වර්ජන දෙකයි ඉල්ලීම් එකයි | දිනමිණ

වර්ජන දෙකයි ඉල්ලීම් එකයි

 වෛද්‍යවරුන් වැඩ වර්ජනයක් කිරීමට යයි. එය අද දවසේ සංකේත වර්ජනයක් ලෙස ආරම්භ කරන බව ද පසුව ගනු ලබන තීරණ අනුව අඛණ්ඩ වැඩ වර්ජනයක් බවට එය පරිවර්තනය විය හැකි බව ද වෛද්‍ය සංගමය කියා සිටී. ජල සම්පාදන සේවකයෝ ද අද බස්නාහිර පළාතේ සංකේත වර්ජනයකට සූදානමින් සිටිති. එය ද දීප ව්‍යාප්ත අඛණ්ඩ වැඩ වර්ජනයක් විය හැකි බව වෘත්තීය සමිති කියා සිටී. බැඳුම් කර වාර්තාව පිළිබඳ විවාදය ලබන අටවනදා නොව; හත්වනදා පාර්ලිමේන්තුවේ පැවැත්විය යුතු බවට විරෝධතාවක් ද ගොනු වී තිබේ. මේ සියල්ල එළඹෙන පළාත් පාලන මැතිවරණයට බාධාවක් බව අමුතුවෙන් කිව යුතු නැත.

වෛද්‍යවරුන් සිය වර්ජනය සාධාරණීකරණය කිරීම සඳහා හේතු ගණනාවක් ඉදිරිපත් කර තිබේ. සයිටම් ගැටලුව ද ඒ අතර පවතී. සයිටම් සිසුනට යුක්තිය ඉටු වී නැති බවද, ගනු ලැබූ තීන්දු ක්‍රියාවට නංවා නැති බවද වෛද්‍යවරු කියා සිටිති. මේ හැරෙන්නට රාජකාරී දීමනා සංශෝධනය කිරීම, ‍රෝහල්වලට අධ්‍යක්ෂවරුන් පත්කිරීම යනාදී ඉල්ලීම්ද ඒ අතර පවතී. බැලූ බැල්මට පෙනී යන්නේ හේතු - සාධක ඇතිව වර්ජනය මෙහෙයවන බව ය. එහෙත් මේ වර්ජනය මෙතෙක් පමා වූයේ මන්ද? මැතිවරණයකට ළඟ තිබියදී වර්ජනයකට යන්නේ මන්ද? මෙබඳු කරුණු සලකා බලන විට වර්ජනයේ යටි අරුතක් ඇතැ’යි සිතන්නට පුළුවන.

ජල සේවකයන්ගේ ඉල්ලීම වන්නේ සේවකයන් 12,000 කට වැඩි කළ යුතු වැටුප් වර්ධක මෙතෙක් ලබාදී නැති බව ය. වසර තුනෙන් - තුනට ලබා දෙන වැටුප් වැඩි කිරීම් වහාම වැඩි කළ යුතු බව වෘත්තීය සමිති කියා සිටී. අද දින බස්නාහිර පළාතේ සංකේත වර්ජනය පවත්වන අතර රජය ඊට ඇහුම්කන් නොදෙන්නේ නම්; දීප ව්‍යාප්ත අඛණ්ඩ වැඩ වර්ජනයකට යන බව වෘත්තීය සමිති තවදුරටත් පෙන්වා දෙයි. මේ වර්ජනය මැතිවරණය ආසන්නයේ පැවැත්වීමට තීන්දු කර ඇත්තේ යටි අරුතකින් විය හැකිය.ජල සේවකයන් අඛණ්ඩ වැඩ වර්ජනයකට ගිය‍හොත්; ජන ජීවිතය මුළුමනින් ම කඩා වැටෙයි. එබඳු තත්ත්වයක් යටතේ මැතිවරණ පැවැත්වීම දුෂ්කරය.

බැඳුම්කර වාර්තාව පිළිබඳ විවාදය මුල්කරගෙන ද රටේ ජනතාව යම් නොසන්සුන් තත්ත්වයකට ඇද දැමීමට උත්සාහයක් ඇති බව පෙනී යයි. පාර්ලිමේන්තුව ‍මේ සම්බන්ධයෙන් විවාදයක් ඇති කිරීමට උත්සාහ කළ අවස්ථාවේ පිරිසක් එය කඩාකප්පල් කළහ. නැවත එබඳු විවාදයක් අවශ්‍ය බවට විරෝධතාවක් ද ගොනු විය. එහි ප්‍රතිඵලයක් ලෙස ලබන අටවනදා විවාදය යොදා ගෙන තිබේ. එහෙත් පිරිසකගේ මතය වන්නේ එය හත්වනදා පැවැත්විය යුතු බව ය. ඒ සඳහා විවිධ ‍දේශපාලන කරුණු හා සාධක ද ඉදිරිපත් වී ඇත. මේවායින් ‍පෙනී යන්නේ විවාදයක අවශ්‍යතා ව ‍නොව; මැතිවරණ වැඩසටහන කඩාකප්පල් කිරීමේ අරමුණකි. මැතිවරණ කො‍මිසමට මේ බව පෙනී ගොස් ඇතැ’යි කිව හැක ය.

