ජනපති අගමැති විවේචනය කරන්න මැති ඇමැතිවරුන්ට අයිතියක් නැහැ | දිනමිණ

ජනපති අගමැති විවේචනය කරන්න මැති ඇමැතිවරුන්ට අයිතියක් නැහැ

ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, සම කැබිනට් ප්‍රකාශක ගයන්ත කරුණාතිලක

පසුගියදා පැවැති කැබිනට් සාකච්ඡාව ඉතා උණුසුම් වූ බව මාධ්‍ය වාර්තා කර තිබුණා. ඇත්තටම එතනදී සිදුවුණේ මොකක්ද?

අමුතු දෙයක් වුණේ නෑ. අපි හවුල් ආණ්ඩුවක් විදියට කටයුතු කරනකොට සාකච්ඡා කළ යුතු දේවල් අපි කැබිනට් හමුවේදී සාකච්ඡා කරනවා. එවැනි සාකච්ඡාවක් තමයි එතනදි සිද්ධ වුණේ. ඊට අමතරව යහපාලන ආණ්ඩුව 2020 දක්වා ආරක්ෂා කර ගනිමින් ඉදිරියටත් ආණ්ඩු කරන්නේ කොහොමද කියන කාරණය තමයි එතනදි සාකච්ඡා වුණේ.

කැබිනට් සාකච්ඡාව අතරතුර ජනාධිපතිවරයා නැඟිට ගියා කියලත් මාධ්‍ය වාර්තා කර තිබුණ. එහෙම නැඟිට ගිය හේතුව මොකක්ද?

නෑ ඉතිං සාමාන්‍යයෙන් හදිසි අවශ්‍යතාවක් පැන නැඟුනොත් ජනපතිවරයා වුණත් අගමැතිවරයා වුණත් ඇමැතිවරු වුණත් නැගිට යන අවස්ථා ඕනෑ තරම් තියනවා. ජනාධිපතිතුමා ජනාධිපති මන්දිරයෙන් එළියට ගියේ නෑනේ.

එක්සත් ජාතික පක්ෂයේ ඇතැම් පසුපෙළ මන්ත්‍රිවරුන් ජනපතිවරයාට චෝදනා කිරීමත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇතැම් ඇමැතිවරුන් අගමැතිවරයාට චෝදනා කිරීමත් නැවැත්වීමට සහයෝගිතා ආණ්ඩුවට වැඩපිළිවෙළක් නැතිද?

මේ යහපාලන ආණ්ඩුවේ ප්‍රධානින් ජනාධිපතිවරයායි, අගමැතිවරයායි. එතකොට ජනපතිවරයා හා අගමැතිවරයා පත්කරගෙන තියෙන්නේ අපිමයි. මේක අපි බොහෝම මහන්සියෙන් පිහිටුවාගත් ආණ්ඩුවක්. එතකොට අපි කාටවත් ආණ්ඩුව ඇතුළේ ඉඳගෙන ඒ ජනාධිපතිවරයාවත් ඒ අගමැතිවරයාවත් විවේචනය කරන්න පුළුවන් කියලා මා නම් හිතන්නේ නෑ. එතුමන්ලාගේ ආණ්ඩුවේ අපි ඉන්නේ. විෙශ්ෂයෙන්ම අපි මැති ඇමැතිවරුන් වෙලා තියෙන්නෙත් ජනපතිවරයාගෙයි අගමැතිවරයාගෙයි පත්වීම්වලින්. ආණ්ඩුව ඇතුළේ ඉඳගෙන විවේචනය කරනවානම් ඒක සදාචාර සම්පන්න නෑ. කාගේ කාගේ අතිනුත් යම් යම් සුළු අතපසුවීම් වෙන්න පුළුවන්. එහෙම වෙලා තියනවානම් එවැනි දේ ඉදිරියේදී සිදුනොවීමට දෙපාර්ශ්වයම වග බලාගන්න ඕනෑ. අපේ ජනාධිපතිතුමායි අපේ අගමැතිතුමායි අපිට විවේචනය කරන්න පුළුවන් කියලා මා නම් කවදාවත් හිතන්නේ නෑ.

එක්සත් ජාතික පක්ෂයේ හදිසි කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමක් පසුගිය බදාදා හදිසියේම පැවැත්වුණා. මෙහිදී සාකච්ඡා කෙළේ මොනවාද?

