දශක 4ක ජාතික මෙහෙවරක විශිෂ්ටත්වය | දිනමිණ

දශක 4ක ජාතික මෙහෙවරක විශිෂ්ටත්වය

 නව වසරේ ආරම්භයත් සමග පාසල් ක්‍රිකට් ක්‍රීඩකයන් සහ සිසුන් නොඉවසිල්ලෙන් පසුවන්නේ දින 40කින් පමණ ආරම්භ වන පාසල් මහා ක්‍රිකට් තරග වාරය උදාවනතුරුය. පාසල් ක්‍රිකට් තරග ආරම්භයත් සමග එහි උණුසුම දෙගුණ වී ඇති අතර සන්ඩේ ඔබ්සර්වර් - මොබිටෙල් වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා සම්මාන උළෙලේ සිය ප්‍රියතම ක්‍රීඩකයාට ඡන්දය දීමේ අවස්ථාව පාසල් සිසුන්ට උදාවීමත් සමග ඊට නව ජීවයක් එක්වී තිබේ.

පාසල් ක්‍රිකට් ක්‍රීඩකයන්ට ජාතික කණ්ඩායමට එක්වීමේ කදිම අඩිතාලමක් සපයාදෙන සන්ඩේ ඔබ්සර්වර් - මොබිටෙල් වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා සම්මාන උළෙල මීට පෙර ලෝකය ජයගත් එවැනි ක්‍රිකට් තරු රැසක් ජාතියට දායාද කිරිමට සමත්විය.

ඒ අතරින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ජ්‍යෙෂ්ඨතම තරග තීරකවරයකු ලෙස දැනට කටයුතු කරන රන්ජන් මඩුගල්ලට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. මේ කීර්තිමත් සම්මාන උළෙලේ ආරම්භවූ 1979 වසරේ දී එම සම්මානය දිනාගනු ලැබුවේ ඔහු විසිනි. ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් සමාගම 11 වැනි වරටත් පුර්ණ අනුග්‍රාහකත්වය ලබා දෙන මෙරට පාසල් ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ විශිෂ්ටම කළඑළි මංගල්‍යය පිළිබඳ ඔහුගේ අදහස ඉතා වැදගත්ය.

‘මෙවැනි උත්සවයක් දිගටම පවත්වාගෙන යන්න අනුග්‍රාහකයන් ඉතා වැදගත්. අතීතයේදී කොළඹ කේන්ද්‍ර කරමින් වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයන් බිහිවුණත් දැන් දැන් දුර බැහැර පළාත්වලිනුත් ක්‍රීඩකයන් බිහිවෙනවා. එය ක්‍රීඩාවෙ පැවැත්මට ඉතා වැදගත් කරුණක්.’ රන්ජන් මඩුගල්ලේ එසේ කියයි.

ඔහුගෙන් පසුව දෙවැනි සම්මානයට පාත්‍ර වූයේ 1996 ලෝක කුසලානය දක්වා කණ්ඩායම රැගෙන ගිය විශිෂ්ට නායක අර්ජුන රණතුංගය. දෙවතාවක්ම මේ සම්මානයෙන් පිදුම් ලැබූ පළමු ක්‍රීඩකයා වන අර්ජුන මේ වනවිට ක්‍රීඩාවෙන් සමු‍ගෙන දේශපාලනයට පිවිස අමාත්‍යවරයකු ලෙස කටයුතු කරමින් සිටී. සිය ක්‍රිකට් දිවියේ මුල් කාලයේදී ඔබ්සර්වර් වසරේ ක්‍රීඩකයා සම්මානයෙන් දිරිය ලැබූ මේ විශිෂ්ට ක්‍රීඩකයා කියා සිටියේ ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ විශිෂ්ටතම ක්‍රීඩකයන් රැසක් බිහිවීමට වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා සම්මාන උළෙල ඉතා වැදගත් භූමිකාවක් වූ බවය.

දශක 4ක කාලයක් පුරා විශිෂ්ට ක්‍රිකට් ක්‍රීඩකයන් රැසක් බිහි කරමින් 40 වැනි වරටත් මේ වසරේදී පැවැත්වෙන සන්ඩේ ඔබ්වර්සර් - මොබිටෙල් වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා සම්මාන උළෙලේ ජනප්‍රියතම ක්‍රීඩකයා තේරිමේ කූපනය ලේක් හවුස් ආයතනයේ සන්ඩේ ඔබ්වර්සවර්, ඩේලි නිවුස්, දිනමිණ සහ තිනකරන් පුවත්පත්වල පළවෙයි.

-ෆවුස් මොහොමඩ්

 

නව අදහස දක්වන්න