සවිය අවියක් කරගත් සඳලංකාෙව් සමූපකාර සමිතිය | දිනමිණ

සවිය අවියක් කරගත් සඳලංකාෙව් සමූපකාර සමිතිය

සඳලංකා පොල් නිෂ්පාදන කර්මාන්ත සමුපකාර සමිතිය වැටකෙයාව- ගෝනවිල

වර්තමානයේ දී නිෂ්පාදන කර්මාන්ත ක්ෂේත්‍රයට ප්‍රමුඛස්ථානයක් හිමි වේ. ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල වගා කරන භෝග වර්ග තුළින් නවීන නිෂ්පාදන පිළියෙළ කිරීම නුතන ප්‍රවණතාවක් වී තිබේ. වැටකෙයියාව, ගෝනවිල සඳලංකා පොල් නිෂ්පාදන කර්මාන්ත සමුපකාර සමිතිය මඟින් ශ්‍රී ලංකාවේ නිෂ්පාදන ක්ෂේත්‍රයට ශක්තියක් වී තිබේ. පොල් ආශ්‍රිත නිෂ්පාදන ප්‍රමුඛ කර ගනිමින් වෙනත් නිෂ්පාදන කර්මාන්තයන්ට ද යොමුවෙමින් සමිතියේ සාමාජික සාමාජිකාවන්ගේ ජීවන තත්ත්වය ඉහළ මට්ටමකට ගෙන එමඟින් ගුණාත්මක නිෂ්පාදන පුළුල් කර නව රැකියා අවස්ථා උත්පාදනය කරමින් රටේ සංවර්ධනයට දායක වීම මේ සමුපකාර සමිතියේ දැක්ම වී තිබේ.

ශ්‍රී ලංකාව තුළ ආර්ථික සංවර්ධන ක්‍රියාදාමයට සමුපකාර ක්‍රමය තුළින් මහත් පිටිවහලක් කිරීමට හැකි බව ඔප්පු කළ සඳලංකාවේ ශ්‍රීධර වින්සන්ට් මහතා විසින් 1939 වර්ෂයේ දී තම ගමේ සාමාජිකයන් 13 දෙනකු ඒකරාශී කරගෙන ආරම්භ කරන ලද සඳලංකා සමුපකාර ව්‍යාපාරය 1960 දශකය වනවිට පවුල් 1687ක් නඩත්තු කිරීමට තරම් දැවැන්ත ව්‍යාපාරයක් ගොඩනඟන්නට සමත් වී ඇත.

1970 දශකය වන විට මේ දැවැන්ත ව්‍යාපාරය ව්‍යාපාරික අංශ 32 කින් සමන්විත වූ අතර, ඒ අතර සියලු පහසුකම් සහිත සමුපකාර අරෝග්‍යශාලාවක් විනෝදවීම සඳහා සිනමාහලක් ඉන්ධන පිරවුම්හලක්, මුද්‍රණ කටයුතු සඳහා මුද්‍රණාලයක් සහ ‍බලවේග රෙදි විවීමේ කර්මාන්ත ශාලාවක් රෙදි මුද්‍රණ අංශයක් සහ බතික් රෙදි අංශයක් දිසිඳි නිෂ්පාදනය කර අපනයන කිරීමේ කර්මාන්තශාලා 2 ක් කාර්මික ඉංජිනේරු අංශයක් යනාදී වශයෙන් සමාජීය අවශ්‍යතා සපුරාලිය හැකි සෑම අංශයක්ම සමුපකාර ක්‍රමය තුළින් ඉටු කිරීමට එතුමා ගත් වෙසෙහ මහන්සිය අපමණය.

