මලක් නොවන ‘දිවි’ සුරකින මල් | දිනමිණ

මලක් නොවන ‘දිවි’ සුරකින මල්

නෙතට ප්‍රිය දසුනක් වන බිම් මලක් ප්‍රණීත ආහාරයක් ලෙස පිළියෙළ කිරීම ලෙහෙසි පහසු කර්තව්‍යක් නොවේ.ඒ සඳහා තම දහඩිය මහන්සිය මෙන්ම කාලය ද කැප කරන මිනිසුන් මිහි පිට වෙසෙයි.පිදුරු ගොඩක එසේත් නැත්නම් ලී කුඩු මත පිපෙන බිම් මලක් විද්‍යානුකූලව විවිධ විපර්යාසයන්ට බඳුන්වේ. දිලීර විශේෂයක් වශයෙන් හැඳින්වෙන බිම්මල් දිලීරමය ආහාරයක් ලෙස පිළිගැනීමට පුළුවන. මෙවැනි දිලීර වර්ග අප්‍රාණික ශාක හා සත්ව කොටස් මත ජීවත්වේ. එම නිසා මෙවැනි දිලීර මෘතෝප ජීවීන් වශයෙන් හැඳින්වේ. මේ අනුව මිනිසුන් විසින් ආහාරයට ගනු ලබන විවිධ බිම්මල් වර්ග මෘතෝප ජීවී කාණ්ඩයට අයත් මිනිසාට ප්‍රයෝජනවත් දිලීර වල හටගන්නා විශේෂිත කොටස් ලෙස සැලකිය හැක. ඈත අතීතයේ සිටම ස්වහාවිකව හට ගත් බිම්මල් මිනිසා ආහාරයට ගෙන තිබේ.

නමුත් දැනට වසර කිහිපයකට පෙර සිට ආහාරයට නිරතුරුවම බිම්මල් යොදාගැනීම කෙරෙහි අප සමාජය තුළ පවතින උනන්දූව ක්‍රමයෙන් වැඩිවෙත්ම බිම්මල් වගාව සඳහා යොමුවීම සුලභව දක්නට ලැබේ. දිලීරයන්හි පවතින ලක්ෂණ අනුව විද්‍යාත්මකව දිලීර වර්ගීකරණය කර තිබේ. ඒ අනුව ආහාරයට ගනු ලබන බිම්මල් අයත් වන්නේ බැසීඩියොමයිටීස් කාණ්ඩයටය. මෙම බැසීඩියොමයිටීස් කාණ්ඩයට අයත් වන දිලීර අතුරින් ආහාරයට ගන්නා බිම්මල් අයත් වන්නේ ඇගාරිකාලේස් ගණයටය. මෙම ගණයට අයත් වන බිම්මල්ද නැවත මාංසල හා මාංසල නොවන යනුවෙන් කොටස් දෙකකට බෙදිය හැකිය. මාංසල කොටසට අයත් වන සමහර බිම්මල් වර්ග පමණක් පුද්ගල ශරීර සෞඛයට යහපත් වන නිසා ඒවා ආහාරයට එක් කර ගැනීමට පුළුවන.

මස් මාංශයන් ආහාරයට එක් කර නොගන්නා පුද්ගලයින් මස් මාංශවලට විකල්පයක් වශයෙන් බිම් මල් ආහාරයට ගැනීමට වැඩි නැඹුරුතාවක් දක්වයි. ප්‍රෝටීන අධික ප්‍රමාණයක් අන්තර්ගත වන බිම්මල් විවිධ ආහාර වට්ටෝරුවලින් රසවත් ආකාරයට ද සකස් කළ හැකි ය.

වර්තමානයේ බොහෝ පුද්ගලයින් ස්වයං රැකියාවක් වශයෙන් බිම් මල් වගාව ආරම්ළ කළ පසු කාලීනව මහා පරිමාණ බිම් මල් ව්‍යාපාරකයින් බවට පත් වී ඇත.වෙළෙඳපළේ එළවළුවලට මෙන් ඉල්ලුමක් බිම් මල්වලට තිබෙන නිසාවෙන් වර්තමානයේ බෝහෝ බිම් මල් ව්‍යාපාරකයින් තම ආර්ථික ජීවිතය බිම් මලින් ජය ගන්නට උත්සහ කරයි. පහත දැක්වෙන්නේ ශ්‍රී ලංකාවේ විවිධ ප්‍ර දේශවල බිම් මල් ව්‍යාපාරකයින් තම ව්‍යාපාර පිළිබඳව දක්වන අදහස් ඇසුරින් සකස් කළ සටහනකි.

