ලොව මවිත කරවන ගොඩනැඟිලි | දිනමිණ

ලොව මවිත කරවන ගොඩනැඟිලි

ගෘහ නිර්මාණ ශිල්පයේ මහිමය නිසා ම, වර්තමානය වනවිට නෙක් ආකාරයේ ගොඩනැඟිලි ඉඳිවනු දැකිය හැකි ය. සමහර ගොඩනැගිලිවල ගෘහ නිර්මාණ ශිල්පීය ලක්ෂණ, සිතා ගන්නටත් බැරි තරමටම පුදුම සහගත ය. එසේ ෙගඩනැඟුණු ඇතැම් ගොඩනැගිලි වාණිජ පරමාර්ථ සඳහා ම ඉඳිවුණු ඒවා නොවීම තවත් විශේෂත්වයකි. ආගමික වශයෙන් වැදගත් ගොඩනැගිලි මෙන් ම, පාර්ලිමේන්තු සංකීර්ණ, පුස්තකාල සහ පෞද්ගලික නිවාසත් ඒ අතර ඇත. ඇතැම් අරුම පුදුම ගොඩනැගිලි තවමත් ඉඳිවී නැත. එසේ වුවත්, ඒවා ඉතා ඉක්මනින් ඉඳිවන බව කිව හැකි ය. මේ, එබඳු අසාමාන්‍ය ලෙස සැලැසුම් කෙරුණු ගොඩනැගිලි කිහිපයක් පිළිබඳ තොරතුරු ය .

1. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කැපිටල්

ගේට් ගොඩනැගිල්ල

මහල් 35කින් සමන්විත කැපිටල් ගේට් ගොඩනැගිල්ල අංශක 18ක් බටහිරට ඇල (ආනත) කර තනා ඇත. ලොව වැඩි ම ආනතියක් සහිතව ඉඳිකර ඇති ගොඩනැඟිල්ල ලෙස 2010 වසරේදී ගිනස් වාර්තා අතරට එක්වූයේ ද කැපිටල් ගේට් ගොඩනැගිල්ලයි. වර්ග මීටර 53,100ක වර්ගඵලයක් සහිත මේ ගොඩනැගිල්ල තුළ පවත්වාගෙන යන්නේ, වාණිජ මට්ටමේ කාර්යාල සහ හෝටලයක් බව දැක්වේ. ගොඩනැගිල්ලෙහි වාස්තුවිද්‍යාත්මක සැලැස්ම නිම කර තිබෙන්නේ, එක්සත් රාජධානියේ ආර්.එම්.ජේ.එම්. නමැති සමාගමකි. ෝ2. චීනයේ ද පියානෝ හවුස්

චීනයේ හුවැයිනැන් නගරයේ පිහිටා ඇති පියානෝ හවුස් නමැති ගොඩනැගිල්ල, ගෘහ නිර්මාණ ශිල්පයේ විශිෂ්ටත්වය මැනැවින් පෙන්නුම් කරන්නකි. චීනයේ හෙෆෙයි තාක්ෂණ විශ්වවිද්‍යාලය එහි ගෘහ සැලැස්ම සකසා ඇත. මේ ගොඩනැගිල්ලේ ඉදිරිපස වයලීනයක ස්වරූපය ගත් කොටසක් තිබේ. පියානෝවක හැඩය ගත් ගොඩනැගිල්ල තුළට පිවිසිය යුතු වන්නේ එතුළිනි. පියානෝවක හැඩය ගත් ගොඩනැගිලි කොටසත්, වයලීනයක හැඩය ගත්

ගොඩනැගිලි කොටසත් ඉඳිකර තිබෙන්නේ, 50:1 පරිමාණයෙනි. මේ ගොඩනැගිල්ල තුළ සම්මන්ත්‍රණ ශාලා, සාද සඳහා වෙන්කර ඇති ශාලා ද ඇත.