*සඳලංකාව බිම්මල් වගා ව්‍යාපෘතිය මීට මාස 06 කට පමණ ඉහත දී ආරම්භ කර ඇත. දැනට අමෙරිකන් ඔයිස්ටර්, ඇබලෝනි, මාකදුර වයිට්, පිදුරු බිම්මල් වැනි බම්මල් වර්ග වගා කරමින් වෙළෙඳ පොළට නිකුත් කරනු ලබයි. ප්‍රෝටීන් බහුල ඖෂධීය ගුණයෙන් ඉහළ ආහාරයක් වන බිම්මල් සඳහා කිසිදු කෘෂි රසායනික ද්‍රව්‍යක් භාවිත නොකරන බවට සහතික වන මේ සමිතිය නව බිම්මල් වගා කරමින් අපනයනය දක්වාම පුළුල් කිරීමට ආපේක්ෂාවෙන් සිටින අතර, බිම්මල්වලින් අතුරු නිෂ්පාදන කර්මාන්තයන් (ක්ෂණික බිම්මල් කරිය, බිම්මල් සොසේජස්, බිම්මල් නූඩ්ල්ස්, බිම්මල් සුප්, බිම්මල් ඉඳි ආප්ප පිටි, බිම්මල් මෝජු සහ බිම්මල් ජුස් යනා දී නිෂ්පාදන ඉදිරිපත් කිරීමට ද කටයුතු කරනු ලබයි. තව ද ඖෂධීය ගුණයෙන් ඉතා ඉහළ වටිනාකමකින් යුතු ගැනඩෝමා නමැති බිම්මල් වර්ගය වගා කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරමින් සිටියි. මේ සඳහා මාකඳුර කෘෂිකර්ම පර්යේෂණ මධ්‍යස්ථානය ද සහාය දක්වනු ලබයි.

* සඳලංකාව පිරිසිදු පොල්තෙල් නිෂ්පාදන අංශයේ දී සමිතියේ සමාජික සමාජිකාවන්ගේ මෙන්ම බාහිර අලෙවිකරුවන්ගේ ද පොල් මිල දී ගෙන යන්ත්‍රානුසාරයෙන් නියමිත ප්‍රමිතීන්ට අනුව පොල් තෙල් නිෂ්පාදනය කරනු ලබයි. 200 ml,350 ml,500ml,750ml,1L,20 L ලෙස විවිධ ප්‍රමාණයෙන් සෞඛ්‍යාරක්ෂිතව ඇසුරුම් කරනු ලබන පොල්තෙල් වෙළෙඳ පොළට නිකුත් කරනු ලබයි.

*මේ සමුපකාර සමිතියට අලුතින්ම එක් වු තවත් එක් ව්‍යාපෘතියක් ලෙස කජු නිෂ්පාදන අංශය හැඳින්විය හැකිය. දැනට මේ අංශයේ ශ්‍රමිකයන් 06ක් පමණ සේවය කරන අතර, ඉදිරියේ දී නිෂ්පාදන ධාරිතාව වැඩි කිරීමට අපේක්ෂා කරන හෙයින් ශ්‍රමිකයන් ප්‍රමාණය ද වැඩි වනු ඇත.

කජු නිෂ්පාදන ක්‍රියාවලිය පියවර කීපයකින් යුක්තය. ඒවා නම් අමු කජු අවුවේ වේලීම.

වේලාගත් කජු නියමිත ප්‍රමාණයන්ගෙන් යන්ත්‍රානුසාරයෙන් කපා හැරීම, කපාගත් කජුවල පොත්ත ඉවත්කර කජු මද ගලවා ගැනීම, ගලවාගත් කජු මද සෙල්සියස් අංශක 60 උෂ්ණත්වයේ පැය 04ක් පමණ අවන් කිරීම, එසේ අවන් කරගත් කජු මදවල කුරුටු ඉවත් කිරීම, කුරුටු ඉවත් කළ කජු වර්ගීකරණය කිරීම (මද, පියලි, කැබලි) විවිධ ප්‍රමාණයන්ගෙන් ඇසුරුම් කර වෙළෙඳ පොළට යැවීම සිදු කරනු ලබයි.

දැනට කජු නිෂ්පාදන අංශයේ ඉහත ක්‍රියාවලිය සිදුවන අතර, ඉදරියේ දී කජු ආශ්‍රිතව විවිධ ආහාර වර්ග නිෂ්පාදනය කිරීමටත් කජු අගය වැඩි කළ නිෂ්පාදන ලෙස (Value added Products) වෙළෙඳ පොළට ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇත.

*මද පොල් නිෂ්පාදනය ද මේ සමුපකාර සමිතිය විසින් අලුතින් ආරම්භ කළ ව්‍යාපෘතියකි. දැනට මේ අංශයේ ශ්‍රමිකයන් 08ක් පමණ සේවය කරන අතර, ඉදිරියේ දී නිෂ්පාදන ධාරිතාව වැඩි කිරීමට අපේක්ෂා කරන හෙයින් ශ්‍රමිකයන් ප්‍රමාණය ද වැඩි වනු ඇත.

