මවත්-මල්ලීගේ දියනියත් මැරූ ඝාතකයා වස බී මියයයි | දිනමිණ

මවත්-මල්ලීගේ දියනියත් මැරූ ඝාතකයා වස බී මියයයි

රක්ෂණ ශ්‍රියන්ත

යාපනය වයඹ භද්‍රකාලි අම්මාන් කෝවිල මන්සන්ධිය ප්‍රදේශයේ දී මවක හා පුතකු අතර ඊයේ (19) ඇති වූ ආරවුලක දී පුතා එල්ල කළ පොරව පහරකින් මව සහ එම නිවසේ සිටි ඔහුගේ බාල සහෝදරයාගේ දියණිය මිය ගොස් ඇත.

මෙසේ මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 55ක් වූ පරමේෂ්වරී නමැති පොරව පහර එල්ල කළ පුද්ගලයාගේ මව සහ වයස අවුරදු 03ක් වූ නෙක්ෂිකා නමැති ඔහුගේ මල්ලීගේ දියණියයි.

පොරව පහර එල්ල කළ පුද්ගලයා රත්රන් භාණ්ඩ සාදන අයකු වන අතර, සිද්ධිය වූ දින ඔහුගේ මල්ලිගේ බිරිය රෝහලට යාමට අවශ්‍ය හෙයින් තම ආච්චි වෙත දියණිය භාර දී ඇති අතර, සිද්ධිය වූ අවස්ථාවේ දියණිය එය දැක දුව ගොස් ඇති අතර එම අවස්ථාවේ දී දියණියට පොරව පහර එල්ල කර තිබේ.

මේ අතර පොරව පහර එල්ල කළ ඊෂ්වරන් නමැති තැනැත්තා රන් භාණ්ඩ සෑදීමට යොදා ගන්නා රසායනික ද්‍රව්‍යයක් පානය කර සිය දිවි හානි කරගෙන ඇත.

කැපුම් තුවාල සහිතව ඇද වැටුණු දැරිය සහ ආච්චි අම්මා එම අවස්ථාවේදීම යාපනය මහ රෝහලට රැගෙන ආවද ඒ වන විටත් මිය ගොස් සිට ඇත.

සිද්ධිය සම්බන්ධව යාපනය පොලිසිය වැඩි දුර විමර්ශන සිදු කරයි. 

නව අදහස දක්වන්න