ඊ- පළාත් පාලන පද්ධතියක් | දිනමිණ

ඊ- පළාත් පාලන පද්ධතියක්

මහජනතාව විසින් පළාත් පාලන ආයතන වෙත කරනු ලබන සියළුම ගෙවීම් අන්තර්ජාල විද්‍යුත් කාඩ්පත්   මගින් ගෙවීම සහ සියළුම මහජන සේවාවන් අන්තර්ජාල මගින් සිදු කිරීමට අදාල ඊ - පළාත්පාලන පද්ධතිය දියත්  කිරීම, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන  මහතාගේ ප්‍රධානත්වයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගිත්වයෙන් 29දා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ ලෝටස් ශාලාවේ දී  සිදු කෙරේ.
 
පළාත්පාලන ආයතන වෙත මහජනතාව විසින් කරනු ලබන  ගෙවීම් හා බලපත්‍ර ලබා ගැනීමේ දී  සිදුවන අක්‍රමිකතා අවම කර පළාත් පාලන ආයතනවල  සියළුම කාර්යන් වඩාත්  විනිවිධ භාවයකින්  යුතුව කාර්යක්ෂමව හා ඵලදායිව සිදු කිරීමේ අරමුණින් පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තෆා මහතාගේ සංකල්පයක් අනුව එම අමාත්‍යාංශය  හා විදුලි සන්දේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යාංශය එක්ව  මෙම ඊ - පළාත්පාලන පද්ධති ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇත.
 
මෙම ඊ- පළාත් පාලන පද්ධතිය ශ්‍රී ලංකාවේ සියලු ම පළාත් පාලන ආයතනවල ක්‍රියාත්මක කිරීමට නියමිත අතර  මෙහි පළමු අදියර යටතේ  ජනවාරි 29දා පළාත් පාලන ආයතන 30ක මෙම ඊ- පළාත් පාලන පද්ධතිය දියත් කෙරේ.
 
මෙම අවස්ථාවට පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තෆා, විදුලි සන්දේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු හා එම අමාත්‍යාංශ ලේකම් වසන්ත දේශප්‍රිය මහතා සහ පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් එච්.ටී. කමල් පත්මසිරි මහතා ඇතුළු නිලධාරීන් සහභාගීවීමට නියමිතය.

නව අදහස දක්වන්න