හිරේ ගිය බූරුවන් සහ බළල් තානාපති | දිනමිණ

හිරේ ගිය බූරුවන් සහ බළල් තානාපති

 පුදුම හතට එක් නොවූ පුදුම දේ මේ සජීවී ලෝකයේ කොතරම් සිදුවෙනවාද? අප පොළොවේ පයගසා සිටින ලෝකයේ ‍මෙවැනි ‍දේ සිදුවෙනවාද කියා සිතා ගැනීමටත් නොහැකි තරම් ය. මේ එවැනි කිහිපයක් පිළිබඳ සටහනකි.

සිරගත වූ බූරුවෝ

මිනිසුන් පෘථිවි තලය වනසද්දී 2017 වසරේ නොවැම්බරයේ ඉන්දියාවේ බූරුවන් රංචුවක් උත්තර ප්‍රදේශයේ සිර කඳවුර අසල තිබූ ඉතා වටිනා පැළෑටි රිසිසේ කා දැමීමේ වරදට සිරගත කෙරිණි. උන් කෑ පැළවල වටිනාකම ඉන්දියානු රුපියල් 60,000කි. උන් සිව් දිනක් ඔරායි සිරගෙදර සිරගතකර තිබූ අතර අවසානයේ අයිතිකරු කමලේෂ්ට ගොවිපොළ සත්ත්වයන් ලැබිණි. ඒ භාරතීය ජනතා පක්ෂ‍යේ දේශපාලනඥයෙක් උන්ගේ දඩය ගෙවාදැමීම නිසාය . කමලේෂ් තම සතුන් නිදහස් කර දෙන මෙන් කොතෙක් ඉල්ලා සිටියත් කිසිවකු ඊට සවන් දී නැත. දේශපාලන මැදිහත්වීම සිදුවූයේ ඉන් අනතුරුවය.සිරගෙදර අධිකාරි කියා සිටියේ මෙය අතිසංකීර්ණ ගැටලුවක් බවය.

“බූරුවෙක් හිරේ දමන්නනීතියක් නැහැ. ඒත් අයිතිකරුට පාඩමක් උගන්නනයි මෙහෙම කළේ. කීපවතාවක්ම අවවවාද කළත් ගණන් ගත්තේ නෑ. අධිකාරිවරයා පැවසුවේය. පැළෑටි කෑ බූරුවන්ට සිව් දිනක සිර දඬුවමක් ලැබිණි.

කාසියේ අවාසිය

අසූ හැවිරිදි කියූ 2017 ජුනි මාසයේ දකුණු චීන ගුවන් සමාගමක යානයකින් ෂැංහයි සිට ගුවැංෂෞ වෙත පවුලේ සාමාජිකයන් සමඟ ගමන් කරමින් සිටියාය. ඇය හිටි හැටියේම ගුවන් යානයේ එන්ජිමට කාසි විසි කළේ වාසනාව උරගා බැලීමටය. මෙය දුටු මගී න් ගුවන් යානයේ නිලධාරීන්ට ඒ ගැන දැන්වීය . පොලීසිය ඇය අත්අඩංගුවට ගත් නමුදු වයස ගැන සලකා නිදහස් කරන ලදී. ගුවන් යානයේ මගීන් 15ක් සිටියහ. යානය පිටත්වීමට නියමිතව තිබුණේ ප . ව. 12.40ට නමුත් මේ සිදුවීම නිසා යානය පිටත් වුණේ පැය 5කට වඩා පමා වීය. ඇය විසි කළ කාසිවල වටිනාකම යූ ආන් 1.7 කි. (අමෙරිකානු සත 25) විය. මිත්තණියගේ වාසනාව උරගා බැලීම නිසා සිදුවූ පාඩුව ඩොලර් දහස් ගණනකි.

ඤාව් රාජතාන්ත්‍රිකයා

ජෝර්දානයේ බ්‍රිතාන්‍යයේ තානාපති කාර්යාලයේ ඉතිහාසයේ පළමු වරට බළලකුට රාජතාන්ත්‍රික තනතුරක් ලැබිණි. පත්වීම සිදු කෙරුණේ 2017 නොවැම්බර් 15 වැනිදාය. ඌ පත්කර ඇත්තේ මීයන් ඇල්ලීමටය. ඌට දැනටමත් ලක්ෂයකට ආසන්න ට්විටර් අනුගාමිකයන් පිරිසක් සිටිති.

