මහ නගර-අධිවේගී මාර්ග ඉදිවී රටේ නව ආර්ථිකයක් හැදෙනවා | දිනමිණ

මහ නගර-අධිවේගී මාර්ග ඉදිවී රටේ නව ආර්ථිකයක් හැදෙනවා

* ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ කේන්ද්‍රස්ථානය බවට පත් වීමට මෙම නව මධ්‍යම අධිවේගී මාර්ගය විශාල සාධකයක් බවට පත් වෙනවා
* ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට අධිවේගී මාර්ගයක් ඉදි කිරීමේ කොන්ත්‍රාත් කටයුතු ශ්‍රී ලාංකික සමාගම් වෙත භාරදීමට අපට හැකි වුණා

කොළඹ වටේ මහ නගර අධිවේගී මාර්ග ඇති වූ පසු රටේ නව ආර්ථික රටාවක් බිහිවන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

අගමැතිවරයා එසේ ප්‍රකාශ කෙළේ පෙරේදා (16) මීරිගම ගල්දෙණිය අයි.සී.සී පරිශ්‍රයේ සහ කුරුණෑගල-ගැට්ටුවාන ප්‍රදේශවලදී ඉදිවන මධ්‍යම අධිවේගී මාර්ගයේ නිරීක්ෂණය සඳහා එක්වෙමිනි.

වැඩිදුරටත් අදහස් දැක්වූ අගමැතිවරයා මෙසේද පැවසිය.

මධ්‍යම අධිවේගී මාර්ගය ශ්‍රී ලංකාවට අලුත් ආර්ථිකයක් ඇති කරන තවත් එක් මාර්ගයක්.මහවැලි ව්‍යාපාරය හරහා කෘෂිකර්මාන්තයට අවශ්‍ය යටිතල පහසුකම් දියුණු කළා සේම මධ්‍යම අධිවේගී මාර්ගය හරහා රටේ සංචාරක සහ වානිජ ක්ෂේත්‍රයන්ට අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කරනවා. එය රටේ දියුණුවට විශාල රුකුලක් වෙනවා.

මධ්‍යම අධිවේගී මාර්ගය හරහා එය ගමන් කරන ප්‍රදේශවලට මෙන්ම සමස්ත රටට විශාල දියුණුවක් ලැබෙනවා. අවශ්‍ය යටිතල පහසුකම් දියුණුවීමක් සිදු වෙනවා. මේ නිසා මහනුවරට පැමිණෙන සංචාරකයන් ප්‍රමාණය වැඩි වෙනවා. ඒ වගේම නුවර සිට කඩවතටත්, කඩවත කොළඹ හරහා හම්බන්තොට දක්වා ඇති වන මාර්ගයත් හේතුවෙන් එම කලාපයේ විශාල දියුණුවක් ඇති කර ගත හැකියි. ඒ හරහා සංචාරක ක්ෂේත්‍රය, කර්මාන්ත ක්ෂේත්‍රය දියුණු කිරීමට අවශ්‍ය විශාල යටිතල පහසුකම් මෙම ප්‍රදේශවල ඇති වෙනවා.

මහනුවර නගරය නව සැලසුමක් යටතේ ඉදි කිරීම මේ වන විට සිදු කෙරෙමින් පවතිනවා. බෝගම්බර සංස්කෘතික, සංචාරක මධ්‍යස්ථානයක් බවට පත් කරනවා. එමෙන්ම මහනුවර ප්‍රදේශයේ නව වෙළෙඳ කලාපයක් ඉදි කිරීමට අවශ්‍ය ඉඩම් සොයාගැනීම මේ දිනවල සිදු කෙරෙනවා. මාවතගම ප්‍රදේශයේ තවත් නව වෙළෙඳ කලාපයක් ඉදිරි කිරීම සඳහා අවශ්‍ය ඉඩම් සොයා ගැනීම අප මේ වනවිට අවසන් කර තිබෙනවා. ඉංගිරිය, ඉරණවිල ප්‍රදේශවල වෙළෙඳ කලාපයන් සහ සංචාරක කලාපයන් සඳහා අවශ්‍ය ඉඩම් හඳුනා ගැනීම මේ වන විට සිදු කර අවසන්.

