පරිසරයට ආදරය කරන්න දරුවන්ට උගන්වන්න | දිනමිණ

පරිසරයට ආදරය කරන්න දරුවන්ට උගන්වන්න

කතෝලික සභාවේ ආරම්භක යාච්ඤාවට පෙරාතුව නිශ්ශබ්දතාව රැකීම කිතුනුවන් වෙනුවෙන් හා ලෝකයේ ඉරණම වෙනුවෙන් දෙවියන් වහන්සේට ප්‍රශංසා කිරීමට අවස්ථාවක් බව ෆ්රැන්සිස් පාප් වහන්සේ පැවසූහ.

" මෙම කෙටි නිශ්ශබ්දතාව නිරීක්ෂණය කිරීම හා ඉක්මන් කිරීම කළ යුතු නැත" යි එතුමා පැවසුවේ පූජකවරුන් සඳහාය. මෙම නිශ්ශබ්දතාවයෙන් තොරව, ආත්මය පිළිබිඹු කිරීම නොසලකා හැරීමේ අවදානමක සිටින බව පාප් වහන්සේ පූජකවරුන්ට අවධානය කළහ. "මෙම නිශ්ශබ්දතාව වචන නොමැති කාල පරාසයක්ම පමණක් නොව, අපගේ සහ අනෙක් අයගේ හදවතේ, ශුද්ධාත්මයාණන් වහන්සේගේ සහ අනෙක් අයගේ හඬ ඇසීමේ අවස්ථාවයි"

' ඔබගේ බෞතීස්ම දිනය ඔබ නොදන්නවා නම්, ඔබගේ දෙමාපියන්ගෙන්, ආච්චි-සීයාගෙන් හෝ ඥාන මව් පියන්ගෙන් අසා දැනගන්න. මන්ද එය අප නිරන්තරයෙන් මතක තබා ගත යුතු පව් සමාවේ සහ වරප්‍රසාදයේ දිනයයි' බෞතීස්ම (ප්‍රසාද ස්නාපන) දිනය සිහිපත් කිරීමේ වැදගත්කම පෙන්වා දෙමින් ෆ්රැන්සිස් පාප් වහන්සේ ප්‍රකාශ කළහ.

ප්‍රසාද ස්නාපනය නිසා ක්‍රිස්තුන් වහන්සේ නම් සළුව පැලැඳි නව මැවිල්ලක් බවට පත්වෙනවා පමණක් නොව අපට හිරිහැර කරන්නන්ට සහ රිදවන්නන්ට සමාව දී ඔවුන්ට ආදරය කරන්නට ද මේ මගින් බලය ලැබෙන බව ද එතුමා පැවසූහ. එසේම ජේසු සමිඳුන්ගේ මුහුණ හඳුනා ගැනීමට එයින් වරප්‍රසාද ලැබෙන බව පාප් වහන්සේ සඳහන් කළහ. පාප් වහන්සේ මෙසේ ප්‍රකාශ කළේ තුන්කාල ආරාධනා මරිය යැදුමට එක් වෙමිනි.

කතෝලික සභාව ලෝක සාම දිනය ලෙස සමරණ ජනවාරි පළවැනි දා වෙනුවෙන් ෆ්රැන්සිස් පාප් වහන්සේ අපූරු තැපැල් පතක් බෙදා හැරීමට කටයුතු කළහ. මෙම තැපැල් පතේ මුද්‍රණය කර ඇත්තේ 2 වන ලෝක මහ යුද්ධය අවසානයේ ජපානයේ නාගසාකි නුවරට පරමාණු බෝම්බය හෙළීමෙන් පසුව ගන්නා ලදුව ලොව පුරා ප්‍රසිද්ධියට පත්වූ සේයාරුවකි. මෙම විස්තරය කෙටියන් සටහන් කරන පාප් වහන්සේ එහි සිය අත්සන් තබා තිබේ.

පරමාණු බෝම්බයෙන් ගිනිගෙන දැවී කාල වර්ණ වූ පොලොව මත දස හැවිරිදි දරුවෙක්, පරමාණු බෝම්බයෙන් මිය ගිය ඔහුගේ සහෝදරයා‍ ගේ මළ සිරුර සිය කරේ එල්ලා ගෙන ආදාහනය කිරීමට ගෙන යන අයුරු එම ඡායාරූපයෙන් දැක්වෙයි. පසුබිමින් බෝම්බයේ කාල වර්ණ දුමාරය දක්නට තිබේ.

ඉතාලියේ ප්‍රාථමික ගුරු සංගමය වතිකානයේ දී ෆ්රැන්සිස් පාප් වහන්සේ මුණ ගැසීමේ අවස්ථාව හිමි කර ගත්තේය. එහි දී පරිසරයට සහ අනෙක් අයට ප්‍රියජනකව සහ ප්‍රයෝජනවත් ලෙස ජීවත් වීමට කුඩා දරුවන්ට ඉගැන්වීමේ වැදගත්කම එතුමාණෝ විසින් අවධාරණය කළහ. සංස්කෘතිය නිර්මාණය කිරීම ප්‍රවර්ධනය කරන ලෙස පාප් වහන්සේ එම ගුරුවරුන් හමුවේ පැවැසූහ. එසේම විවෘතව ගෞරවණීයව අනෙකා දෙස බලන්නට දරුවන්ට මග පෙන්වන ලෙස ද පාසල, පවුල සහ රජය අතර අධ්‍යාපන සන්ධාන ගත කිරීමට කටයුතු නරන ලෙස ඔවුන් ගෙන් ඉල්ලා සිටියහ. පොත පතට ඔවුන් ගේ අධ්‍යාපනය සීමා නොකරන ලෙසත් පරිසරය හා සමාජය පිළිබඳ අත්දැකීම් බෙදා හදා ගන්නා ලෙසත් පැවසූ පාප් වහන්සේ සාමකාමී හා තෘප්තිමත් ජීවන රටාවකට මග පෙන්වීම ප්‍රාථමික ගුරු සේවයේ වගකීම බව පැවසූහ.

මේ අතර ෆ්රැන්සිස් පාප් වහන්සේ ගේ නව වසරේ පළමු සංචාරය අදින් (15) ඇරඹේ. ඒ චිලී සහ පේරු රාජ්‍යයන් වෙතය. නිකුත් කරන ලද නිවේදනයට අනුව එම සංචාරය ජනවාරි 22 වැනිදා නිම කිරීමට නියමිත ය.

මෙතෙක් වතිකානයේ ප්‍රදර්ශනය කළ සර්කස් සංදර්ශන සඳහා නිකුත් කළ ප්‍රවේශ පත්‍ර වලින් එක් වූ මුදල් වතිකානය වෙත ලබා දීමටත් ඒ හරහා දුගී දුප්පතුන්ට උපකාර කිරීමටත් හැකි වී ඇති බව ෆ්රැන්සිස් පාප් වහන්සේ ගේ පුණ්‍යායතනය නිවේදනය කරයි. එමගින් නිවාස අහිමි වූවන්, දිළිඳු සර්කස්කරුවන්, සරණාගතයින් සහ බන්ධනාගාර ගත වූවන් 2,100 කට ප්‍රතිලාභ හිමි වනු ඇත.

ක්‍රිසන්ති විතාරණ

නව අදහස දක්වන්න