දින 21 පසු වූ පොල් ලෙලි ගැසීම, කැපුම්කරුවන් යොදා එම පොල්වල කටු ගැලවීම,

කටු ගලවන ලද පොල්වල කුරුටු රැහීම, රහින ලද පොල් මද පලා ජල භාජනවලට දැමීම, ජල භාජනවල ඇති මද පොල් අසුරා විකිණීම ආදිය මඳ පොල් ක්‍රියාවලියේ දී සිදු කරනු ලබයි.

*මේ සමුපකාර සමිතියේ ප්‍රධානම නිෂ්පාදනය ලෙස කොප්පරා භාවිතා කර පොල් තෙල් නිෂ්පාදනය සිදුකිරීමේ ව්‍යාපෘතිය දැක්විය හැක. දැනට මේ අංශයේ ශ්‍රමිකයන් 12ක් පමණ සේවය කරන අතර, ඉදිරියේ දී නිෂ්පාදන ධාරිතාව වැඩි කිරීමට අපේක්ෂා කරයි.

දින 21 පසු වු කොල තැවුණු ‍ලෙලි පොල් ලෙලි ගැසීම, ලෙලි ගැසූ පොල් (කටුපොල්) බිඳ මැස්සට යෙදීම, බිඳින ලද කටුපොල් ගිනි (පොල් කටු) දමා වේලා ගැනීම (ගිනි 03ක් අවම) පොල්වල කටු ගැලවීම, ගැලවූ කොප්පරා කටර් කිරීම, කටර් කරන ලද කොප්පරා කුඩු ඩ්‍රයරයේ වේලා ගැනීම, වේලාගත් කොප්පරා කුඩු තෙල් සිඳින යන්ත්‍රයට දමා සිඳ ගැනීම, සිඳින ලද පොල් ෆිල්ටරය මගින් පිරිසිදු කිරීම, ‍තෙල් ගබඩා කිරීම. (ටැංකි) තෙල් ඇසුරුම් කිරීම හා විකිණීම.

*පොල් ලෙලි චිප්ස් නිෂ්පාදන ව්‍යාපෘතිය ද මේ සමුපකාර සමිතියට අලුතින් එක් වූ තවත් එක් ව්‍යාපෘතියකි. පොල් ලෙලි චිප්ස් නිෂ්පාදන අංශයෙහි දැනට ශ්‍රමිකයන් 06ක් පමණ සේවය කරන අතර, ඉදිරියේ දී නිෂ්පාදන ධාරිතාව වැඩි කිරීමට අපේක්ෂා කරයි.

පොල් ලෙලි චිප්ස් නිෂ්පාදන ක්‍රියාවලියේ දී පොල් ලෙලි කුඩාවට ඉරා ගැනීම, ඉරාගත් ලෙලිවලට ජලය ඉසීම, ජලය ඉසින ලද පොල් ලෙලි කැපීම සඳහා යන්ත්‍රයට ඇතුළු කිරීම, යන්ත්‍රයට ඇතුළු කළ පොල් ලෙලි සිහින් තීරුවලට එහි සවිකළ පිහිතල මගින් කැපී යාම. (10mm, 7mm,5mm,13mm) (ඇණවුම් අනුව පිහිතල සකසා සිහින් කැබිලි අවශ්‍ය පරිදි කපාගත හැකිය) මෙලෙස කපාගත් ලෙලි කැබලි ස්වයංක්‍රීයව ක්‍රෂරය ( චිප්ස් කැබලි සෑදෙන) වෙත ගමන්කර ක්‍රෂරය තුළ සවිකර ඇති දැල මඟින් (10mm, 7mm,5mm,13mm) ආදී වශයෙන් දැල සකසාගත හැකිය. කැඩී වෙන් වී කන්වයරය ඔස්සේ ගමන්කර ඊට සවිකර ඇති රැයිසිය වෙත යොමුකර එමගින් ස්වයංක්‍රීයව පහතට යොමු කෙරේ.(10mm, 7mm,5mm,13mm) ආදී වශයෙන් දැල සකසාගත හැකිය, මෙසේ හලාගත් චිප්ස් කැබලි හිරු එළියේ 15% - 20% ප්‍රමාණයට වියළා ගැනීම, වියළාගත් පොල් ලෙලි කැබලි බෑග්වලට අසුරා කර්මාන්තශාලාවට යැවීම හෝ ගබඩා කිරීම.