මධ්‍යම අධිවේගී මාර්ගය හරහා මහනුවර සිට වයඹ දක්වා විශාල දියුණුවක් ඇති වෙනවා. එමෙන්ම මෙම මධ්‍යම අධිවේගී මාර්ගය හරහා කඩවත ඇතුළු බස්නාහිර පළාත තුළත් විශාල දියුණුවක් ඉදිරියේ දී ඇති වීමට නියමිතයි. අනෙක් පසින් හම්බන්තොට ප්‍රදේශයේත් මෙවැනි විශාල දියුණුවක් ඇති කිරීමට අප කටයුතු කරනවා. 2015 වසරේදී යටිතල පහසුකම් දියුණු කිරීමට අවශ්‍ය සැලසුම් සකස් කිරීමෙන් පසුව අප මෙම මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කළා. ගාල්ල ප්‍රදේශයේ නව සංචාරක කලාප ඇති කරමින් කළුතර නව වෙළෙඳ කලාප ඇති කරමින් කොළඹ මහා නගර සංවර්ධන සැලැස්ම ඇතුළු අනෙකුත් සංවර්ධන කටයුතු අවසන් කළ විට ශ්‍රී ලංකාවට අලුත් ආර්ථිකයක් බිහි වෙනවා. මෙම සංවර්ධන වැඩ සටහන ත්‍රිකුණාමලය දක්වා ව්‍යාප්ත කිරීම අපේ ආණ්ඩුව බලාපොරොත්තුවයි.

මෙය කොළඹ සිට මහනුවර දක්වා ගමන් කරන තුන්වැනි මාර්ගයයි. සිංහල රජ කාලයේදී කොළඹ සිට රුවන්වැල්ල, බලන හරහා නුවරට ළඟා වුණා. වර්තමානයේ අප භාවිත කරන්නේ සුදු ජාතිකයන් ඉදි කළ මාර්ගයයි. දැන් මෙහි අධිවේගී මාර්ගයක් ලෙස ඉදිවන්නේ ශ්‍රී ලාංකිකයන් වන අප නුවර බලා ගමන් කිරීමට ඉදිකරන නව මාර්ගයයි. මෙම මාර්ගය කොළඹින් අවසන් වන්නේ නැහැ. අප ආණ්ඩුවක් ලෙස සැලසුම් සකස් කෙළේ මෙම මාර්ගය හම්බන්තොට දක්වාම ඉදිකරමින් හම්බන්තොට අවට සංවර්ධන සැලසුම් සකස් කරමින් එම ප්‍රදේශවල යටිතල පහසුකම් දියුණු කිරීමටයි. ගුවන් තොටුපොළ දෙකක්, වරායන් දෙකක්, වෙළෙඳ කලාප, සංචාරක කලාප සහ ලංකාවේ ප්‍රධාන නගර එකට යා කරන මෙම නව අධිවේගී මාර්ගය හේතුවෙන් අපේ රටට විශාල දියුණුවක් ළඟා කර ගත හැකි වෙනවා.

ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ කේන්ද්‍රස්ථානය බවට පත් වීමට මෙම නව මධ්‍යම අධිවේගී මාර්ගය විශාල සාධකයක් බවට පත් වෙනවා. මෙම මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු සම්බන්ධයෙන් රට තුළ බොහෝ කතා බහ ඇති වුණා. කෙසේ වුවත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් අපේ ආණ්ඩුව 2015 වසරේ ජුනි, ජූලි මාසවල මෙහි වැඩ කටයුතු ආරම්භ කළා. අද මම මෙහි පැමිණියේ එම මාර්ගයේ දෙවැනි අදියරේ ඉදිකිරීම් කටයුතු නිරීක්ෂණය කිරීමටයි.