3. රුමේනියාවේ පාර්ලිමේන්තු

මන්දිරය

රුමේනියාවේ බුකාරෙස්ට් අගනුවර පිහිටි පාර්ලිමේන්තු මන්දිරය, ලොව විශාලත ම පරිපාලන ගොඩනැගිලි සංකීර්ණය ලෙස සැලකේ. වර්ග මීටර 365,000ක වර්ගඵලයක් සහිත මේ ගොඩනැගිල්ල ඉඳිකර නිම කෙරුණේ 1997 වසරේදී ය. ගොඩනැගිල්ලෙහි වටිනාකම යුරෝ බිලියන තුනක් පමණ වෙතැයි 2008 වසරේදී ගණනය කෙරිණි. ගොඩනැගිල්ලට ආලෝකය සහ උණුසුම ලබා දීමට අවශ්‍ය බලශක්ති පහසුකම් සඳහා, සෑම වසරකම අමෙරිකන් ඩොලර් මිලියන 6කට අධික මුදලක් වැය කරන්නට සිදුව තිබේ. කාමර 1100කින් සමන්විත මේ ගොඩනැඟිල්ල තුළ, පාර්ලිමේන්තුවට අමතරව කෞතුකාගාරයක්, අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලා මධ්‍යස්ථානයක් ද පිහිටුවා ඇත.

4.ස්වීඩනයේ ටර්නින් ටෝර්සෝ

ඇඹරි ගිය ස්වභාවයකින් නිම කරන ලද ලොව පළමු ගොඩනැඟිල්ල ලෙස සැලකෙන්නේ ස්වීඩනයේ ටර්නින් ටෝර්සෝ ගොඩනැඟිල්ලයි. මහල් 54කින් සමන්විත මෙය සුඛෝපභෝගී නිවාස සංකීර්ණයකින් ද යුක්තයි. එහි නිවාස 147ක් ඇති බව සඳහන් වේ. 2001 වසරේදී මෙහි ඉඳිකිරීම් ඇරඹිණ. 2005 වසර වනවිට එය තනා නිම කරන ලදී.

5. ඉන්දියාවේ ඇන්ටිලියා

ඇන්ටිලියා යනු පෞද්ගලික නිවහනකි. මේ සුපිරි නිවෙසෙහි හිමිකරු ඉන්දීය ව්‍යාපාරික මුකේෂ් අම්බානි ය. එක්සත් රාජධානියේ බකින්ග්හැම් මාලිගයට පසුව තිබෙන ලොව

වටිනා ම පෞද්ගලික නිවහන ලෙස සැලකෙන්නේ ඇන්ටිලියා නිවෙසයි. මේ නිවෙස තනා අවසන් කෙරුණේ 2010 වසරේදී ය. ඊට වැය කෙරුණු මුදල අමෙරිකා ඩොලර් බිලියනයකට අධික බව වාර්තා වේ. රිච්ටර් මාපකයේ 8ක් ලෙස සඳහන් වන භූ කම්පනයකට පවා ඔරොත්තු දෙන ආකාරයට මෙය තනා ඇත. මහල් 27කින් සමන්විත මේ නිවෙසේ දෛනික කටයුතු පවත්වාගෙන යෑම සඳහා හය සියයක පමණ කාර්යය මණ්ඩලයක් යොදවා ඇති බව දැක්වේ.

6. උතුරු කොරියාවේ රියුගියොන්ග් හෝටලය

මහල් 105කින් සමන්විත රියුගියොන්ග් හෝටලයේ ඉඳිකිරීම් ආරම්භ කෙරුණේ 1987 වසරේදී ය. මේ හෝටලයේ ඉඳිකිරීම් කටයුතු 1992 වසරේදී මුළුමනින්ම නැවතුණේ,

උතුරු කොරියාව ආර්ථික අවපාතයකට මුහුණ දීමත් සමඟ ය. නැවත එහි ඉඳිකිරීම් ආරම්භ වූයේ 2008 වසරේදී බව දැක්වේ. 2011 වනවිට ගොඩනැඟිල්ල අභ්‍යන්තරයේ ඉඳිකිරීම් කටයුතු අවසන් කෙරිණ. 2012 වසරේදී මේ හෝටලය විවෘත කිරීමට නියමිත වුවත්, එම විවෘත කිරීම සිදු වූයේ නැත. 2013 වසරේදී හෝටලය විවෘත කෙරෙන බව ප්‍රකාශයට පත් කෙරිණි. එසේ වුවත්, එයත් සිදු නොවිණ. මේ වසරේදීත් ගොඩනැඟිල්ල විවෘත කරතැයි කියා සිතන්නට පුළුවන්කමක් නැත. වසර 30කට අධික කාලයක් තිස්සේ වැඩ නිම කර ගන්නට බැරිව පවත්නා මේ ගොඩනැගිල්ල, එකී කාරණය නිසා ම ලෝක ප්‍රකට වී තිබේ.

