පසුගිය රජයේ පව් ගෙවන්න තරුණ පරම්පරාවට ඉඩ තබන්නේ නෑ | දිනමිණ

පසුගිය රජයේ පව් ගෙවන්න තරුණ පරම්පරාවට ඉඩ තබන්නේ නෑ

අසේල කුරුළුවංශ හා ඉන්දික පොල්කොටුව

පසුගිය රජයේ පව් නිසා ණයකාරයන් බවට පත්ව සිටින මේ රටේ තරුණ පරම්පරාව ණයකාරීත්වයෙන් මුදවා ඔවුන්ට සුරක්ෂිත අනාගතයක් උදාකර දෙන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පළාත් පාලන මැතිවරණය නිමිත්තෙන් මහනුවර පැවැති එක්සත් ජාතික පෙරමුණේ මංගල රැලිය අමතමින් පැවසුවේය.

අනුන්ගේ පව් ගෙවීමට තරුණ පරම්පරාවට ඉඩ තැබීමට තමන් අකමැති බවත් ඒ මහතා කීය. මහනුවර මධ්‍යම වෙළෙඳ පොළ ඉදිරිපිට දී (18)ඊයේ පස්වරුවේ පැවැති එක්සත් ජාතික පක්ෂ මංගල රැලියට දහස් සංඛ්‍යාත ජනතාවක් පැමිණ සිටියහ.

පසුගිය රජය වසර හයක් තිස්සේ ණය ලබාගත් ණය ඔවුන්ට ගෙවා ගැනීමට නොහැකි තත්ත්වයක් ඇති වීමෙන් රට විශාල ආර්ථික අර්බුදයකට පත්ව තිබිය දී බාර ගත් රට පසුගිය වසර තුනක කාලය තුළ දී ආර්ථික ස්ථාවරත්වයක් කරා ගෙන ඒමට ආණ්ඩුවට හැකිවූ බවත් ලබාගත් ණය ගෙවීමට හැකි ශක්තිය දැන් ඇතිකර තිබෙන බැවින් තරුණ පරපුරට හොඳ අනාගතයක් ලබාදීම අසීරු නොවන බවත් ඒ මහතා පැවැසීය.

ඩොලර් කෝටි 150ක ආයෝජන පසුගිය වසර තුළ මෙරටට ලැබුණු බවත් මෙම වසරේ එය තවත් වර්ධනය කර ගැනීමට අපේක්ෂා කරන බවත් ඒ මහතා කීය.

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ කළ දකුණේ අධිවේගී මාර්ගය ඇතුළු සංවර්ධන ව්‍යාපෘති ගණනාවකට ගත් මුදල් ගෙවීමට සිදුවූයේ වත්මන් ආණ්ඩුවට බවත් අගමැතිවරයා ප්‍රකාශ කළේය.

ජනපතිවරණය හා මහමැතිවරණ ජයග්‍රහණය කිරීමෙන් පසු ලබා ගත්තේ ණය ගෙවීමටවත් ප්‍රමාණවත් ආදායමක් නොමැති රටක් බවත් මහින්ද එදා නියමිත කාලයට පෙර ජනපතිවරණය තිබ්බේ ඉදිරියේ එන ආර්ථික අර්බුදයට පෙර බලය තහවුරු කර ගැනීමේ අරමුණින් බවත් කී අගමැතිවරයා අභියෝග ජය ගනිමින් පසුගිය වසර තුන තුළ රට ආර්ථික ස්ථාවරත්වයකට ගෙන ඒමට ආණ්ඩුවට හැකිවූ බව ද අවධාණය කළේය.

රටේ සංවර්ධනය ගමට ගෙන ඒම සඳහා එජාපයට පළාත් පාලන ආයතන තුළ තනි බලයක් ලබාදෙන ලෙස තමන් ජනතාව ගෙන් ඉල්ලා සිටින බව ද මෙහි දී අගමැතිවරයා කීය.

මෙම අවස්ථාවට එක්සත් ජාතික පක්ෂ සභාපති, අමාත්‍යය මලික් සමරවික්‍රම, මහලේකම් හා රාජ්‍ය්‍ය ව්‍යවසාය සංවර්ධන ඇමැති කබීර් හෂීම්, උසස් අධ්‍යාපන හා මහමාර්ග ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල, අධ්‍යාපන හා සංස්කෘතික ඇමැති අකිල විරාජ් කාරියවසම්, බුද්ධශාසන හා වනජීවී ඇමැති ගාමීණී ජයවික්‍රම පෙරේරා, සෞඛ්‍යය ඇමැති රාජිත සේනාරත්න, අමාත්‍යය රවුෆ් හකීම් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

උඩුදුම්බර ප්‍රාදේශීය සභාව සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරග වදින ගැමුණු සිරි බණ්ඩාර මහතා මෙහි දී එක්සත් ජාතික පක්ෂයට එක්වීම විශේෂ සිද්ධියකි.


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...