තල­ව­කැලේ තේ සමා­ගම සිව් වැනි වර­ටත් ඇගයේ | දිනමිණ

තල­ව­කැලේ තේ සමා­ගම සිව් වැනි වර­ටත් ඇගයේ

හේලීස් සමූහයේ උප සමාගමක් වන තලවකැලේ ටී එස්ටේට්ස් පීඑල්සී TTEL, පිළිවෙළින් සිව් වැනි වරටත් පසුගිය දා පැවැති ජනාධිපති පාරිසරික සම්මාන උළෙලේ දී ඇගයීමට ලක්ව තිබේ. තලවකැලේ තේ සමාගම හරිත භාවිතාවන් සහ පාරිසරික තිරසාරභාවය වෙනුවෙන් ගනු ලබන උත්සාහයන් අගයමින් මේ සම්මාන පිරිනමන ලදී.

මෙවර සම්මාන උළෙලේ දී හොලිරූඩ් වතුයායේ තේ කර්මාන්තශාලාව රිදී සම්මානයෙන් සහ දෙණියාය වතුයාය ලෝකඩ සම්මානයෙන් පිදුම් ලැබුවේය. මත්තකැලේ වතුයාය සහ බෙයාවෙල් වතුයාය කුසලතා සම්මානයන් දිනාගත් අතර තේ කර්මාන්තය තුළ පෙන්නුම් කළ තිරසාර පාරිසරික භාවිතාවන් මේ සම්මානයන් දිනාගැනීමට පදනම වී තිබේ. සමාගමක් වශයෙන් පාරිසරික තිරසාරභාවය වෙනුවෙන් ලබා දෙන දායකත්වය මෙන්ම ඔවුන්ගේ මානව සම්පත් ක‍්‍රමෝපායන්ද ඉතා ඉහළ අගයකින් යුක්ත වන අතර, සමාගමේ සෘජු සේවක පිරිස 7,500 ක් සහ සමාගමේ ව්‍යාපාරකරණයෙහි ප‍්‍රතිලාභ ලබන පිරිස 50,000 ඉක්මවයි.

ජනාධිපති පාරිසරික සම්මාන උළෙල මධ්‍යම පරිසර අධිකාරිය විසින් සංවිධානය කරනු ලබන අතර කර්මාන්ත ක්ෂේත‍්‍රයන්හි උනන්දුව ඇගයීම, සේවා අංශයෙහි සමාගම් සහ තනි පුද්ගලයන් පාරිසරික සුරක්ෂිතතාවය වෙනුවෙන් සිදු කරන සේවය ඇගයීම, සුනිත්‍ය සහ හරිත ශ‍්‍රී ලංකාවක් වෙනුවෙන් ඔවුන්ගේ දායකත්වය තිරසාර ආකාරයට ලබාගැනීම යන කරුණු සම්මාන උළෙල පැවැත්වීමේ ප‍්‍රධාන අරමුණු වේ.

”දේශීය තේ කර්මාන්තයෙහි ප‍්‍රමුඛයකු වශයෙන් තලවකැලේ තේ සමාගම පරිසර හිතකාමී භාවිතාවන් සහ ඉදිරි පරම්පරාවන් වෙනුවෙන් හරිත ශ‍්‍රී ලංකාවක් නිර්මාණය කිරීමට කැපවී සිටිනවා. අපගේ නව්‍යකරණ නිෂ්පාදන ක‍්‍රියාවලීන් සහ ක‍්‍රමෝපායික පාරිසරික තිරසාර භාවිතාවන් හරහා අපි ඒ වෙනුවෙන් අපගේ කැපවීම ලබා දෙනවා.” යනුවෙන් අදහස් දක්වා සිටියේ හේලීස් ප්ලාන්ටේෂනස් අධ්‍යක්ෂ, රොෂාන් රාජදුරෙයි මහතාය. ”පිළිවෙළින් සිවු වැනි වර්ෂයටත් මේ කීර්තිමත් සම්මාන උළෙලේ දී සම්මානයට පාත‍්‍ර වීම අපගේ තේ වතු යායන්හි අප අනුගමනය කරන විශිෂ්ට හරිත භාවිතාවන් පිළිබඳව මනා තහවුරු කිරීමක්ද වෙනවා. 2017 ජනාධිපති පාරිසරික සම්මාන උළෙලේ දී අප දිනාගත් සම්මාන හතර මගින් අපගේ වතුයායන්හි අනුගමනය කරන්නා වූ ක‍්‍රියාමාර්ගයන්හි ඵලදායීතාවය, ක‍්‍රියාවට නැංවීමේ අනුරූපතාවය සහ අඛණ්ඩ වර්ධනය යන සාධක ඇගයීමට ලක්කර තිබෙනවා. අපගේ කළමනාකාරීත්වය සහ සේවක පිරිස මේ වෙනුවෙන් සිදුකළ කැපවීම මේ අවස්ථාවේ දී මම අගය කරන අතරම ශ‍්‍රී ලාංකීය තේ කර්මාන්තයෙහි තිරසාර පැවැත්ම වෙනුවෙන් ඔවුන් ලබා දී තිබෙන දායකත්වයට මාගේ හෘදයාංගම ස්තූතිය ද පළකර සිටිනවා.” යනුවෙන් රාජදුරෙයි මහතා වැඩි දුරටත් සිය අදහස් දක්වා සිටියේය.

නව අදහස දක්වන්න