දූෂණ විරෝ­ධය දේශ­පා­ලන සටන් පාඨ­ය­කින් ඔබ්බට... | දිනමිණ

දූෂණ විරෝ­ධය දේශ­පා­ලන සටන් පාඨ­ය­කින් ඔබ්බට...

කල් ඇදි ඇදී තිබුණු ප්‍රාදේශීය සභා ඡන්දෙට දින නියම විමත් එක්ක නැවතත දූෂණ විරෝධය සමාජ කතිකාවේ ප්‍රධාන මාතෘකාව බවට පත් වී තිබෙනවා. ශ්‍රී ලංකාවේ පහුගිය මැතිවරණ දිහා ආපසු හැරී බලන විට පෙනී යන කාරණයක් තමා දූෂණ විරෝධය ඒ හැම මැතිවරණයකදි වගේම දේශපාලන ව්‍යාපාරවල තීරණාත්මක සාධකයක් වූ බව.

පහුගිය දශක තුන හතරක කාලය පුරාම ලාංකික ඡනදදායකයා ආණ්ඩු මාරු කර තිබෙන්නේ දූෂණය හා භීෂණය සමාජයෙන් මුලින් උපුටා දැමිමේ චේතනාවෙන් බව පෙනී යනවා. ඒත් ජනතාවගේ මේ පැතුම් මල්පල ගැන්වී නැති බවයි නැවතත් එම සටන් පාඨයම මෙවර මැතිවරණ ව්‍යාපාරයේ ප්‍රධාන මාතෘකාව බවට පත්වීමෙන් පෙනී යන්නේ.

දැන් රටේ දේශපාලන විචාරකයන්ගේ අවධානය යොමු වී තිබෙන්නේ තරග වදින හැම පක්ෂයක්ම වගේ පෙරට දමා තිබෙන මේ දූෂණ විරෝධි සටන් පාඨයට ජනතාව මෙවර කෙසේ ප්‍රතිචාර දක්වයිද කියායි. ඇතැම් විචාරකයන් නම් පවසන්නේ මේ සටන් පාඨය දැන් යල් පැන ගිහින් කියලයි. මෙයට තව දුරටත් ජනතාව ආකර්ෂණය කර ගැනීමට හැකියාවක් නැති බවටයි ඔවුන් තර්ක කරන්නේ.

දූෂණ විරෝධි සටනක් මගින් අසල්වැසි ඉන්දියාවේ ජනතා ව්‍යාපාරයක් ලද අත්දැකීම් පිළිබඳ අගනා විග්‍රහයක් පසුගිය සතියේ රාවය පුවත් පතේ පළ වී තිබුණා. මහාචාර්ය ජයදේව උයන්ගොඩ ලියා තිබූ ඒ ලිපිය වර්තමානයේ අපි මුහුණ දි සිටින දූෂණ විරෝධි සටන මුවහත් කරගැනීමට හොඳ මඟ පෙන්වීමක් කරනවා කියා මට හිතෙනවා. ඉන්දියාවේ දිල්ලි නගරය කේන්ද්‍ර කරගෙන බිහි වූ මේ ජනතා ව්‍යාපාරයට නායකත්වය දුන්නේ ගාන්ධිවාදියකු වන අන්නා හසාරේ තුමා. පසුව ඉන්දියාවේ තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ ව්‍යාපාරයේ නායකයා වන අරවින්ද් කේජිරිවාල්ද මෙයට හවුල් වුණා. අන්තිමට මේ ව්‍යාපාරය දෙකඩ වුණේ අරවින්ද් වෙනම දේශපාලන පක්ෂයක් හදාගෙන දිල්ලි නුවර උප ප්‍රාන්ත මැතිවරණයක් ජයග්‍රහණය කිරීමත් සමඟයි. එහෙත් මේවන විට අරවින්ද්ගේ අවාමි අද්මි පාටි හෙවත් ‘පොඩි මිනිහාගේ පක්ෂයද’ දුර්වල වෙමින් පවතින බවයි ඒ ලිපියෙන් කියවෙන්නේ. ඊට හේතුව බීජේපී වගේ ජාතිවාදි පක්ෂ ජාතිවාදි හැඟීම් අවුස්සමින් ජනතාවගේ අවධානය වෙන දිසාවකට යොමු කරන්න සමත් වී සිටීමයි.