මෙම දෙවැනි අදියරේ ඉදිකිරීම් කටයුතු භාර ගෙන තිබෙන්නේ ශ්‍රී ලාංකික සමාගම් බව විශේෂයෙන් පැවසිය යුතුයි. ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට අධිවේගී මාර්ගයක් ඉදි කිරීමේ කොන්ත්‍රාත් කටයුතු ශ්‍රී ලාංකික සමාගම් වෙත භාරදීමට අපට හැකි වුණා. මෙතෙක් කල් මෙවැනි විශාල ඉදිකිරීම් කටයුතු ශ්‍රී ලංකාව තුළ සිදු වුණේ චීනය හෝ ජපානය වැනි රටවල විශාල සමාගම් යටතේයි. නමුත් මෙහිදී මෙම සමාගම් 16 එකතු වී කණ්ඩායම් 4 කට බෙදී මෙම ඉදිකිරීම් කටයුතු භාරගෙන තිබෙනවා. එම නිසා විදේශ රටක ඉදි කිරීම් කටයුත්තක් භාර ගැනීමට අවශ්‍ය හැකියාව මෙම ශ්‍රී ලාංකික සමාගම් සතු බවට අපට සහතිකයක් දිය හැකියි. ඉදිකිරීම් අංශයෙන් ඉදිරියේදී අපේ රටට විදේශ විනිමය ගෙන ඒමට මෙම සමාගම්වලට හැකිවෙනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා.

මෙම නව අධිවේගී මාර්ගය ඉදිකිරීම හරහා පැය එකහමාරකින් පමණ මහනුවර සිට කොළඹට ළඟා විය හැකියි. තවත් සුළු කාලයක් තුළ කොළඹ සිට හම්බන්තොට දක්වාත් ගමන් කිරීමේ හැකියාව ලැබෙනවා. එදා ණය බරින් යට වී තිබූ අපේ රටේ ආර්ථිකය නඟාසිටුවමින් යටිතල පහසුකම් දියුණු කරමින් විශ්වාසයකින් යුතුව අනාගතය දෙස බැලීමට අපට මේ වන විට හැකියාව ලැබී තිබෙනවා.

මෙම අවස්ථාවන් සඳහා උසස් අධ්‍යාපන හා මහාමාර්ග ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල, ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය ඇමැති අශෝක අබේසිංහ, කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී. අලවතුවල, මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති නිහාල් සූරියආරච්චි යන මහත්වරුන් ප්‍රමුඛ පිරිසක් සහභාගී වී සිටියහ.

ගල්දෙණිය අයි.සී.සී පරිශ්‍රයේදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් පිළිබඳව සකස් කළ වාර්තා චිත්‍රපටයක්ද නැරඹූ අතර එම මාර්ගය පිළිබඳව සකස් කළ වාර්තාවක්ද නිලධාරීන් ‍එහිදී අගමැතිවරයාට ලබාදෙන ලදී.

මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ අධියර දෙක යටතේ මීරිගම සිට කුරුණෑගල දක්වා ඉදිකරන මාර්ගයේ සම්පූර්ණ දිග කිලෝමීටර් 39.29කි.මංතීරු සංඛ්‍යාව හතරකි. මංතීරුවක පළල මීටර් 3.6කි. කොන්ත්‍රාත් මුදල රුපියල් බිලියන 137කි. එම කොටසේ ඉදිකිරීම් 2019-08-13 දින අවසන් වීමට නියමිතය. මෙහි බෝක්කු සංඛ්‍යාව 125කි. පාලම් සංඛ්‍යාව 12කි. කණුමත ඉදිවන පාලම් 28කි. මෙහි මීරිගම, නාකලගමුව, දම්බොක්ක, කුරුණෑගල මෙම මීරිගම සිට කුරුණැගල දක්වා කොටසේ අන්තර් හුවමාරු වේ.

මෙහිදී අත්පත් කර ගැනීමට නියමිත ඉඩම් කැබලි ප්‍රමාණය 3827(පෞද්ගලික) සහ 783(රජය) වේ. අත්කරගෙන ඇති ඉඩම් කැබලි ප්‍රමාණය 2746කි. මේවා සඳහා ඇස්තමේන්තු ගත වන්දි මුදල රුපියල් බිලියන 6.5කි.

උපාලි කරුණාරත්න සහ කුරුණෑගල අතිෙර්ක
ඡායාරූප- හිරන්ත ගුණතිලක

නව අදහස දක්වන්න