මෙන්න මෙතන මාරකයක් | දිනමිණ

මෙන්න මෙතන මාරකයක්

 මෝදරත් හාලිඇළත් අතර පිහිටි උඩුවර දුම්රිය ස්ථානය අසලින් බදුල්ල-කොළඹ ප්‍රධාන මාර්ගයේ 6 කණුවේ සිට රොසට් වතුයාය දක්වා දිවෙන පාරේ දුම්රිය හරස් මාර්ග කොටස නීත්‍යානුකූලව සකස්කර නොදීම නිසා දැඩි අනතුරුදායක තත්වයක් මතුව පවතී.

මෙම හරස් මාර්ගය ලබා ගැනීම සඳහා ඒ අවට ගම්මාන 15 ක පමණ ජනතාව වසර 15 කටත් අධික කාලයක සිට නොගත් උත්සාහයක් නැත. නොගිය තැනක් නැත. ලිපි යොමු නොකළ තැනක් නැත. එහෙත් දුම්රිය බලධාරීන් නිහඬය. ප්‍රවාහන ඇමති වරයාගේ නියෝගවලට පවා ඔවුන් ප්‍රතිචාර නොදක්වයි. තත්වය බරපතළ වන්නේ මින් වසර 15 කට පමණ පෙර මේ සඳහා දුම්රිය ඉංජිනේරුවන් විසින්ම තක්සේරු කොට, මැණුම් කටයුතු සිදුකොට ගම්වාසීන්ගෙන් රුපියල් 51000 ක මුදලක් දුම්රිය දෙපාර්තමේන්තුව අය කරගෙන තිබීම හේතුවෙනි. එම රිසිට් පත අදටත් උඩුවර පුරාණ රජමහා විහාරාධිපති, හාලිඇළ ජාතික පාසලේ ආචාර්ය, කැටවල බුද්ධසිරි හිමියන් ළඟ සුරක්ෂිතව ඇත.

උඩුවර දුම්රිය හරස් මාර්ගය ලබාදීම දිගින් දිගටම ප්‍රමාදවීම නොරිස්සූ අවට ගම්මාන ගණනාවක ජනතාව එක්වී කරන ලද උද්ඝෝෂණ, හර්තාල්, විරෝධතාවල ප්‍රතිඵලයක් ලෙස මින් වසර කිහිපයකට පෙර ගිවිසුමකට එළඹුණේ රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතාගේ මැදිහත්වීම නිසාය. එහි පාර්ශ්වකරුවන් වූයේ දුම්රිය දෙපාර්තමේන්තුව, හාලිඇළ ප්‍රාදේශීය සභාව හා උඩුවර පුරාණ විහාරස්ථ දායක සභාවයි. එම ගිවිසුම් ප්‍රකාරව හාලිඇළ ප්‍රාදේශීය සභාව ආරක්ෂිත ගේට්ටු සවි කළ යුතුය. ඊට අමතරව මුරකරුවන් දෙදෙනෙකු පත්කළ යුතුය. මුරකරුවන් සැපයීම දායක සභාව සතු වගකීමකි. දුම්රිය දෙපාර්තමේන්තුවට පැවැරී තිබුණේ හරස් මඟ ඉදිකිරීම් සිදු කිරීමය. මේ වනවිට ආරක්ෂිත ගේට්ටු සවිකර, මුරකරුවන් ද සූදානම්කර තබා ඇතත් දෙපාර්තමේන්තු වගකීම් පැහැර හැර ඇත්තේ ගිවිසුමේ කොන්දේසි කඩකරමිනි.

දැන් ජීවිත අවදානම වඩාත් බරපතළ වී තිබේ. හේතුව ගේට්ටු සවිකර ඇතත් ඒවා ක්‍රියාත්මක නොවීම නිසාය. පවතින තත්වය සම්බන්ධයෙන් අවබෝධයක්, දැනුමත් නොමැති ඈත දුර සිට පැමිණෙන වාහන රියදුරන් ගේට්ටු ඇර තිබීම නිසා සැකක්, බියක් නැතිව වාහනය ධාවනය කරයි. නමුත් දෙපසම වංගු සහිත දුම්රිය මාර්ගයකි. ආසන්නයටම පැමිණෙන තෙක් දුම්රිය නොපෙනේ. මෙම භයංකර තත්වය සම්බන්ධයෙන් හොඳාකාරවම දන්නා දුම්රිය බලධාරීන් නොඇසූ කන්ව ගොළුවන්, බිහිරන් සේ මුනිවත රැකීම ජුගුප්සාජනකය.

ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ නියෝගය පරිදි දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා විසින් නානුඔය දිස්ත්‍රික් ඉංජිනේරු ඩී.කේ.එල්.පී. කුමාර මහතා වෙත අවශ්‍ය උපදෙස් ලබාදී ඇති බව වාර්තා වේ.

මින් වසර 15 කට පමණ පෙර දුම්රිය බලධාරීන්ගේ ඉල්ලීම පරිදි ඇස්තමේන්තු කරන ලද මුදල වන රුපියල් 51000 ක මුදල දුම්රිය දෙපාර්තමේන්තුවට දුන්නේ මෙම මාර්ගය භාවිතයට ගන්නා සියලු දෙනාගෙන් එකතු කරලා යැයි කැටවල බුද්ධසිරි හිමියෝ පවසති.

මේ අතර මුදල් අයකර මාර්ගය ලබා නොදීමට එරෙහිව මානව හිමිකම් කොමිසමට හා අධිකරණයට යාමට උඩුවර තරුණ සංවිධානය කටයුතු සංවිධානය කරමින් සිටින බවද වාර්තා වේ.

ඇමති නිමල් සිරිපාල ද සිල්වා, ඇමති ඩිලාන් පෙරේරා, මහ ඇමති චාමර සම්පත් දසනායක, ඌව පළාත් සභා මන්ත්‍රී ජයන්ත කන්නන්ගර යන මැති ඇමතිවරුන් මෙම මාර්ගය ජනතාවට ලබාදීම සඳහා දැඩි වෙහෙසක් ගන්නා බවද කැටවල බුද්ධසිරි හිමියෝ පැවසූහ.

කෙසේ වෙතත් ප්‍රවාහන ඇමැතිවරයා ද ජීවත්වන හාලිඇළ කොට්ඨාසයේ පවතින මෙම මාර්ග අර්බුදය විසඳීමට පියවර නොගැනීම සම්බන්ධයෙන් උඩුවර ගම්වාසීහු දුම්රිය දෙපාර්තමේන්තුවට සිය බලවත් විරෝධය හා අප්‍රසාදය පළකර සිටිති.

සටහන සහ ඡායාරූපය
බණ්ඩාරවෙල සමූහ ආනන්ද හපුගොඩ

නව අදහස දක්වන්න