7. අමෙරිකා එක්සත් ජනපදයේ කැන්සාස් පුස්තකාලය

අමෙරිකා එක්සත් ජනපදයේ මිසොරි හි කැන්සාස් නගරයේ පිහිටි මධ්‍යම පුස්තකාල ගොඩනැගිල්ල, පොත් රාක්කයක ආකාරයට නිමවා ඇත. එක් පොත් ආකෘතියක උස අඩි 25ක් පමණ වේ. අඩි 9ක් පමණ පළල ය. එවැනි පොත් ආකෘති 22ක් සිටින පරිදි ගෘහය ඉඳිකර ඇත.

8. ඉන්දියාවේ නෙලුම් විහාරය

ලෝටස් ටෙම්පල් යන නමින් හැඳින්වෙන මේ ගොඩනැගිල්ල, බහායි ආගමට සම්බන්ධ ගොඩනැගිල්ලකි. එසේ වුවත්, ආගම් බේදයකින් තොරව සෑම කෙනකුටම ඊට ඇතුළුවන්නට

ඉඩ සලසා තිබේ. නෙළුම් මලක හැඩයට ඉඳිකර ඇති මේ ගොඩනැගිල්ලේ මධ්‍යම කොටස, මීටර 40ක් තරම් උස ය. පුද්ගලයන් 2500කට රැඳී සිටින්නට එම කොටස

තුළ ඉඩකඩ ඇත. සංචාරකයෝ බොහෝ සංඛ්‍යාවක් මේ ගොඩනැගිල්ල දැක බලා ගැනීමට පැමිණෙති. වැඩි ම පිරිසක් නැරැඹු ගොඩනැගිල්ල ලෙස 2001 වසරේදී වාර්තා අතරට එක්ව තිබෙන්නේ නෙලුම් විහාරය බව, සී.එන්.එන්. ප්‍රවෘත්ති සේවය වරක් ප්‍රකාශ කළේ ය.

9. බ්‍රසීලයේ දේවස්ථානය

බ්‍රසීලයේ බ්‍රසීලියා හි පිහිටා ඇති මේ දේවස්ථානය ඉඳිකර තිබෙන්නේ, සාමාන්‍යයෙන් අප දකින දේවස්ථානයක ස්වරූපයට නොවේ. ටොන් 90 බැගින් බරැති කොන්ක්‍රීට් කුලුනු16ක් සහිතව එය ඉඳිකර ඇත. ගොඩනැගිල්ලේ ඉඳිකිරීම් නිම කෙරුණේ 1970 වසරේදී ය. ඔස්කාර් නීමේයර් නමැති බ්‍රසීල ජාතික ගෘහ නිර්මාණ ශිල්පියා අතින් මෙහි ගෘහ නිර්මාණ සැලැස්ම සකස් වී ඇත. ඔස්කාර් ජනප්‍රියත්වයට පත් වූයේ ද, බ්‍රසිලියා දේවස්ථානයේ

සැලස්ම නිර්මාණය කිරීමත් සමඟ ය.

10. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කැරකෙන කුලුන

2020 වසරේදී වැඩ නිමවීමට නියමිත මේ කුලුන ඉඳිකිරීම, මේ වනවිටත් ආරම්භ වී නැති බව වාර්තාවල සඳහන් වේ. සැලැසුමෙහි දැක්වෙන අන්දමට, කුලුන අඩි 1378ක් උසැති ය. එහි තැනීමට නියමිත මහල් සංඛ්‍යාව 80කි. ගොඩනැගිල්ලේ සෑම මහලක්ම කරකැවෙමින් තිබෙන ආකාරයට එහි ඉඳිකිරීම් නිම කිරීමට නියමිත ය. මිනිත්තුවකට මීටර 6ක වේගයකින්

ඒවා කරකැවෙන්නට සලස්වන බව දැක්වේ. ගොඩනැගිල්ලට අවශ්‍ය බලශක්තිය ජනනය කර ගැනීමට, ඊට අනුබද්ධව සුළං බලාගාරයක් ඉඳි කෙරෙන බව ද සඳහන් වේ.

අන්තරජාලය ඇසුරෙනි

මංජුලා විජයරත්න 

 

නව අදහස දක්වන්න