‘ලෝරන්ස් ඔෆ් ඇබ්ඩවුන්’ ඌට ලබාදී ඇති නමයි. පළමු ලෝක යුද්ධයේ ටී . ඊ. ලෝරන්ස් සිහිවීමට ඒ නම තබා ඇත. තානාපති ධුරයත් සමඟ බළලාගේ සන්තෘෂ්ටිය වැඩිවී පුෂ්ටිමත්ව තිබෙන නිසා ට්විටර් අනුගාමිකයන් ඌට ව්‍යායාම කරවන ලෙසට උපදෙස් ද එවයි.

මකුළු කුසගින්න

මිනිසුන්ට වඩා මකුළුවන් ආහාර ගන්නා බව විද්‍යාඥයන් සොයා ගත්තේ ද පසුගිය වසරේදී මාර්තු මාසයේදීය. ඒ අනුව මකුළුවන් වසරකට ගොදුරු ටොන් මිලියන අටසියයක් ගිල දමනු ලැබේ. පෘථිවියේ මකුළු විශේෂ 45,000 ක් පමණ ජීවත්වෙති.

ලොව මිනිස් ජනගහනය ටොන් මිලියන 450ක් මස් හා මාළු කෑමට ගන්නා බව ගණන් බලා තිබේ. තල්මසුන්ට ද වඩා මකුළු කුසගින්න දැඩිය. තල්මසකු වසරකට ‍ටොන් මිලියන 280 - 500ක ආහාර ප්‍රමාණයක් ගනී. බොහෝ මකුළුවන් කෑමට ගන්නේ කෘමීන්ය.

ගෝලීය උණුසුම අඩුකරන තෙල් කෑම

තෙල් කෑම අධික රුධිර පීඩනය, හෘදයාබාධ, දිය වැඩියාව, පිළිකා, ආඝාතය වැනි බොහෝ බෝ නොවෙන රෝගවලට හේතුවකි. තෙල්වල අහිතකර බව ‍හේතු වන්නේ මිනිසාට පමණක්ද? 2017 නොවැම්බරයේදී විද්‍යා පර්යේෂකයන් හෙළි කළේ ගැඹුරු තෙලේ බැදීම මිනිස් ගතට අහිතකර නමුත් ඉන් ගෝලීය උණුසුම අඩුවන බවය. ගැඹුරු තෙලේ බදින විට පිටවන දුම අහසේ වලාකුළු සෑදීමට හේතුවේ.

රොබෝ හාමුදුරුවෝ

රොබෝවරුන් උපන් දේශය රොබෝවරුන්ට අවමංගල්‍ය කටයුතු කිරීමේ වගකීම භාර දුන්නේ ද 2017 වසරේ ය. ඔවුන් පත් කර ඇත්තේ පෙපර් රොබෝය. රොබෝවරුන් නියෝජනය කරන්නේ බෞද්ධ හිමි නමකගේ කාර්ය භාරයය. පරිගණක හඬින් සූත්‍ර දේශනා කරමින් බෙර වයමින් රොබෝවරුන් බෞද්ධ ආගමික චාරිත්‍ර ඉටු කරනවා දැකීම ඉදිරියේදී අරුමයක් නොවනු ඇත.

ජපානයේ රොබෝවරුන් තනිකම නැතිකිරීමට, වියපත් අයට උපකාර වීමට, විනෝදය ගෙන දීමට සහකරුගේ සහකාරියගේ කාර්ය කිරීමට පමණක් නොව අවමංගල්‍ය චාරිත්‍ර කිරීමට ඉදිරිපත්වීම සහනදායක පුවතකි. ජපානයේ අවමංගල්‍ය උළෙලක වියදම පවුම් 20,000 ඉක්මවයි. එහෙත් පෙපර් රොබෝ අය කරන්නේ පවුම් 350ක් පමණි. ජපන් ජනගහනය සීඝ්‍රයෙන් වයස්ගත වීම නිසා එරට මුහුණපා ඇත්තේ විශාල අර්බුදයකටය. එසේම බෞද්ධ භික්ෂූන්වහන්සේලාට අඩු ආදායමක් ලැබීම නිසා විහාර කර්තව්‍යයන්ට අමතරව වෙනත් කාර්යයන්හි නිරතවීමට ද සිදුවී තිබේ.

අන්තර්ජාලයෙනි
චම්පිකා දීපානි රණසිංහ

නව අදහස දක්වන්න