මං අවධාරණයෙන්ම කියන්න ඕනෑ කිසිම හදිසි කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමක් පැවැත්වුණේ නැහැ. සාමාන්‍යයෙන් මාසයකට සැරයක් කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමක් පවත්වනවා. මීට දින කීපයකට කලින් අපට දන්වලා තිබුණා එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීම පසුගිය බදාදා (17) පවත්වන බව. විශේෂ අවධානය යොමුවුණේ පළාත් පාලන මැතිවරණයේ සංවිධාන කටයුතු පිළිබඳවයි.

කැබිනට් එකේ සිදු වූ කලබැගෑනිය ගැන මෙතනදි කතා වුණේ නැතිද?

එහෙම කතා කරන්න කැබිනට් එකේ කලබැගෑනියක් සිදු වුණේ නෑනේ.

එළඹෙන පළාත් පාලන මැතිවරණයට එජාපයේ සූදානම කොහොමද?

අපි වෙන දේශපාලන පක්ෂ වගේ ජනතා රැලිවලින් මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කරන පක්ෂයක් නෙවෙයි. අපි අපේ මැතිවරණ ව්‍යාපාරය මුල සිටම සැලසුම් කරලා පියවරෙන් පියවර ඉදිරියට අරන් ගියා. අපි මැතිවරණය පටන් ගන්නේම මේ පුංචි ඡන්දයට ඉතාම සුදුසු ජනතාව පිළිගත් ජන පදනමක් සහිත සුපිරිසුදු නායකයන් අපේක්ෂකයන් විදියට ‍තෝරා ගැනීමෙන්. ඒ නිසා අපි චෝදනා නැති නවක මුහුණු පළපුරුදු අපේක්ෂකයෝ ගම පිළිගත් චරිත වගේම ගමේ සියලු දෙනාම ගරු කරන කාන්තාවනුත් මැතිවරණයට ඉදිරිපත් කරලා ති‍ෙයනවා. ඒ විතරක් නෙවෙයි, එක්සත් ජාතික පක්ෂය මුළු රටටම අපේක්ෂකයෝ ඉදිරිපත් කළා.

මැතිවරණයට පෙරම අපි ජයග්‍රහණයක් අත්පත් කර ගත්තා. ඒ තමයි එකම සභාවකවත් නාමයෝජනා ප්‍රතික්ෂේප නොවන විදියට අපි නාමයෝජනා ලබා දුන්නා. අනික් සියලුම පක්ෂවල නාමයෝජනා ප්‍රතික්ෂේප වුණා. අපි අපේක්ෂකයන් දිස්ත්‍රික්ක මට්ටමින් දැනුවත් කළා. අති විශාල ජනකායක් සහභාගි වූ සාර්ථක පක්ෂ සම්මේලනයක් කොළඹදී පැවැත්වූවා. අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් 18 වැනිදා ඓතිහාසික කන්ද උඩරට දළදා සමිඳුන් වැඩ සිටින දේශයේ අති සාර්ථක ජන රැලියක් පවත්මින් ජන රැලි පැවැත්වීම ඇරඹුවා. අද මා නියෝජනය කරන බෙන්තර ඇල්පිටිය ආසනයේ ඇල්පිටිය නගරයේ දී සාර්ථක ජන රැලියක් පැවැත්වීමට අපේක්ෂා කරනවා. මේ ජන රැලි මාලාව ඉදිරියට යනවා. ඉතාම විධිමත් සංවිධානයක් සැලසුමක් අනුව මේ රැලි පවත්වා විශිෂ්ට ජයග්‍රහණයක් අත්කරගන්නවා.

පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් කර තිබෙන ඇතැම් අපේක්ෂකයන්ට වංචා, දූෂණ, මත්ද්‍රව්‍ය චෝදනා තිබෙනවා. එජාප අපේක්ෂකයන් අතර එවැනි අය නොමැති බවට දෙන සහතිකය මොකක්ද?

එවැනි චෝදනා නැති, වැරදිකරුවන් නොවුණු ජනතාවගේ පිළිගැනීමක් ඇති අය තමයි අපි අපේක්ෂකයන් විදියට ඉදිරිපත් කරලා තියෙන්නේ. අපි ඉදිරිපත් කරලා තියෙන්නේ ජනප්‍රිය චරිත. ඒ අයට කිසිම කෙනෙකුට ඇඟිල්ලක් දික් කරලා වැරැද්දක් කියන්න බෑ.

අනිකුත් දේශපාලන පක්ෂත් කියන්නේ තම අපේක්ෂකයන් ඉතා පිරිසුදු අය බවයි.