* “2015 දී තමයි අපි හතු වගාව පටන් අර ගත්තේ. මුලින්ම පටන් අර ගත්තේ පොඩි මැටි ගෙදරක. ඊට පස්සේ මම විවිධ අත්හදා බැලීම් සිදු කළා. 2016 වර්ෂයේ දී මගේ ව්‍යාපාරය තරමක මැටි ගෙයක් හදලා පිළිවෙළකට සෑම දෙයක්ම සකසලා ලියාපදිංචි කළා. දැන් ගොඩනැගිලි 2 ක මම හතු වගාව සිදු කරනවා. බිමි මල් පැකට් 3000 ක් විතර හදන්න පුළුවන් විදිහට මම සෑම දෙයක්ම පිළියෙල කර ගෙන තියෙනවා. ඇමරිකන් ඔයිටර් කියන බිම් මල් වර්ගය තමයි මගේ ළඟ ගොඩාක්ම තියෙන්නේ. ඇබලෝනි එකේ රෝස පාට වර්ගය හදන්න තමයි දැන් මම උත්සහ ගන්නේ.

අපි විකුණන්නේ රුපියල් 70 යි. කඩවලට දාන්නේ රුපියල් 60 යි.‍බිම් මල් වගාව හරියාකාරව කළොත් ලාභ උපයන්න පුළුවන්. පැකට් හදන කාලයට මම වැඩ කරන කෙනෙක්ව ගන්නවා. එහෙම නැති දවස්වලට මමයි මගේ බිරිඳයි තමයි සෑම දෙයක්ම සිදු කරන්නේ.

අපිට වෙළෙඳපොළ අභියෝග නම් ගොඩාක් තියනවා. කෘමියන්ගෙන් බිම් මල් ආරක්ෂා කර ගැනීම තමයි ටිකක් අපහසු. ඉස්සර නම් කෘමීන් නිසා විශාල අපහසුතාවයන්ට පත් වුණා. දැන් නම් අපි නෙට් ගහලා නිසා ඒ වාගේ ගැටලු ඇති වන්නේ නැහැ.

අපි ඉස්සරහට දැන් බමිමල් දාන කඩවලට පමණක් බිම්මල් දාන්න හිතන් ඉන්නේ නෑ. අපි ටිකක් දුර පැතිවලට අපේ බිම් මල් විකුණ ගන්න ඕනේ. නැත්නම් බිම් මල්වලින් අපට හිතන තරම් ආදායමක් ලබා ගන්න බැහැ“ යනුවෙන් වල්පලාගම උතුර, සංඝරාජපුර පදිංචි වල්ගමගේ ආනන්ද පුෂ්ප කුමාර ප්‍රකාශ කළේ ය.

කෘමි සතුන්ගෙන් තමන් වෙසෙහ මහන්සි වී සකසන බිම් මල් වගාව ආරක්ෂා කර ගැනීමට බිම් මල් ව්‍යාපාරකයින් වෙහෙසෙන්නේ ය. නැවුම් මෙන් ම පිරිසිදුභාවයෙන් උසස් බිම් මල් පැකට්ටුවක අන්තර්ගතව ඇත්තේ බිම් මල් වගාකරුවන්ගේ මහන්සියේ ප්‍රතිඑලයන් ය. කොපමණ බිඳ වැටීම් පැවතුණත් යළි දෙපයින් නැඟිට තම බිම් මල් වගාව සරි කර ගැනීමට බොහෝ ව්‍යාපාරකයින් වෙහෙසෙන්නේ ය.

