ධනංජය-කමිඳු ශ්‍රී ලංකා යොවුන් පිල දිනවති | දිනමිණ

ධනංජය-කමිඳු ශ්‍රී ලංකා යොවුන් පිල දිනවති

ධනංජය ලක්ෂාන් හා නායක කමිඳු මෙන්ඩිස්ගේ විශිෂ්ට පිති හරඹයන් හේතුවෙන් නවසීලන්තයේ පැවැත්වෙන අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගිවූ පළමු තරගයෙන් අයර්ලන්තයට එරෙහිව කඩුලු 7ක ජයක් අත්කර ගත්තේය.

තරගාවලියේ 5වැනි තරගය ලෙස වැන්ගරේ හිදී පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් අයර්ලන්තය කඩුලු 7ක් දැවී ලකුණු 207ක් රැස්කළ අතර එම ඉලක්කය හඹාගිය ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ පන්දු 63ක් ඉතිරිව තිබියදී ජය හිමිකර ගත්තේ කඩුලු 3ක් පමණක් අහිමිකර ගනිමිනි.

ලකුණු 208 ඉලක්කය හඹායෑම ඇරැඹු ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුල්ල ලකුණු 4කටත් දෙවැන්න ලකුණු 9දීත් බිඳ වැටිණි. ආරම්භ පිතිකරු හසිත බෝයගොඩ ලකුණු ලබාගැනීමට පෙර දැවී ගිය අතර නිපුන් ධනංජයට ලබාගත හැකිවුයේ එක් ලකුණක් පමණි. මුළු ලකුණු 51 දී ක්‍රිෂාන් ආරච්චිගේ (17) තෙවැනි කඩුල්ල ලෙස දැවී යෑමත් සමග පිටියට පිවිසි නායක කමිඳු මෙන්ඩිස් ආරම්භක පිතිකරු ධනංජය ලක්ෂාන් සමග එක්ව ශ්‍රී ලංකා පිල ජයග්‍රහණය කරාගෙන ගියේ නොබිඳුණු ලකුණු 157ක සබඳතාවක් ගොඩනගමිනි. විශිෂ්ට ඉනිමක් දියත් කරමින් නොදැවී ලකුණු 101ක් රැස්කළ ධනංජය පන්දු 120කදී හතරේ පහර 8ක් හා හයේ පහරකින් ඉනිම වර්ණවත් කර ගත්තේය. ඔහු තරගයේ වීරයා ලෙසද නම් කෙරිණි.

නොදැවී ලකුණු 74ක් රැස්කළ කමිඳුගේ ඉනිමට හතරේ පහර 6ක් එක්වූ අතර වැයවූයේ පන්දු 73ක් පමණි.

ඕවර 48කට සීමාවූ තරගයේ කාසියේ වාසිය දිනූ අයර්ලන්තය වෙනුවෙන් ඉනිම ඇරැඹූ ජැමී ග්‍රාසි ලකුණු 75ක් රැස්කළ අතර ඔහු මාර්ක් ඩොනේගන් සමගින් පළමු කඩුල්ලට ලකුණු 73ක් එක් කළේය. මාර්ක් ලකුණු 36කට දැවී ගිය අතර ජොශුවා ලිට්ල් ලකුණු 25ක් ඉනිමට එක් කළේය. පන්දු යැවීමේදී නායක කමිඳු මෙන්ඩිස් කඩුලු 3ක් දවා ගත්තේය.

ශ්‍රී ලංකාව සහභාගීවන දෙවැනි තරගය 17 වැනිදා ඇෆ්ගනිස්තානය සමග පැවැත්වෙයි.

අයර්ලන්තය - 207/8 (ඕවර 48) ජැමී ග්‍රාසි 75, මාර්ක් ඩොනේගන් 36 (කමිඳු මෙන්ඩිස් 35/3)

ශ්‍රී ලංකාව - 208/3 (ඕවර 37.3) ධනංජය ලක්ෂාන් නොදැවී 101, කමිඳු මෙන්ඩිස් නොදැවී 74 (ආරෝන් කව්ලි 26/2) 

 

නව අදහස දක්වන්න