මැතිවරණ කොමිසම රටේ සියලුම වෘත්තීය සමිති වෙතින් ඉල්ලීමක් කර තිබේ. එනම්; ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ගැන සැලැකිල්ල යොමු කොට පෙබරවාරි 15 දා තෙක් වර්ජන තීන්දුවලින් වැළකී සිටින ලෙස ය. ‍කොමිසමේ සභාපතිවරයා පෙන්වාදෙන අන්දමට සියලුම වෘත්තීය සමිති වෙතින් ලිඛිත ඉල්ලීමක් කිරීමට ද කටයුතු යොදා තිබේ. එම ඉල්ලීම සාධාරණ ය. යුක්ති සහගත ය. වර්ජන හා උද්ඝෝෂණ පවතින කාලයක සාධාරණ මැතිවරණයක් පැවැත්වීම දුෂ්කර ය. ඒ හැරත් ජනතාවගේ නියම මතය එබඳු අවස්ථාවක ප්‍රකාශ වන්නේ නැත. ඡන්දය පාවිච්චි කරන පිරිසගේ අඩුවීමක් ද මේ මඟින් ඇති විය හැකි ය. රජය ද ‍මෙයින් අපහසුතාවට පත්වනු ඇත. සියල්ලෙන් පෙනී යන්නේ මේ දිනවල සිදු කරන වර්ජන හා උද්ඝෝෂණ ඍජු ‍ලෙසින් මැතිවරණයට බලපාන බව ය.

මේ මැතිවරණය මහජනයාගේ දීර්ඝකාලීන ඉල්ලීමක් බවද කිව හැකි ය. පළාත් පාලන මැතිවරණය වසර කිහිපයකින් ආපස්සට ගොස් තිබේ. එක අතෙකින් මැතිවරණ ක්‍රමය සංශෝධනය විය. තව අතෙකින් සීමා නීර්ණ පිළිබඳ ගැටලු මතු විය. ඒවා සම්බන්ධයෙන් විවාද පමණක් නොව; නීති ප්‍රශ්න පවා පැන නැඟිණි. සියල්ල විසැඳී මැතිවරණය පැවැත්වීම සඳහා දින නියම කිරීම මහජනයා ලැබූ ජයග්‍රහණයක් ලෙස එදා සටහන් විය. දැන් එය යළිත් අභියෝගයට ලක්වීම බලවත් අර්බුදයක් බව කිව හැකිය. මැතිවරණ කොමිසම හා කොමිසමේ සභාපතිවරයා පෙන්වා දෙන අන්දමට කිසිදු හේතුවක් නිසා මැතිවරණය කල් තබන්නේ නැත. එය හොඳ තීරණයක් විය හැකි වුව මහජනයාට නිදහසේ ඡන්දය පාවිච්චි කිරීමට ද අවස්ථාව තිබිය යුතු ය.

විවිධ දේශපාලන පක්ෂ පමණක් නොව ස්වේච්ඡා සංවිධාන පවා මැතිවරණයක් ඉල්ලා විරෝධතා දැක්වූ බව සත්‍යයෙකි. ඇතැම් දේශපාලන පක්ෂයක අදහස වූයේ මැතිවරණ කල් තබන්නේ නම්; ජනතාව සමඟ පාරට බහින බව ය. මේවා සැබෑ වුවමනාවක් මත සිදු වූ දේවල් ද නැතහොත් ජනතාව ඉදිරියේ ප්‍රදර්ශනාත්මක ලෙස පමණක් සිදු කළ දේවල් ද යනු තීරණය කිරීම අපහසු ය. සමහර දේශපාලන පක්ෂ මෙය මහමැතිවරණය ස්වභාවයට පරිවර්තනය කිරීම සඳහා උත්සාහයක නිරත විය. එහෙත් ජනතාව එය ඒ හැටියෙන් ම භාරගත් බවක් ‍පෙනෙන්නට නැත. ගම හා නගරය සංවර්ධනය කළ හැකි පුද්ගලයා ගැන මිස දේශප්‍රේමීත්වය වැනි බරපතළ කාරණා මේ මැතිවරණයේ දී සලකා බැලෙන බවක් ජනතාවගේ පැත්තෙන් දකින්නට නැත. ජාතිය හා ආගම පෙරමුණෙහි තබා දේශපාලනය කරන අයට එය පාඩුවකි. මේ නිසාම මැතිවරණය කල් දැමීමේ වුවමනාවක් එබඳු අය ළඟ තිබෙන්නට පුළුවන.

පළාත් පාලන මැතිවරණය කල් තබන්නේ නම්; එය රජයට ‍හොඳ නැත. ජනාධිපතිවරයාට හා අගමැතිවරයාට ද හොඳ නැත. මැතිවරණ පිළිබඳ මහජන විශ්වාසයද ඒ මඟින් බිඳී යා හැකිය. තවත් අතෙකින් මැතිවරණ කොමිසම පොලිසිය හා තවත් ආයතන නීතිය අකුරටම ක්‍රියාත්මක කරමින් සාධාරණ මැතිවරණයකට අවශ්‍ය පසුබිම සකස් කර තිබේ. ‍මේ ධනාත්මක පසුබිම විනාශ කිරීමට ඉඩ දිය යුතු නැත. වෘත්තීය සමිති තමන්ගේ පැත්තෙන් පමණක් නොව; ජනතාවගේ පැත්තෙන් ද මේ මොහොතේ කල්පනා කළ යුතුය.

 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...