පහේ පන්තිය! | දිනමිණ

පහේ පන්තිය!

මීට ටික දිනකට පෙර කිලිනොච්චියේ හින්දු විද්‍යාලයයේ සිසුහු පිරිසක් ගුරුතුමකුට පහර දුන්හ. පුටු කැඩෙන තුරුම ඒවායින් පහර දුන්හ. මේ සිද්ධියට පසු අප මේ තීරුව එක් වරක් වෙන් කළේ නොහික්මුණු සිසු දරුවන් විවේචනය කිරීමට ය. එදා අප කියා සිටියේ මෙබඳු දරුවන්ගේ අනාගතය කෙතරම් අවාසනාවන්ත විය හැකි ද යන්න ය. අද අපට කියන්නට සිදු වී ඇත්තේ එහි අනෙක් පැත්ත ය. සිසුන් පමණක් නො ව; ගුරුවරුන් ද නරක ය. ඇතැම් විට සිසුන්ට ද වඩා ගුරුවරුන් නරකය යන නිගමනයට එළැඹීමට හේතු - සාධක තිබේ. අද අපගේ මූලික අවධානයට ලක්වන්නේ එබඳු සිද්ධියකි.

දඹුල්ල පළාතේ විදුහලක පහ ශ්‍රේණියට උගන්වන ගුරුතුමියක් සිටී. ඇය පාසලේදී මෙන්ම ටියුෂන් පන්තියේ දී ද ගැටලු විසඳමින් දරුවන් විභාගයෙන් එගොඩ කිරීමට කැපවීමකින් කටයුතු කරන බව කියති. ගුරුතුමියගේ එක් නිර්දේශයක් වන්නේ පහ වසර ළමයින් තම ශිෂ්‍යත්ව පන්තියට ද පැමිණිය යුතු බව ය. එම පන්තිය පවත්වන්නේ ගණනක් අය කර බවද සිහි තබා ගත යුතුය. කුමන හෝ හේතුවක් නිසා පහ වසරේ සිසුහු පිරිසක් ගුරුතුමියගේ ටියුෂන් පන්තිය වර්ජනය කළහ. ඒ වෙනුවට වෙනත් ගුරුවරුන් දෙදෙනකුගේ ශිෂ්‍යත්ව පන්ති අර සිසුහු තෝරා ගත්හ. සිද්ධිය ඇතිවන්නේ එතැන් සිට ය.

ටියුෂන් පන්ති මාරු කිරීම ගැන උරණ වූ පහ වසරේ ගුරුතුමිය අදාළ සිසුන්ට අපූරු දඬුවමක් ලබා දී තිබේ. එනම්; එකේ සිට ලක්ෂය දක්වා ඉලක්කම් ලිවීමට ය. නැවත ලක්ෂයේ සිට දස ලක්ෂය දක්වා ඉලක්කම් ලිවීමට ය. මාපියනට මෙය බලවත් ගැටලුවක් වී ඇති බව වාර්තා වෙයි. ළමයි කොටු රූල් පොත් ඉවර කරමින් ඉලක්කම් ලියති. ඒ හැරෙන්නට මේ දිනවල පැවැත්වෙන ක්‍රීඩා තරගවලට සහභාගී නොවෙති. ඉලක්කම් නොලියා පාසලට ගියහොත් වේවැල් පහර කෑමට සිදුවන බැවින් දරුවන් සියලු දේ අතහැර ඉලක්කම් ලියන බව වාර්තා වී ඇත. මෙයින් පෙනී යන්නේ ගුරුතුමියකගේ කුහකකම හා පළිගැනීම ය.

ටියුෂන් හොඳ ද? නරක ද? ඉන් බැහැර විය හැකි ද? යනු වෙන ම ප්‍රශ්නයකි. පාසල් ගුරුවරයාට ටියුෂන් කළ හැකි ද? ඒ සඳහා ගාස්තු අය කළ හැකි ද යනු තවත් ප්‍රශ්නයකි. ඒවා පිළිබඳ තීන්දු - තීරණ ගත යුත්තේ රජය හා සමාජය යි. එහෙත් තමන්ගේ ටියුෂන් පන්තියට නොපැමිණීමේ හේතුවට සිසුන්ට දඬුවම් දීමේ අයිතියක් කිසිදු ගුරුවරයකුට නැත. මේ ගුරුවරිය පිළිබඳ සොයා බලා ඇයට එරෙහිව විනය පරීක්ෂණයක් සිදු කළ යුතු බව අපගේ පිළිගැනීමය. විදුහල්පතිනියක් දණ ගැස් වූ බවට ඉදිරිපත් වූ චෝදනාව මත ඇමැති පදවියකින් ඉල්ලා අස්වීමට ද ඌව පළාතේ දේශපාලකයකුට සිදු විය. එය දේශපාලකයාට පමණක් නොව රාජ්‍ය සේවකයාට ද සමාන විය යුතුය. ගුරුවරයා ද රාජ්‍ය සේවකයෙකි.