* “ඇමරිකන් ඔයිටර් බිම් මල් වර්ගයෙන් තමයි මම මුලින්ම බිම් මල් වගාව පටන් අර ගත්තේ. මම බිම් මල් වගාව පටන් අරගෙන දැන් අවුරුද්දක් විතර ඇති. අපේ ගෙදර සමාජිකයෝ එකතු වෙලා තමයි අපේ බිම් මල් ව්‍යාපාරය සිදු කර ගෙන යන්නේ. අපි බිම් මල් පැකට් එකක් රුපියල් 60-70 අතර මුදලකට තමයි විකුණන්නේ.කඩවලට දාන්නේ පැකට් එකක් රුපියල් 60 කටයි.

බිම් මල්වලට නගරබඳ ලොකු ඉල්ලුමක් තියෙනවා. ගම්වල ගස්වලයි, ලී වලයි බිම්මල් වර්ග වැවෙන හින්දා , ගම්වල මිනිස්සුගෙන් ඉල්ලුමක් නැහැ.බිම්මල් පැකට් එකක් කල්තබා ගන්න පුළුවන් දවස් 03 ක් විතරයි.එළවළු මිල වැඩි වුණොත් හතු මිල වැඩි වෙනවා.එළවළු මිල අඩු වුණොත් හතු මිලත් අඩු වනවා.

මම නම් කියන්නේ බිම් මල් ව්‍යාපාර කරනවානම් මහා පරිමාණයට කරන්න ඕනේ කියලයි. බිම්මල් වගා කරන්න, නිෂ්පාදනයට යන පිරිවැයත් එක්ක මහා පරිමාණයට යන එක තමයි හොඳම.මගේ අරමුණ තමයි මගේ බිම් මල් ව්‍යාපාරය පුළුවන් තරම් දියුණු කරන එකයි“ යනුවෙන් කලවටුවාවෙහි පදිංචි රාජගුරු ප්‍රකාශ කළා ය.

ස්වයං රැකියාවකින් ආරම්භ කළ බිම් මල් වගාකරුවන්ගේ අනාගත අපේක්ෂාව මහා පරිමාණ ව්‍යාපාරිකයින් වීම ය. ඒ සඳහා ඔවුන් තමන්ට කළ හැකි උපරිමය සිදු කරනු ලබයි. එළවළු මිලත් සමඟ හතු පැකට්ටුවක මිලත් විවිධ විපර්යාසයන්ට ලක් වන නිසාවෙන් හතු ව්‍යාපාරකයින්ට තරඟකාරී වෙළෙඳපළ හමුවේ තම දක්ෂතාවයන් මෙන්ම ව්‍යාපාරික ඤාණයන් ද පෙන්වීමට සිදු වේ.

* නුවර, දේදුණුපිටියෙහි පදිංචි විජිතා දසනායක තම බිම් මල් ව්‍යාපාරය පිළිබඳව ප්‍රකාශ කළේ මෙපරිදි ය.

“2010 වර්ෂයේ දී තමයි මම බිම් මල් ව්‍යාපාරය පටන් අර ගත්තේ.මේක පටන් ගන්න ඉස්සර වෙලා මම ගෙදර පාපිසි මහලා විකුණුවා. ඒ දේවල් මම කළේ ගෙදර නිකං ඉන්න හින්දයි.බිම් මල් වගාව පටන් ගන්න කලන් මම බිම් මල් වගාව පිළිබඳව පැය 03 ක පුහුණුවක් (ටොබැකෝ ) දුම් කොළ සමාගමෙන් ලබා ගත්තා.අපේ ගම්වල ගොවීන්ට නම් සත්ත්ව පාලනය පිළිබඳව විවිධ පුහුණු පාඨමාලාවන් පවත්වනවා. අපි කාන්තාවන් හින්දා අපිට සත්ත්ව පාලනය කිරීම අපහසු නිසා අපි කිව්වා අපිට බිම් මල් වගාව පිළිබදව පුහුණුවක් ලබා දෙන්න කියලා.ඒ විඳිහට තමයි අපිට දුම්කොළ සමාගමෙන් බිම් මල් වගාව පිළිබඳව පැය 03 ක පුහුණුවක් ලබා දුන්නේ. ඊට පස්සේ ටිකෙන් ටික ඒ දේවල් ඉගෙන ගෙන පුළුවන් විඳිහට බිම් මල් වගා කරා. ඊට පස්සේ මම වැඩි පුර බිම් මල් වගාව ඉගෙන ගන්න කියලා හිතාගෙන ගන්නොරුවේ පුහුණුවකටත් සහභාගී වුණා.

