පැමිණිලි පොත! | දිනමිණ

පැමිණිලි පොත!

වාහන තදබදය හෙවත් “ට්‍රැෆික් ජෑම්” එක රටේ සෑම ප්‍රධාන නගරයක ම පාහේ දකින්නට ලැබෙන පොදු ලක්ෂණයකි. වාහන තදබදයක් දුටු සැණෙන් රියැදුරා කියා සිටින්නේ “ ඉස්සරහ පොලිසියෙන් ඇති” යන්න ය. එතැන් සිට රියැදුරාත්, මඟියාත් යන දෙදෙනාම පොලිසියට බැණ වදිති. පොලිසිය ක්‍රියාත්මක වන්නේ වාහන තදබදය අඩු කිරීමට ය. එහෙත් මහජන මතය ඊට වඩා වෙනස් ය. පොලීසිය කෙරෙහි මහජනයා දක්වන ආකල්පය මෙයින් පැහැදිලි වේ. මහජනයා සිය මතය ප්‍රකාශ කොට නවතින්නේ නැත. පොලිසියට එරෙහිව කැරලි ගසන්නට ද මහජනයා පෙළඹෙති.

පසුගිය දා කතරගම දී ඇති වූ සිද්ධිය ඊට හොඳ ම නිදසුනක් ලෙස දැක්විය හැකි ය. එහ‍ි දී පොලිස් වෙඩි තැබීමකින් සැකකරුවෙක් මිය ගියේ ය. තවත් පුද්ගලයෙක් තුවාල ලැබීය. මේ සිද්ධිය මුල්කොට මහජන කැලඹීමක් ඇතිවිය. පොලිසියට ගල් මුල් ප්‍රහාරයක් එල්ල වූ අතර පිරිස විසිරුවා හැරීමට කඳුළු ගෑස් යොදා ගන්නට ද සිදු විය. පාණදුරේද මීට සමාන සිද්ධියක් ඇතිවී තිබිණි. එහි දී පොලිසියට එරෙහිව නැඟුණු චෝදනාව වූයේ සැකකරුවකු පහරදීමකින් මිය ගිය බව ය. මේවායෙහි ඇත්ත / නැත්ත සොයා ගැනීම සඳහා පරීක්ෂණ හා නඩු විභාග අවසන් වන තුරු සිටිය යුතු ය. කෙසේ වුව පොලීසිය හා මහජනයා අතර හොඳ හිතක් නැති බව පැහැදිලි ය.

පොලිස් කොමිසම පෙන්වා දෙන අන්දමට ගෙවී ගිය වසරක කාලය තුළදී පොලිසියට එරෙහිව චෝදනා හා පැමිණිලි එක්දහස් හාරසිය අනූඅටක් ඉදිරිපත් වී ඇත. පැමිණිලි තුන්සිය හතළිස් අටක් ලැබී ඇත්තේ පැමිණිලි විභාග නොකිරීම ගැන ය.

පැමිණිලි දෙසිය දහයක් ලැබී ඇත්තේ පක්ෂග්‍රාහී වීම ගැන ය. බොරු චෝදනා මත අත් අඩංගුවට ගැනීම් හැත්තෑ එකක් සිදුවී ඇති බවට ද අල්ලස් ගැනීම් දහයක් සිදුවී ඇති බවට ද කොමිසම වෙත පැමිණිලි ලැබී ඇත. පොලිසියේ තත්ත්වය එතරම් සතුටුදායක නොවන බවත් ඉන් පෙනී යයි.

අද පවතින දේශපාලන තත්ත්වයට අනුව පොලිසියට නිදහස් ලෙස ද ස්වාධීන ලෙස ද කටයුතු කිරීමේ බාධාවක් නැත. නිදහස් හා ස්වාධීන ලෙස ක්‍රියාකිරීම යනු පක්ෂග්‍රාහී නොවී නීතිය අකුරට ම ක්‍රියාත්මක කිරීම ය. රජය පොලිසියට අනිසි බලපෑම් කරන බවක් පෙනෙන්නට නැත. එලෙසම පොලිස් කොමිසම ද සක්‍රීය කර තිබේ. එයින් අදහස් වන්නේ අයුතු බලපෑම්වලින් පොලිස් නිලධාරීන් නිදහස් වී ඇති බව ය. එසේ නම්; පොලීසිය පක්ෂග්‍රාහී වන්නේ කුමකට ද? නීතිය ක්‍රියාත්මක නොකර සිටින්නේ කුමකට ද? පොලීසිය පරණ පාරේ ගමන් කිරීමට උත්සාහ දරන්නේ ද? නැතහොත් හිතුවක්කාරී ලෙස ක්‍රියා කරන්නේ ද?

