සුරේෂ් සුබ්‍රමනියම් ඔලිම්පික් මුල් පුටු සටනට | දිනමිණ

සුරේෂ් සුබ්‍රමනියම් ඔලිම්පික් මුල් පුටු සටනට

නිරෝෂාන් ප්‍රියංකර

ලබන මස 23 වැනිදා පැවැත්වීමට මේ වනවිට දින නියම කර ඇති ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති ධුරය සඳහා තරග කරන බව ශ්‍රී ලංකා ටෙනිස් සංගමයේ හිටපු සභාපති හා වත්මන් උප සභාපති සුරේෂ් සුබ්‍රමනියම් මහතා පසුගියදා නිල වශයෙන් ප්‍රකාශ කළේය.

සුබ්‍රමනියම් මහතා වත්මන් ඔලිම්පික් කමිටු සභාපති හේමසිරි ප්‍රනාන්දු හා ලේකම් මැක්වෙල් ද සිල්වා මහත්වරුන්ගේ පාර්ශ්වයෙන් ඔලිම්පික් නිලවරණයට තරග කරයි.

ඔහු සමගින් ඔලිම්පික් සභාපති තනතුරට ජාතික ඔලිම්පික් කමිටුවේ උප සභාපති හා ශ්‍රී ලංකා ඔරු පැදීමේ සංගමයේ සභාපති රොහාන් ප්‍රනාන්දු මහතා තරග කිරීමට නියමිතය.

මේ පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමට පසුගියදා ටෙනිස් සංගම් මූලස්ථානයේ පැවැති හමුවේදී සුබ්‍රමනියම් මහතා පැවැසුවේ සෑම විටකම යහපාලනය තහවුරු කරමින්, කුසලතාපූර්ණ ක්‍රීඩක ක්‍රීඩිකාවන් දිරිමත් කිරීමට ඵලදායී වැඩසටහන් රැසක් දියත් කිරීමට බලාපොරොත්තු වන බවත්, ඔලිම්පික් කමිටුවට අනාගතයේදී ශ්‍රී ලංකාවට ගෞරවයක් සහ අභිමානයක් ගෙනදීමේ හැකියාව පවතින බව විශ්වාසය කරන බවත්ය.

ක්‍රීඩාවේදී ක්‍රීඩා සම්මේලන වඩාත් ශක්තිමත් විය යුතු අතර ඒවාට ඉහළ ප්‍රගතියක්, උන්නතියක් ළඟා කරගැනීමට මූල්‍යමය සහයෝගය සහ බහුවිධ ආදායම් මාර්ග සකසා ගැනීම අවශ්‍ය බවත් ලෝක ක්‍රීඩා තලයේ ඉහළට මෙරට ගෙන යාමට ක්‍රීඩා සම්මේලන මූල්‍යමය වශයෙන් ස්වාධීන හා සවිමත් කිරීමටත්, ඒවා සවිබල ගැන්වීමටත් කැපවීමට සුදානම් බවත් ඔහු පැවැසීය.

මධ්‍යගත වූ ජාතික ඔලිම්පික් කමිටුවක් ලෙස සියලු සම්මේලන ඒකාබද්ධ කිරීම, ජාතික ඔලිම්පික් කමිටු ප්‍රධාන කාර්යාලය තුළ මෙරට සියලුම ක්‍රීඩා සම්මේලනවලට කාර්යාල සහ පරිපාලන පහසුකම් සැපයීම, ක්‍රීඩක, පරිපාලකයන් හා පුහුණුකරුවන් නඟා සිටුවීම තම අරමුණු අතර වන බවත් සුබ්‍රමනියම් මහතා කියා සිටියේය.

ජාත්‍යන්තර තරගාවලි ඉලක්ක කරමින් මලල ක්‍රීඩකයන්ට විදෙස් පුහුණුව, විදේශීය පුහුණුකරුවන්ගේ පුහුණුව ලබගැනීම, දේශීය පුහුණුකරුවන් සංචිත වර්ධනය කිරීමට ජාතික සම්මේලනය වලට සහය දීම තුළින් රටට කීර්තියක් අත්කරදීම, ක්‍රීඩාවේ වර්ධනයට බාධාවන කරුණු ඉවත්කිරීම, විනිවිද භාවයෙන් කටයුතු කිරීම තම සැලසුම් අතර වන බවද ඒ මහතා කියයි. 

නව අදහස දක්වන්න