ඉස්සර මම බිම් මල් ගෙයක් කියන්නේ මොකක් ද? කියලාවත් දැනගෙන හිටියේ නෑ. මුලින්ම බිම් මල් වගා කරපු කාලේ බිම් මල් පරවෙනවා, වේලෙනවා.සමහරක් වේලාවට බිම් මල් පිපෙන්නෙත් නැති තරම්. ඒ කාලේ එහෙම දුෂ්කරතාවයන්ට මාව පත් වුණා.මුලින්ම මම පටන් ගත්තේ බිම් මල් වගා මළු 250 න්, දැන් මට බිම් මල් වගා මළු 7000 ක් විතර තියෙනවා.බිම් මල් පැකට් කරන්න වෙනම ස්ථානයක තියෙනවා. ඒ වාගේ ම බිම් මල්වල පුස් දුවන්න තියන්න වෙනමම කාමරයක් මම දැන් හදලා තියෙනවා.

ඇමරිකන් ඔයිටර්, ඇබලෝනි, පිදුරු බිම් මල් තමයි මම නම් සාමාන්‍යෙයන් හදන්නේ.මම ඉදිරියේ දී භූතාන් හතු එකයි,එම්. කේ වයිට් හතු එකයි හදන්න හිතාගෙන ඉන්නවා.ඉස්සර නම් මට වැඩ කරන්න උදව් කරන්න දෙන්නෙක් ඉන්නවා. දැන් නම් මගේ පවුලේ අම්මයි, මහත්තයයි ගොඩාක් උදව් කරනවා.අපි වෙළෙඳපළට දාන්නේ හතු පැකට් එකක් රුපියල් 70 යි. අපි විකුණන්නේ රුපියල් 60 යි.

මම බිම් මල් වගාවට අමතරව එළවළු විජලනයත් කරනවා.කරවිල, බටු , බණ්ඩක්කා වැනි එළවළු මම විජලනය කරලා විකුණනවා. බිම් මල් සුප් පැකට් එකත් එක්ක, ලීක්ස්, කැරට් , ගෝවා විජලනය කරලා දෙනවා. ඒ පැකට් එක මම දෙන්නේ රුපියල් 160 යි.මට නම් ගොඩාක්ම ඉල්ලුම තියෙන්නේ එළවළු විජලනයටයි.මේ දවස්වල නම් එළවළු මිල ගණන් වැඩි හින්දා අපි එළවළු විජලනය අඩු කරලා තියෙන්නේ. එළවළු මිල වැඩි කරොත් අපිට අපේ මිල ගණන්වලට දෙන්න අපහසුයි.

හතු වගාවේ දී අපි මුහුණ දෙන ලොකුම ගැටලුව තමයි ලී කුඩු සෝයා ගන්න අපහසුකම. දැන් බොයිලේරුවලට ලී කුඩු තොග වශයෙන් අරගෙන යනවා. බොයිලේරුවලට ලී කුඩු වර්ගය මොකක් වුණත් කමක් නෑ. හැබැයි අපිට බිම් මල් වගා කරන කොට අවශ්‍ය වන්නේ සැහැල්ලු ලී කුඩුයි“

ලී කුඩු සොයා ගැනීමේ අභියෝගය බිම් මල් වගා කරුවන්ට තිබෙන දැවැන්ත ගැටලුවකි. ලී විවිධ ක්ෂේත්‍රයන්හි අනේකවිධ දෑ වලට යොදා ගන්නා නිසාවෙන් කවදා හෝ දිනක බිම් මල් වගා කරුවන්ට ලී කුඩු නැත්තටම නැති වී යාමට ද පුළුවන. එසේ වුවහොත් ඔවුගේ ආර්ථික ජීවිතය සරි කර ගත නොහැකි වේ. එම නිසා වර්තමානයේ බොහෝ බිම් මල් ව්‍යාපාරකයින් එළවළු විජලනය වැනි විවිධ ක්ෂේත්‍රයන්හි නියැලීමට පෙළබී තිබේ.