රජයේ පාසල්වල උගන්වන ගුරුවරුන් අතර ද ටියුෂන් කෙරුවාව තදින් ම පැතිර ගොස් තිබේ. ශිෂ්‍යත්ව විභාගය ඒ සඳහා පවතින ‍හොඳම අවස්ථාවක් ලෙස සැලැකිය හැකි ය. සා/පෙළ විභාගය, උ/පෙළ විභාගය තවත් වටිනා අවස්ථා දෙකක් ලෙස සැලැකිය හැකි ය. පාසල්වල ඒ - ඒ විෂයයන් උගන්වන ගුරුවරු පාඩමේ එක කොටසක් පන්ති කාමරයේදී ද පාඩමේ අනෙක් කොටස් ටියුෂන් පන්තියේදී ද උගන්වති. මෙහිදී ගුරුවරයා නොකියා කියන්නේ මගේ ටියුෂන් පන්තියට වරෙල්ලා යන්න ය. අද වන විට මෙය කුප්‍රකට උපාය මාර්ගයක් බවට පත් ව තිබේ. ඇතැම් විට ගුරුවරුන් අතර ම ටියුෂන් සම්බන්ධයෙන් ආරවුල් පවතී. ඒවායින් පීඩාවට පත්වන්නෝ ද අහිංසක දරුවෝය.

කුඩා දරුවන්ගේ නිදහස් ජීවිත පවා ටියුෂන් පන්ති නිසා විනාශ වී ඇතැ’යි සිතන්නට පුළුවන. ළදරු පාසලේ දරුවන් ද ටියුෂන් රැගෙන යන ක්‍රමයක් දැන් පවතී. නැටුම්, සංගීතය, විදේශ භාෂා පමණක් නොව ළදරු පාසලේ පාඨමාලාවට ද ටියුෂන් පැවැත්වේ. ඇතැම් ළදරු පාසලක ගුරුවරියෝ දරුවන්ගෙන් අමතර ගාස්තු අය කරමින් හවස්වරුවේ ද උගන්වති. අපේ අධ්‍යාපනය තුළ දකින්නට ඇත්තේ මාරාන්තික තරගයකි. මේ තරගයෙන් පාසල් ගුරුවරුන් ද ප්‍රයෝජන ගන්නා බවක් පෙනෙන්නට තිබේ. කල දුටු කල වළ ඉසගන්නා සේ විභාග ආසන්න වූ කල ටියුෂන් කෙරුවාව වඩාත් වේගවත් වෙයි. මාපියන් ගෙන්වා තමන්ගේ ටියුෂන් පන්තියට දරුවන් එවන්නැ’යි ඉල්ලා සිටින පාසල් ගුරුවරු ද සිටිති. මේ ගැන අප ලැජ්ජා විය යුතුය.

මීට දසක තුන - හතරකට පෙර ශිෂ්‍යත්ව විභාගය සඳහා මෙතරම් මාරාන්තික තරගයක් පැවැතියේ නැත. එදා ගුරුවරුන් තම සවස් කාලය කැපකොට දරුවන් උදෙසා නොමිලේ අධ්‍යාපනය ලබාදුන් බව අපට මතක ය. එදා ගුරුවරයා තම කෑම පාර්සලය, වතුර බෝතලය පවා ගෙදරින් රැගෙන’විත් දරුවන්ට අමතර දැනුම ලබාදුන් බව අපට මතකය. අද එබඳු ගුරුවරුන් කලාතුරෙකින් හෝ දකින්නට නැත. සියල්ල මුදලට යට වී ඇත. ඇතැම් ගුරුවරු හොඳ මුදලාලිලා ලෙස පෙනී සිටිති. ව්‍යාපාරික අරමුණු හා ඉගැන්වීමේ අරමුණු අතර ඇත්තේ බරපතළ වෙනසකි. තත්ත්වය මේ අයුරින් ම පැවැතුණහොත් ගුරුවරයා යට ගොස් ටියුෂන් මුදලාලියකු මතුවන්නටත් ඉඩ තිබේ.

දඹුල්ලේ ගුරුතුමිය පිළිබද සිද්ධිය නැවත කල්පනාවට ගතහොත් එම ගුරුතුමිය ටියුෂන් තරගයකට මුහුණ දී ඇති බවක් පෙනෙයි. වෙනත් ගුරුවරුන්ගේ ටියුෂන් පන්තිවලට යෑම ඇගේ කෝපයට හේතු වී ඇත. පාසලක පහ වසරට ඉගැන්වීම යනු අද කාලයේ හැටියට බරපතළ වගකීමකි. මේ වගකීම දරාගත නොහැකි නම් ගුරුවරුන් කළ යුත්තේ වෙනත් පන්තියක් සොයාගැනීම ය. කොහොමටත් ඉගැන්වීම වගවීමෙන් ඉටු කළ යුතුය. ඇයට මහජන මුදලින් වැටුප් ගෙවන්නේ ඒ සඳහා ය.

දඹුල්ලේ ගුරුතුමිය ටියුෂන් පිළිබඳ කතාන්දරයේ එක් නිදර්ශනයක් පමණි. රට පුරාම පාසල්වල මීට සමාන දේවල් සිදු වෙයි. ඉතින් අපි අපේම ගුරුවරුන් ගැන විශ්වාසයක් තබාගන්නේ කෙසේ ද?


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...