුරේ

නව අදහස දක්වන්න