*“මට බිම්මල් වගාව කිරීම පිළිබඳව උපදෙස් ලබා දීලා ස්වයං රැකියාවක් කරන්න පටන් ගන්න ඉස්සෙල්ලම උදව් කළේ ගාල්ලේ කොරදේවල ගොවිජනසේවා මධ්‍යස්ථානයේ ශීලා කොඩිතුවක්කු මහත්මියයි.50% ආධාර වැඩසටහන මඟින් මම බිම් මල් වගාව පිළිබඳව වැඩි දුර තොරතුරු දැන ගත්තා.කාර්මික සංවර්ධන මණ්ඩලය මඟින් බිම්මල් චට්නි සහ බිම් මල් අච්චාරු හදන හැටි ඉගෙන ගත්තා.ඒ වාගේ ම මම බැද්දේගම විදාතා මධ්‍යස්ථානයෙන් බිම් මල් සැන්විච් හදන්න ඉගෙන ගත්තා.

මම මුලින්ම බිම් මල් වගාව පටන් අර ගත්තේ වගා මළු 100 කින් , දැන් මට වගා මළු 50,000 ක් තියනවා.බිම් මල් වගාව තියන්නේ අවදානම්සහගත වෘත්තියක්.අපිට ලී කුඩු සහ පිදුරු සොයා ගැනීමේ දුෂ්කරතාවය තියනවා. පිදුරු දැන් මිනිස්සු කුඹුරුවලට දානවා , පොහොර වෙන්න. ඒ හින්දා පිදුරු සොයා ගැනීම ලෙහෙසි නෑ.

මම ඇමරිකන් ඹයිස්ටර් හතු ග්‍රෑම් 200 පැකට් එකක් රුපියල් 80, ඇබලෝන් වර්ගයේ හතු ග්‍රෑම් 200 පැකට් එකක් රුපියල් 200 ,බුතාන් වර්ගයේ හතු ග්‍රෑම් 200 පැකට් එකක් රුපියල් 90,බිම්මල් ග්‍රෑම් 150 ක පැකට් එකක් රුපියල් 330,බිම්මල් චීලී පේස්ට් ග්‍රෑම් 150 එකක් රුපියල් 225,බිම්මල් චට්නි ග්‍රෑම් 200 එකක් රුපියල් 280,බිම්මල් සිංහල අච්චාරු ග්‍රෑම් 200 එකක් රුපියල් 280, බිම්මල් මැලේ අච්චාරු ග්‍රෑම් 200 එකක් රුපියල් 200 කට තමයි මම විකුණන්නේ“යනුවෙන් ගාල්ලේ ගිනි මැල්ලගහ පදිංචි චමරි නිරෝෂණී ප්‍රකාශ කළා ය.

හතු වගා කරන්නන් වර්තමානයේ දී හතු වගාවටම පමණක් සීමා නොවී හතුවලින් සිදු කළ හැකි වෙනත් නිෂ්පාදන සකස් කිරීමට යොමු වී තිබේ. එපමණක් නොව වර්තමානයේ දී බිම්මල්වලින් විවිධ ආහාර නිෂ්පාදනය කරමින් ව්‍යවසාහකයින් සේ රටේ ආර්ථිකයේ හෙට දවස සාරවත් කිරීමට උනන්දු වන ව්‍යාපාරකයින් ද බොහෝමයක් සීටී. බිම් මලක් කොතරම් පිවිතුරු වුවත් එවැනි බිම් මලක් ප්‍රණීත ව්‍යංජනයක් ලෙස සකස් කළ හැකි වන ආකාරය දක්වා බිම් මලක් නිවැරදි ලෙස වගා කිරීමට ආනන්ද පුෂ්පකුමාර,රාජගුරු,විජිතා සහ චමරි ඇතුළු ලංකාවේ සිටින තවත් මෙවැනි බිම් මල් වගාකරුවන් තම දහඩිය මහන්සිය කැප කරනු ලබයි. ඔවුන්ගේ ජීවිත බිම් මලක් මෙන් සොඳුරු කර ගෙන ශ්‍රී ලාංකීය ආහාර නිෂ්පාදන ක්ෂේත්‍රයේ ඉදිරි ගමන ආලෝකමත් කිරීමට ඔවුන්ට අනිවාර්යයෙන්ම හැකි වන බව නම් නියත ය.

 මදාරා මුද­ලිගේ


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...