ජාතික කාන්තා මැරතන් වාර්තාව හුස්ටන් තරගයේදී හිරුණී බිඳ දමයි | දිනමිණ

ජාතික කාන්තා මැරතන් වාර්තාව හුස්ටන් තරගයේදී හිරුණී බිඳ දමයි

 අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ පෙරේදා පැවැති හුස්ටන් මැරතන් තරගය පැය දෙකකුත්, මිනිත්තු 36ක් සහ තත්පර 35කින් නිමා කරමින් නව ශ්‍රී ලංකා වාර්තාවක් බිහි කිරීමට හිරුණි විජේරත්න සමත්වූවාය. ඇය විසින් බිඳ දමනු ලැබුවේ වසර 2015 හොංකොං මැරතන් තරගයේදී නිලූකා රාජසේකර පැය දෙකකුත්, මිනිත්තු 40ක් සහ තත්පර 07කින් තරගය නිමා කර පිහිටුවූ ශ්‍රී ලංකා වාර්තාවය. මේ වාර්තාවත් සමග මේ වසරේ ඔස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්ට් නුවර පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලබාගැනීමට හිරුණි සමත්වූවාය.

අමෙරිකාවේ පදිංචි වී සිටින හිරුණි විජේරත්න හුස්ටන් මැරතන් තරගයේ කාන්තා ඉසව්ව 8 වැනි ස්ථානයෙන් නිමා කළ අතර එහිදී ඇය සිය හොඳම කාලය මිනිත්තු 7කින් අලුත් කරගැනීමට ද සමත්වූවාය. මේ වාර්තාවත් සමග ඇය ශ්‍රී ලංකා මැරතන් ඉතිහාසයේ වාර්තා 4කට හිමිකම් කීමට ද සමත්වී සිටී. ජාතික මැරතන් කාන්තා වාර්තාපොතේ කිලෝමීටර් 10, කිලෝමීටර් 15 සහ අර්ධ මැරතන් තරග වාර්තාවලට හිමිකම් කියනු ලබන්නේ ද හිරුණි විසිනි.

හුස්ටන් මැරතන් තරගයේ කාන්තා හා පිරිමි දෙඅංශයම ජයගැනීමට ඉතියෝපියාව සමත්විය. පිරිමි තරගය පැය දෙකකුත්, මිනිත්තු 8ක් සහ තත්පර 30කින් නිමා කළ බාසු වෝර්කු ජයග්‍රහණය අත්කර ගත් අතර පැය දෙකකුත්, මිනිත්තු 24ක් සහ තත්පර 51කින් කාන්තා තරගය නිමාකළ බිරුක්ටායිට් ඩිගේෆා කාන්තා තරගය ජයගත්තාය.

-ෆවුස් මොහොමඩ්

නව අදහස දක්වන්න