*සැන්ඩ්‍රියානා විසිතුරු පැළ ව්‍යාපෘතිය ද මේ සමුපකාර සමිතියේ අලුතින් ආරම්භ කරන ලද තවත් එක් ව්‍යාපෘතියකි. දැනට මේ අංශයේ ශ්‍රමිකයන් 06ක් පමණ සේවය කරන අතර, ඉදිරියේදී පැළ ප්‍රමාණය වැඩි කිරීමට අපේක්ෂා කරයි.

නෙට් හවුස් එක සෑදීම, බිම සකස් කිරීම, ජල පහසුකම ලබා ගැනීම, විසිතුරු පැළ සිටුවීම.

දිනකට දෙවරක් ජලය දැමීම, සති 03කට වරක් පොහොර යෙදීම, කැට පොහොර යොදා දින 10කට පසු දියර පොහොර යෙදීම. මාස 06කින් පසුව අතු කැපීමට හැකිවීම යනා දී ක්‍රියාවන් සැන්ඩ්‍රියානා විසිතුරු පැළ ව්‍යාපෘතියේ දී සිදු කරනු ලබයි.

*කෘෂි භෝග වගා ව්‍යාපෘතිය සමිතිය විසින් ආරම්භ කරන ලද කාබනික පොහොර භාවිතයෙන් සිදුකරන ලද වගා ව්‍යාපෘතියකි. සමිතියේ වතු අංශයේ සිදුකරනු ලබන ‍මේ ව්‍යාපෘතිය තුළ ගම්මිරිස්, ගස්ලබු, මිරිස්, මස් මෑ, වම්බටු, අන්නාසි, කෙසෙල්, මඤ්ඤොක්කා ආදී වගාවන් සිදු කරනු ලබයි. සමිති සේවකයන්ට හා සාමාජිකයන් සඳහා සිදුකරනු ලබන ව්‍යාපෘතියකි.

*සහනසේවා වෙළෙඳ සැල සමිතියේ සේවකයන් හා ප්‍රදේශවාසීන් අරමුණු කර ගනිමින් ආරම්භ කරන ලද අතර මේ සහනසේවා වෙළෙඳ සැල තුළින් ඉතා සහන මිලට භාණ්ඩ හා සේවා සපයා ගැනීමට හැකියාව ඇත.

*පොල් සංවර්ධන ග්‍රාමීය බැංකුව සේවකයන්, සාමාජිකයන් අරමුණු කර ගනිමින් ආරම්භ කර ඇත. මේ පොල් සංවර්ධන ග්‍රාමීය බැංකුව තුළින් ඉතා අඩු පොලී ප්‍රතිශතයක් මත ප්‍රවර්ධන දිරි දීමනා ණය ලබාදීම, ක්ෂණික ණය ලබා දීම හා පොල් සාමාජිකයන් උදෙසා පොල් වගා කිරීම සඳහා අඩු පොලී ප්‍රතිශතයක් මත ණය ලබාදීම සිදුකරනු ලබයි.

*රජයේ අනුමත දැව ඉරුම් හල දිගු කාලයක සිට ආරම්භ කර ඇති ප්‍රදේශවාසීන්ගේ අවශ්‍යතාවන් සපුරා ගැනීම සඳහා ඉමහත් පිටු වහලක් සපයනු ලබයි. රජයේ අනුමත දැව ඉරුම් හලක් වන අතරම ඉතා අඩු මුදලකට වැඩි ප්‍රතිලාභයක් ලබා ගත හැකි අයුරින් මේ ඉරුම් හල ක්‍රියාත්මක වේ.

ශ්‍රී ලංකාවේ නිෂ්පාදන කර්මාන්තය පුළුල් කරමින් රැකියා උත්පාදනය ද වැඩි කර ශ්‍රී ලාංකීය ජනතාවගේ අනාගතය සුරක්ෂිත කිරීම මේ සඳලංකා පොල් නිෂ්පාදන කර්මාන්ත සමුපකාර සමිතියෙන් සිදු කරන කාර්යභාර්ය වේ. ස්වයංපෝෂිත ආර්ථිකයක් තුළින් ශ්‍රී ලාංකීය ජනතාවගේ හෙට ලොව එළිය කරන මේ සමුපකාර සමිතිය සැබවින්ම මුළු ශ්‍රී ලංකාවටම මහත් ආදර්ශයක් බව නම් කිව යුතුමය. 

 
මදාරා මුද­ලිගේ

නව අදහස දක්වන්න