මැතිව්ස්ගේ නායකත්වයේ දෙවැනි ගමන සිම්බාබ්වේට එරෙහිව අද ඩැකා හිදී ඇරැඹේ | දිනමිණ

මැතිව්ස්ගේ නායකත්වයේ දෙවැනි ගමන සිම්බාබ්වේට එරෙහිව අද ඩැකා හිදී ඇරැඹේ

ෆවුස් මොහොමඩ්

 

අපකීර්තිමත් එක්දින තරගාවලි පරාජයක් උරුම කර දී සිය තනතුර අහිමි කළ සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව ඇන්ජෙලෝ මැතිව්ස් ඔහුගේ නායකත්වයේ දෙවැනි ගමන අද (17) බංග්ලාදේශයේ ඩැකා නුවරදී ආරම්භ කරයි. මේ තරගය පැවැත්වෙන්නේ සත්කාරක බංග්ලාදේශය, ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ කණ්ඩායම් තරග වදින තුන්කොන් එක්දින තරගාවලියේ දෙවැනි තරගයට ලෙසටය. නැවත නායකත්වයට පත්වීමෙන් පසුව මැතිව්ස් හමුවේ ඇත්තේ මීට මාස 6කට පෙර ශ්‍රී ලංකා සංචාරයේදී තරග 5කින් සමන්විත එක්දින තරගාවලියෙන් තරග 3-2ක ඓතිහාසික ජයක් වාර්තා කිරීමේ වාඩුව පිරිමසා ගැනීමේ අභියෝගයයි.

මැතිව්ස් නායකත්වයෙන් ඉවත්වීමෙන් පසුව ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම වරින් වර මෙහෙයවීමේ වගකීම ක්‍රීඩකයන් කිහිපදෙනකු අතර හුවමාරු වූවත් කණ්ඩායම නැවත ජයග්‍රාහී මාවතට යොමු කිරීමට ඒ කිසිදු ක්‍රීඩකයකු සමත්වූයේ නැත. නැවත නායකත්වයේ වගකීම බාර ගනිමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙනයාමට ඉදිරිපත්වූ මැතිව්ස් කණ්ඩායම මෙහෙයවන පළමු තරගයත් ඔහුට නායකත්වය හැර යන්නට හේතුවූ සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව පැවැත්වීම කැපී පෙනේ.

එමෙන්ම අද තරගය චන්දික හතුරුසිංහගේ පුහුණුකාරීත්වය යටතේ ශ්‍රී ලංකා පිල සහභාගි වන පළමු තරගය ද වෙයි. මීට පෙර බංග්ලාදේශ කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කළ හතුරුසිංහ බංග්ලාදේශ භූමියේදීම ශ්‍රි ලංකා පිලේ පුහුණුකරු ලෙස පළමු තරගයට එක්වීම ද විශේෂත්වයකි.

ශ්‍රී ලංකා කණ්ඩායමට දියුණුව කරා යාමට තවත් බොහෝ දේ අවශ්‍ය බව මේ සංචාරයේ පැවැති පළමු මාධ්‍ය හමුවේදී හතුරුසිංහ කියා සිටියේය. එසේ වුවත් නිතරම අභියෝග බාර ගැනිමට කැමැත්තෙන් සිටින බැවින් ශ්‍රී ලංකා පිල යළි සාර්ථකත්වය කරා රැගෙන යාමේ හැකිවනු ඇතැයි ඔහු විශ්වාසය පළ කළේය.

වඩාත් විශ්වාසනියත්වයෙන් යුතුව මේ තරගාවලියට එක්වි සිටින ශ්‍රී ලංකා පිල පළමු තරගය ජයග්‍රහණයෙන් නිමා කරගැනිමේ බලාපොරොත්තුවෙන් පසුවෙයි. සිම්බාබ්වේ පිලට එරෙහිව අවසන් වරට ක්‍රීඩා කළ කණ්ඩායමේ ක්‍රීඩකයන් රැසක්ම ඇතුළත්ව සිටින බැවින් අද තරගයේ දී සිය අරමුණ කරා යැමේ වැඩි වාසියක් ශ්‍රී ලංකා පිල සතුය.

අනිත් අතට තරගාවලියේ පළමු තරගයෙන් සත්කාරක බංග්ලාදේශය හමුවේ කඩුලු 8කින් පරාජයට පත්වූ සිම්බාබ්වේ පිල අද තරගයට එක්වන්නේ වැඩි පීඩනයකින් යුතුවය. එම තරගයේදී පළමුව පන්දුවට පහරදුන් සිම්බාබ්වේ පිල ලකුණු 170ට දැවීගියේය. එම තරගයේදී සිකන්දර් රාසාගේ අර්ධ ශතකය හැරුණු විට සෙසු පිතිකරුවන්ට ලකුණු අතරට පැමිණිමට නොහැකිවිය.

ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ පිල අතර මෙතෙක් පැවැති එක්දින තරග 55න් තරග 43ක්ම ජයගැනිමට සමත්වූයේ ශ්‍රී ලංකාවය. සිම්බාබ්වේ පිල ජයගත් තරග සංඛ්‍යාව 10කි. ඉතිරි තරග දෙකම නිමාවූයේ විසඳුමකින් තොරවය.

ශ්‍රී ලංකා එක්දින සංචිතය - ඇන්ජෙලෝ මැතිව්ස් (නායක), උපුල් තරංග, ධනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස්, දිනේෂ් චන්දිමාල්, කුසල් ජනිත් පෙරේරා, තිසර පෙරේරා, අසේල ගුණරත්න, නිරෝෂන් දික්වැල්ල, සුරංග ලක්මාල්, නුවන් ප්‍රදීප්, දුෂ්මන්ත චමීර, ශෙහාන් මධුසංඛ, අකිල ධනංජය, ලක්ෂාන් සඳකැන්, වනිඳු හසරංග

සිම්බාබ්වේ එක්දින සංචිතය - ග්‍රැහැම් ක්‍රීමර් (නායක), ටෙන්ඩායි චටාරා, ටෙන්ඩායි චිසෝරෝ, ක්‍රේග් අර්වින්, කයිලි ජාවිස්, හැමිල්ටන් මැසකඩ්සා, බ්‍රෙන්ඩන් මවුටා, සොලමන් මිරේ, පීටර් මුවර්, ක්‍රිස් මොෆු, රයන් මරේ, බ්ලෙසින් මුසර්බානි, සිකන්දර් රාසා, බ්‍රෙන්ඩන් ටේලර්, මැල්කම් වොලර්

 

 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...