සමාජ දේහයේ ඔඩු ගොස් තිබෙන දූෂණය වැනි පිළිකා, අපරාධ නීතිය බඳු අඬුබඬු වලින් පමණක් පාලනය කරන්න බැරි බව මහාචාර්ය උයන්ගොඩ පෙන්වා දෙනවා. මොකද එය දේශපාලන යන්ත්‍රය වගේම නිලධාරි පර්ෂද, ජනමාධ්‍ය ඇතුළු සමස්ත සමාජයම වෙලාගත් බූවල්ලකු බවට පත් වී තිබෙන නිසයි.

ඒ නිසා මහාචාර්ය ජයදේව යෝජනා කරන්නේ මේ සඳහා විකල්ප ක්‍රියාමාර්ගවලට සමාජය ප්‍රවේශ විය යුතුය කියායි. ඒ සඳහා ඔහු යෝජනා කරන එක් විකල්පයක් වනුයේ ‘සත්‍ය සෙවීමේ කොමිෂන් සභා’ මොඩලයේ වැඩපිළිවෙළක් යටතේ දේශපාලනඥයාගේ සිට අවසන් සිවිල් පුරවැසියා දක්වා වු සියලු දෙනාම ප්‍රසිද්ධියේ තමන් කළ වැරදි මින් මත්තට නොකරන බවට ශපථ කිරිමේ ව්‍යාපාරයක් ඇරඹිම සුදුසු බවයි. මෙය මනෝරාජික අදහසක් සේ ඇතමකුට පෙනෙනු ඇතැයි කියා මහාචාර්යවරයාම විචිකිච්ඡාවක්ද පළ කර තිබෙනවා. කෙසේ නමුත් එවැනි විකල්ප අදහසක් දූෂණ විරෝධී සමාජ කතිකාව පොහොසත් කිරීමට කිසියම් හෝ දායකත්වයක් සපයන බව අපි පිළිගත යුතුයි.

දූෂණ විරෝධී හඬ මැතිවරණය නිමා වීමත් සමඟ යළිත් යටපත් විමට ඉඩ නොදීම අවංක දූෂණ විරෝධීන්ගේ මුලික කොන්දේසිය විය යුතුය කියන අදහස මේ සටහනේදී මම විශේෂයෙන් අවධාරණය කරන්න කැමතියි. අවස්ථාවාදී දේශපාලනඥයන් විසින් හැමදාමත් කරනු ලබන පරිදි මෙවරද බොරු දූෂණ විරෝධය තම මඩිය තර කර ගැනීමේ කෙමනක් බවට පමණක් පත් කර ගන්නවා සිකුරුයි. ඉන්දියාවේ අන්නා හසාරේ තුමා ඇරඹූ ඒ යහපත් ව්‍යාපාරය අද දුබල වී තිබෙන්නේ දේශපාලන අරමුණු සඳහා එය වැරදි විදිහට යොදා ගැනීම නිසාද කියන ප්‍රශ්නය අද දේශපාලන විචාරකයන්ගේ විවාදයට ලක් වී තිබෙනවා.

එසේ නම් එයිනුත් අපට පාඩමක් ඉගෙන ගන්න තිබෙන බව පැහැදිලියි. ඒ දූෂණ විරෝධය හුදෙක් මැතිවරණ සටන් පාඨවලට හා නීති රෙගුලාසිවලට කොටු කර තිබෙනතාක් කල් එය යථාර්ථයක් බවට පත්වන්නේ නැත කියන පාඩමයි.

දේශපාලන දැක්මක්ද ඇතිව මැතිවරණ වේදිකාවෙන් ඔබ්බට ගිය ශක්තිමත් දූෂණ විරෝධී සමාජ ව්‍යාපාරයක් ගොඩනගා ගැනීමට අද මතු වී තිබෙන මේ සංවාදය නිවැරදි විදිහට කළමනාකරණය කරගැනිම දැනටමත් මේ කතිකාවට ප්‍රවේශ වී සිටින විද්වතුන් ප්‍රමුඛ ප්‍රබුද්ධ පුරවැසියන්ට පැවරෙන සමාජ වගකීමක් බව අවසන් වශයෙන් කියන්න කැමතියි.

කමල් පෙරේරා

නව අදහස දක්වන්න