ශ්‍රීලනිප සන්ධාන ප්‍රතිපත්ති ප්‍රකාශය එන සතියේ නිවාසවලට | දිනමිණ

ශ්‍රීලනිප සන්ධාන ප්‍රතිපත්ති ප්‍රකාශය එන සතියේ නිවාසවලට

ස්වර්ණා විජේකෝන්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජනතා නිදහස් සන්ධානය මෙවර පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් “පිරිසිදු පාලනයක් උදෙසා රටේ බලයත් ගමේ බලයත් නිදහසට “ යන තේමාව යටතේ සකස් කරන ලද ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරි සති දෙක ඇතුළත දිවයිනේ සියළුම නිවාස වෙත තැපැල් මඟින් බෙදා හැරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක, විද්‍යා හා තාක්ෂණ පර්යේෂණ ඇමති සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

ඉදිරි පළාත් පාලන මැතිවරණයෙන් පසුව පළාත් පාලන ආයතන වල ක්‍රියාකාරීත්වය මෙන්ම මහජන සේවාවන් සළසන ආකාරය ආදිය ඇතුළු කරුණු රැසක් සහිතව මෙම ප්‍රතිපත්ති ප්‍රකාශනය සකස් කර ඇති බවත් සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.

උතුරු නැගෙනහිර, කඳුකරයේ දෙමළ ජනතාව වෙසෙන ප්‍ර දේශ ආදිය සඳහා මෙම ප්‍රකාශනය දෙමළ භාෂාවෙන් මුද්‍රණය කළ බවත් මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය දිගු කාලින වැඩපිලිවෙළක් හා දැක්මක් යටතේ ඉදිරිපත් වන බවත් ප්‍රේම ජයන්ත මහතා පැවසිය.

කරුණු විස්සක් ඇතුළත් වන සේ සකස් කර ඇති මෙම ප්‍රතිපත්ති ප්‍රකාශනය යටතේ සෑම අංශයක්ම පාහේ ආවරණය කර ඇති බවත් ඇමතිවරයා පැවසීය.

ඇමති සුසිල් ප්‍රේම ජයන්ත මහතා මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී ඊයේ (22) පැවැති මාධ්‍ය සාකච්ඡාවට සහභාගී වෙමිනි .

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමති සුසිල් ප්‍රේමජයන්ත මහතා මෙසේද පැවසීය.

පළාත් පාලන ආයතන වලට සභිකයින් තෝරාපත් කර ගැනීමේදි ජනතාවත් බුද්ධිමත් විය යුතුයි.පළාතට ගැලපෙන, උගත් බුද්ධිමත් අය තෝරා ගැනීමේ වගකීම පැවරෙන්නේ ජනතාවටයි. පළාත් පාලන ආයතන වලට තේරිපත් වන අය සම්බන්ධයෙන් විවිධ චෝදනා තිබෙනවා. ඒ නිසා තමන්ගේ ඡන්දයෙන් තෝරාපත්කර ගන්නා අපේක්ෂකයා වඩාත්ම සුදුසු තැනැත්තා බවට පත්කර ගැනීම ජනතාවගේ වගකීමක්. ඒ වගේම ඕනෑම අයෙකුට අපේක්ෂකත්වය ලබාදිමට පෙර ඒ අයගේ බුද්ධි මට්ටම, අධ්‍යාපන මට්ටම, අවම වශයෙන්වත් බැලිය යුතුයි.අඩුම තරමේ මේ අයගෙන් සාමාන්‍ය දැනීම ප්‍රශ්නයක්වත් ඇසිය යුතුයි. උගත් බුද්ධිමත් අය දේශපාලනයට ආවාම වෙන දේවල් අපි දකිනවා. පිරිසිදු පාලනය ගමෙන් නගරයෙන් ආරම්භ කිරීමට අපි උත්සාහ කළ යුතුයි.ඒ නිසා පිරිසිදු ජන නායකයකු ගමෙන් නගරයෙන් බිහිකිරීම,දිළිඳු බව පිටු දැකීම, ගම නගරය රට එකතු කරන ආර්ථික වැඩ පිලිවෙළ බවට පත්කිරීම, ගමේ පාලනය හා රටේ පාලනය එක මාවතකට යා කිරිම, ගමට හා නගරයට පිරිසිදු හා කාර්යක්ෂම පාලනයක් ඇති කිරීම, ගම හා නගරය තුළ සුහුරු පාලනයක් ඇති කිරීම,බැහැර කරන අපද්‍රව්‍ය නව කළමනාකරණයක් යටතට ගෙන ඒම, ගමේ නගරයේ මාර්ග පද්ධතිය නවීකරණය, තිරසර වීදි ලාම්පු පද්ධතියක් ඇති කිරීම, ගමේ නගරයේ සැමගේ පරිභෝජනයට පිරිසිදු ජලය ලබාදීම ,පුරවැසියාට තෘප්තිමත් පොදු සුභසාධන පහසුකම් ලබාදීම ආදි කරුණු රැසක් යටතේ මෙම ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත් කර තිබෙනවා. 

 

නව අදහස දක්වන්න