විපක්ෂ මන්ත්‍රීවරුන් ආණ්ඩුවට එක්වීමට නීතිමය බාධාවක් නෑ | දිනමිණ

විපක්ෂ මන්ත්‍රීවරුන් ආණ්ඩුවට එක්වීමට නීතිමය බාධාවක් නෑ

ස්වර්ණා විජේකෝන්, රෝෂන් තුෂාර, සුභාෂිණි සේනානායක

විපක්ෂයේ සි‍ටින මන්ත්‍රීවරුන් ආණ්ඩුවට එක්වීමට කැමතිනම් එම පිරිස් ආණ්ඩුවට එක්කර ගැනිමට සූදානම් බවත් එසේ එක්වීමට නීතිමය බාධාවක් නොමැති බවත් සභානායක, විශ්ව විද්‍යාල අධ්‍යාපන හා මහා මාර්ග ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදි ඊයේ (24) පැවැසීය.

ඒකාබද්ධ විපක්ෂයේ සිට ආණ්ඩු පක්ෂයට එක්වූ ශ්‍රියාණි විජේවික්‍රම මන්ත්‍රිවරියට රාජ්‍ය ඇමැති ධූරයක් ලබාදීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල වන්නේද සහ ජාතික ආණ්ඩු ගිවිසුමට අනුව කටයුතු සිදුවන්නේද යන්න සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා 23/2 යටතේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වෙත යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව පැවැසීය .

2015 වසරේ ඇතිකර ගත් ජාතික ආණ්ඩු සංකල්ප ගිවිසුම 2017 වසරේ දෙසැම්බර් මස 31 වනදා අවසන් වූ බවට පිළිගෙන ඇත්ද එසේත් නොමැති නම් ජාතික ආණ්ඩු ගිවිසුම අහෝසි වූයේ නම් කැබිනට් ඇමැති ධූර සංඛ්‍යාව 30 දක්වා අඩුවිය යුතු බවත් දිනේෂ් ගුණවර්ධන මහතා මෙහිදි සඳහන් කෙළේය.

දිනේෂ් ගුණවර්ධන මහතා:- ජාතික ආණ්ඩු සංකල්පයට අදාළ ගිවිසුම 2017 -12 31 වනදා වනවිට අවසන් වෙනවා. ඒ අනුව ජාතික ආණ්ඩු සංකල්ප ගිවිසුම අහෝසි වෙනවනම් කැබිනට් ඇමැති ධූර සංඛ්‍යාව 30 දක්වා අඩුවිය යුතුයි.

ලක්ෂ්මන් කිරිඇල්ල මහතා:- මේ ප්‍රශ්නයට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි දිනකදී පිළිතුරු ලබාදෙනවා. නමුත් එන්නට කැමැති අය ඉන්නව නම් අපි ගන්නවා.ඒ සඳහා නෛතික බලපෑමක් නැහැ.

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතා‍:- ජාතික ආණ්ඩු සංකල්පය අනුව ආණ්ඩුවේ ඇමැතිධූර 48ක් හා නියෝජ්‍ය රාජ්‍ය ඇමැතිධූර 45 ක් විය යුතුයි.මා දන්නා පරිදි ජාතික ආණ්ඩු ගිවිසුම අවසන් වන්නේ 2017 සැප්තැම්බර් දෙවෙනිදායි.නමුත් මේ වනවිට ජාතික ආණ්ඩු ගිවිසුම අවසන් වී තිබෙනවා. එය අවසන් වූ බවට හා නැවත අත්සන් කරන බවට කතානායකවරයා ලෙස ඔබතුමාට දැනුම්දීමක් සිදුකර තිබෙනවාද?

කතානායක කරූ ජයසූරිය මහතා

මට දැනුම්දීමක් සිදුකර නැහැ.

කිරිඇල්ල මහතා

ජාතික ආණ්ඩු ප්‍රශ්නය අපේ දෙයක්නේ . අපි ඒක බලාගන්නම්. 

නව අදහස දක්වන්න