පළඟ ශූරතාවට කණ්ඩායම් 6ක් අද සිට තරග බිමේ | දිනමිණ

පළඟ ශූරතාවට කණ්ඩායම් 6ක් අද සිට තරග බිමේ

නිරෝෂාන් ප්‍රියංකර

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කරන අන්තර් සමාජ ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සුපිරි ‘අට වටයට’ එක්නොවූ කණ්ඩායම් 6 තරග වදින පළඟ ශූරතා වටය අද ඇරැඹෙයි.

තරගාවලියේ මූලික වටය මෙන්ම මේ තරගද තුන්දින තරග ලෙස පැවැත්වීමට නියමිතය.

මේ සඳහා තරගාවලියේ මූලික වටයේ ‘ඒ’ කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ අවසන් ස්ථාන තුන හිමිකරගත් සී.සී.සී, මුවර්ස් හා බ්ලූම්ෆීල්ඩ් කණ්ඩායම්ද, ද්‍රවිඩ සංගමය, යුද හමුදාව හා බදුරලිය ක්‍රීඩා සමාජ ‘බී’ කාණ්ඩයෙන්ද එක්වෙයි.

පළඟ ශූරතා වටයේදී එක් කණ්ඩායමක් තරග 3කට ක්‍රීඩා කිරීමට නියමිතය. ඔවුන් මූලික වටයේදී තම කාණ්ඩයෙන් තරග වැදුණු කණ්ඩායම් සමග තරග නොකරන අතර එම තරගවල ප්‍රතිඵල හා ප්‍රසාද ලකුණු මේ වටයට එක්වෙයි.

ඒ අනුව පළඟ ශූරතා වටය ආරම්භයේදී ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට ද්‍රවිඩ සංගම් ක්‍රීඩා සමාජය සමත්ව ඇත්තේ තරග 2ක් ජය පරාජයෙන් තොරව නිමාකර ගනිමින් ප්‍රසාද ලකුණු 25.220ක් සමගිනි.

ලකුණු 20.935 සමග බදුරලිය පිල දෙවැනි ස්ථානයේද, බ්ලූම්ෆීල්ඩ් (17.695) තෙවැනි ස්ථානයේද පසුවෙයි.

මේ තරගාවලියට එක්වන කණ්ඩායම්වල පිතිකරුවන් අතර පෙරමුණ ගැනීමට ද්‍රවිඩ සංගම් ක්‍රීඩා සමාජයේ මනෝජ් සරත්චන්ද්‍ර (553) සමත්ව ඇති අතර මුවර්ස් ක්‍රීඩා සමාජයේ චාමර සිල්වා (464) දෙවැනි තැන සිටී.

කඩුලු 35ක් දවාගනිමින් බදුරලිය ක්‍රීඩා සමාජයේ අලංකාර අසංක පන්දු යවන්නන් අතර ඉදිරියෙන් පසුවන අතර මුවර්ස් ක්‍රීඩා සමාජයේ තරිඳු රත්නායක දෙවැනි තැන පසුවෙයි.

අද ආරම්භ වන තරග

සී.සී.සී. - බදුරලිය (බ්ලූම්ෆීල්ඩ්)
මුවර්ස් - ද්‍රවිඩ සංගම් (බී.ආර්.සී.)
බ්ලූම්ෆීල්ඩ් - යුද හමුදාව (මුවර්ස්) 

නව අදහස දක්වන්න