කුමන අර්ථයකින් ගත්තද පොලීසියේ කාර්යභාරය වන්නේ මහජනයා වෙනුවෙන් යුක්තිය ඉටු කිරීම ය. යුක්තිය ඉටු කරනු වෙනුවට මහජනයා පීඩාවට පත් කරන්නේ නම්; පොලීසියක් ස්ථාපනය කිරීමේ අර්ථය කෙලෙසී යනු ඇත. සැකකරුවකුට පහර දීම, වෙඩිතැබීම කළ යුත්තේ නීතියට අනුව ය. පහරදීමක් සිදුවිය යුත්තේ සැකකාරයකු මෙල්ල කර ගැනීමට ය. එහිදී ද සිදුවිය යුත්තේ අවම බලය පාවිච්චි කොට සැකකරුවාට මාංචු දැමීම ය. වාහනයකින් පලායන සැකකරුවකුට නම්; පුද්ගලයාට නොව; වාහනයේ ටයර්වලට වෙඩි තැබීම සිදුකළ යුතු ය. එහෙත් මේවා ගැන සැලැකිල්ලක් පොලිස් නිලධාරීන් ළඟ නැත.

රටේ අපරාධකරුවන්ගේ ස්වභාවය, ඔවුන්ගේ ක්‍රියාකාරකම් ආදිය දෙස බලන විට; නීතියට ම කටයුතු කළ නොහැකි බවක් ද පෙනෙන්නට තිබේ. අපරාධකරුවන් පොලිස් නිලධාරීන්ට වෙඩි තබා ඝාතනය කළ අවස්ථා ගණනාවක් වාර්තාවී ඇත. වෙඩි තබා බරපතළ තුවාල සිදු කළ අවස්ථා ද වාර්තා වී ඇත. පොලිස් නිලධාරීන්ට පහර දී පලා ගිය අවස්ථා ද වාර්තාවී ඇත. පොලිස් නිලධාරියා අපරාධකාරයාට වඩා වේගවත් විය යුතු යැයි හැඟීමක් ඉන් මතු වෙයි.අපරාධකාරයා ඇල්ලීමට යනපොලිස් නිලධාරීන් කල්පනාකාරී විය යුතු ය. වේගවත් විය යුතු ය. ඇතැම්විට ඉස්සර විය යුතුය. එසේ නොවුණහොත් ඔහුට ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවිය හැකි ය.

කෙසේ වුව පක්ෂග්‍රාහී වීම, අල්ලස් ගැනීම ආදියට සමාවක් ලබා දිය නො හැකි ය. පක්ෂග්‍රාහී වීම් පිළිබඳ පැමිණිලි දෙසිය දහයක් ලැබී ඇති බව පොලිස් කොමිසම කියයි. පක්ෂග්‍රාහී වීම යනු අයුක්තියකි. බලය හෝ ධනය හෝ ඉදිරියේ එසේ සිදුවන්නට ඇත. එය දූෂණ ක්‍රියාවක් ලෙස ද සැලැකිය හැකි ය. පක්ෂග්‍රාහී වන පොලිසියට සැකකරුවන් වෙතින් නොයෙක් පඬුරු ලැබෙනු ඇත. අල්ලස් ගැනීම් හා පක්ෂග්‍රාහී වීම් සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි ඇත්තේ දීර්ඝ කාලයක සිට ය. ලැබෙන පැමිණිලි විභාග නොකිරීම ගැන ද , පැමිණිලි භාර නොගැනීම ගැන ද සැලකිය යුතු චෝදනා ප්‍රමාණයක් පොලිසියට ඇති බව සමාජ මත විමසන විට පෙනී යයි. ඒවා පැමිණිලි ලෙස කොමිසමට නො ලැබෙනවා වෙන්නට පුළුවන.

දියුණු රටවල පොලිස් සේවය නිරන්තරයෙන් ම අලුත් වෙයි. තාක්ෂණික දැනුම, පුහුණුව, ශාරීරික අභ්‍යාස පමණක් නොව; සමාජ විද්‍යාව වැනි විෂයයන් පවා පොලිස් නිලධාරීන්ට උගන්වනු ලැබේ. එබඳු පුහුණු වීම් හා ඉගැන්වීම් අඛණ්ඩව පැවැතිය යුතු වුව ශ්‍රී ලංකා පොලිසිය තුළ එවැන්නක් දැකගන්නට නැති බව අපගේ වැටහීම ය. පොලිස් පතිතුමාගේ අදහසකට අනුව රාජකාරී ආරම්භ කිරීමට පෙර සෑම පොලිස් නිලධාරියකුම භාවනා කළ යුතුය. එය සෑම පොලිස් ස්ථානයක් තුළම සිදුවන්නේ දැ’යි කියන්නට අප දන්නේ නැත. එහෙත් එය නරක දෙයක් නොවේ. පොලිස් නිලධාරියාගේ ද සිත දියුණු විය යුතු ය. එවිට ඔවුන් දූෂිත නොවනු ඇත.

පොලිසියට එරෙහිව පැමිණිලි හා චෝදනා 1500කට ආසන්න ප්‍රමාණයක් ඇතැ’යි කීම සරල කාරණයක් නොවේ. මේ ගැන පොලිස් දෙපාර්තමේන්තුවේ ලොක්කන්ගේ අවධානය යොමු විය යුතු ය. රටේ ප්‍රධානීන්ගේ අවධානය ද යොමු විය යුතු ය.



නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...