ඒක අතීතය බැලුවම හොඳින් පේනවා. පළාත් පාලන ආයතනයක මන්ත්‍රීවරයෙක් කිව්වහම ජනතාවගේ හිතේ ඇඳිලා තිබුණේ මොන ආකල්පයක්ද? අපිට මතකයි ඒ කාලේ ප්‍රවෘත්ති ප්‍රකාශ බලනකොට හැමදාම එක ගමකට එක වැඩක් පෙන්නන්නා සේ නගර සභා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් විවිධ දූෂණ චෝදනාවලට ලක්වෙමින් උසාවිවලට සුදු බෙඩ්ෂීට්වලින් වහලා අරන් ආපු හැටි. ඒ විතරක් නෙවෙයි නූරිවත්තේ වතු අධිකාරිවරයා ඝාතනයට ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරුන් සම්බන්ධ වී සිටියා. අකුරැස්ස පැත්තේ විවිධ දූෂණ කරලා ඒවායේ සංවත්සර පවත්වපු ආකාරය මේ රටේ ජනතාව දැක්කා. ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් විදේශිකයෙක් ඝාතනය කරලා ඔහුගේ පෙම්වතිය දූෂණය කරලා හිර දඬුවම් නියම වුණා. ප්‍රාදේශීය සභාවක සභාපතිවරයෙක් යාබද ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගෙන් අල්ලස් අරන් අහු වෙච්ච අවස්ථා තිබුණා. එහෙම පුද්ගලයෝ තමයි අද ඔය පොහොට්ටුව පක්ෂයේ කැඳවුම්කාරයෝ හැටියටත් කටයුතු කරන්නේ. ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා පා පැදියක්වත් නැතිව ඇවිත් ඩබල් කැබ්වල ගියපු හැටි තමයි ජනතාව දැක්කේ. කොන්ක්‍රිට් පාරෙන්, තාර පාරෙන්, ගසාකාලා ව්‍යාපාරිකයෙක් බවට ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා පත් වුණා. ඒ නිසා එක්සත් ජාතික පක්ෂය කල්පනා කළා සුපිරිසුදු පළාත් පාලන අපේක්ෂකයෝ මේ ඡන්දයට ඉදිරිපත් කළ යුතුයි කියලා.

මහින්ද අගමැති කරන්න පොහොට්ටුවට ඡන්දය දෙන්න කියා පිරිසක් කියනවා. ඔබ ඔවුනට දෙන පිළිතුර කුමක්ද?

කුඩා දරුවෙක් පවා දන්නවා පළාත් පාලන මැතිවරණයකින් අගමැතිවරයෙක් පත්කරන්න බැරි බව. වැඩිම වුනොත් නගරාධිපති, උප නගරාධිපති, සභාපති, උප සභාපති පත්කරන්න පුළුවන්. මේක නොමේරූ බොළඳ තර්කයක්. ඒක රටේ ජනතාව දන්නවා. ජනතාව මේ පළාත් පාලන ඡන්දවලදී බලය දුන්නේ බලයේ සිටි පක්ෂයට. මිනිස්සු දන්නවා මේ ඡන්දයෙන් ජනාධිපති වෙනස් ‍කරන්නත් බෑ. අගමැති වෙනස් කරන්නත් බෑ. ආණ්ඩුව වෙනස් වෙන්නෙත් නෑ. 2020 දක්වා පවතින ආණ්ඩුව තමයි තියෙන්නේ. එහෙනම් නිකම්ම නිකම් ස්වාධීන කණ්ඩායමකට හෝ බලයක් නැති පක්ෂයකට ඡන්දයක් දෙන්න ජනතාව සූදානම් නෑ. මාසේ අන්තිමට දීමනාව සාක්කුවේ දාගන්න, මාසයකට සැරයක් කතාවක් කරන මන්ත්‍රීවරයෙක් පත් කර ගන්නද ආණ්ඩුවේ තියන ශක්තිය අරගෙන ගමේ පාර හදන්න, බෝක්කුව දාන්න, ලයිට් එක දාන්න, කුණුටික ඇදගන්න පුළුවන් නියෝජිතයා තෝරාගන්නවද කියල තීරණය කරන්න ජනතාවට ශක්තියක් ති‍ෙයනවා. ඒ නිසා තමයි බලයේ සිටින පක්ෂයේ නියෝජිතයා තෝරාගන්න සෑම පළාත් පාලන මැතිවරණයකදීම ජනතාව කටයුතු කෙළේ.

ගාමිණී බණ්ඩාරනායක 

නව අදහස දක්වන්න