19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් ශ්‍රී ලංකාවට පළඟ ශූරතාව | දිනමිණ

19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් ශ්‍රී ලංකාවට පළඟ ශූරතාව

හසිත බෝයගොඩ හා ලක්ෂාන් ධනංජය දියත් කළ විශිෂ්ට පිති හරඹයන් හේතුවෙන් නවසීලන්තයේ පැවැත්වෙන අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළඟ ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකා යොවුන් පිල ඊයේ සමත් විය. පළඟ ශූරතා අවසන් තරගයේදී ශ්‍රී ලංකාව හමුවේ බටහිර ඉන්දීය කොදෙව් පිල කඩුලු 3කින් පරාජයට පත්විය.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් කොදෙව් පිල කඩුලු 5ක් දැවී රැස්කළ ලකුණු 254 හඹාගිය ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ පන්දු 2ක් ඉතිරිව තිබියදී ජය හිමිකර ගත්තේ කඩුලු 7ක් පමණක් අහිමිකර ගනිමිනි. පළමු කඩුල්ලට ලකුණු 218ක් එක්කරමින් හසිත බෝයගොඩ හා ලක්ෂාන් ධනංජය ශ්‍රී ලංකා පිළිතුරු ඉනිමට සාර්ථක ආරම්භයක් ලබාදුන්හ.

ශතකයට ලකුණු 2ක් පසුපසින් සිටියදී ලක්ෂාන් අවාසනාවන්ත ලෙස දැවී යෑමෙන් එම සබඳතාව බිඳ වැටිණි. පන්දු 119කට මුහුණදුන් ලක්ෂාන් හතරේ පහර 12ක් හා හයේ පහරක් ඉනිමට එක්කර ගත්තේය.

යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියක ශතක 2ක් රැස්කළ පළමු ශ්‍රී ලාංකික පිතිකරු ලෙස වාර්තා පොතට එක්වූ බෝයගොඩ දැවීයනවිට පන්දු 124කින් ලකුණු 116ක් රැස්කර තිබිණි. හතරේ පහර 17කින් හා හයේ පහරකින් ඔහුගේ ඉනිම වර්ණවත් විය. එහෙත් තරගය අත්හැර නොදැමූ කොදෙව් පන්දු යවන්නෝ බෝයගොඩගේ දැවී යෑමත් සමග ලකුණු 27ක් තුළ තවත් කඩුලු 5ක් බිඳ දැමූවද ශ්‍රී ලංකා ජයග්‍රහණය වැළැක්වීමට නොහැකි වුහ.

පළමුව පන්දුවට පහරදුන් කොදෙව් පිල වෙනුවෙන් ඇලික් අත්නාසි නොදැවී ලකුණු 110ක් රැස් කිරීමට සමත් විය. පන්දු 110ක් වැයවූ ඔහුගේ ඉනිමට හතරේ පහර 5ක් හා හයේ පහර 2ක් ඇතුළත් විය. පන්දු යැවීමේදී ප්‍රවීන් ජයවික්‍රම හා නිපුන් මාලිංග කඩුලු 2 බැගින් දවා ගත්හ.

සිම්බාබ්වේ පිල පරාජය කරමින් ශ්‍රී ලංකාව පළඟ ශූරතා අවසන් තරගයට පිවිසි අතර බටහිර ඉන්දීය කොදෙව් පිල අවසන් තරගයට සුදුසුකම් ලබා ගත්තේ කැනඩාව පරාජය කරමිනි. 

නව අදහස දක්වන්න