පාන් පාරේ පුපුරයි | දිනමිණ

පාන් පාරේ පුපුරයි

එක රැයෙන් පාන් මිල දෙගුණ කිරීම හේතුවෙන් සුඩානයේ නොසන්සුන් වාතාවරණයක් හට ගෙන තිබේ. පාන් මිල වැඩි කිරීමට එරෙහිව රට පුරා තැනින් තැන උද්ඝෝෂණ ක්‍රියාත්මක වෙමින් ඇත. මේ උද්ඝෝෂණ මැඩලන්නට ආරක්ෂක අංශ ගන්නා ලද පියවර හේතුවෙන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. මෙහි සෝචනීය සිදුවීම වූයේ ජීවිතක්ෂයට පත් දෙදෙනාගෙන් එක් අයකු උසස් පාසල් ශිෂ්‍යයකු වීමයි. පොලීසිය උද්ඝෝෂණකරුවන්ට එල්ල කරන ලද ප්‍රහාර හේතුවෙන් පුද්ගලයන් රැසක් තුවාල ලබා ඇති බවත් වාර්තා වේ.

මේ සිද්ධිවලට සමගාමීව එරට ප්‍රකටම සහ විශාලතම විරුද්ධ පක්ෂය වන සුඩාන කොන්ග්‍රස් පක්ෂයේ සභාපති ඔමාර් අල් - ඩාගීර් ද මේ වනවිට රජයේ අත්අඩංගුවට පත්ව ඇත. රටේ පවත්නා සැබෑ තත්ත්වය රට අභ්‍යන්තරයට මෙන්ම ඉන් බැහැරට ද වාර්තාවීම වැලැක්වීම සඳහා එරට ජාතික මට්ටමේ පුවත්පත් රැසක් රාජසන්තක කිරීමටත් රජය පියවර ගෙන තිබේ. එසේ වුවත් අන්තර්ජාලය භාවිතයට ගනිමින් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ තොරතුරු හුවමාරු කරගැනීමේ පහසුකම තවමත් ක්‍රියාත්මකව පවතී. සුඩානයේ දැනට පවත්නා තත්ත්වයන් අයහපතට ම හේතුවනු ඇති බවත් ඉදිරි දිනවලදී උද්ඝෝෂණ තවත් දැඩි වනු ඉඩ ඇතැයි කියා විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.

සුඩාන ජනතාවට මෙතෙක් ලබාදුන් සහනාධාර 2018 අය වැයෙන් කපා හරින්නට එරට රජය තීරණය කර තිබේ. රජයේ බලධාරීන් මේ තීරණයට එළඹ තිබෙන්නේ එරට ශිඝ්‍රයෙන් වර්ධනය වෙමින් පවත්නා උද්ධමනය අවම මට්ටමකට රැගෙන ඒමේ අරමුණෙනි. දැනට එරට 33%ක උද්ධමනයක් පවතින බව ආර්ථික විද්‍යාඥයෝ පෙන්වා දෙති. විදේශ විනිමය සංචිත බෙහෙවින් පහළ මට්ටමකට වැටී ඇති බවත් මේ තත්ත්වය හදිසියේ එක්වරම ඇතිවූවක් නොවන බවත් වාර්තා වේ. පසුගිය වසර පුරාම එරට ආර්ථිකයෙන් දිස් වූයේ බෙහෙවින්ම අයහපත් ස්වභාවයකි. එකී තත්ත්වය මැඩලීම සඳහා රජය පියවර ගත්තේ එදිනෙදා පරිහරණයට ගන්නා පාරිභෝගික භාණ්ඩවල මිල ගණන් ඉහළ නැංවීමෙනි. මේ නිසා අතවශ්‍ය බෙහෙත් ද්‍රව්‍ය, ඉන්ධන, විදුලිය සහ තවත් බොහෝ පාරිභෝගික භාණ්ඩවල මිල ඉහළ ගියේ ඇදහිය නොහැකි තරමේ වේගයකිනි.

ඖෂධවේදියකු අල්ජසීරා පුවත් සේවයට පසුගිය දෙසැම්බරයේදී කියා සිටියේ ඖෂධ මිල ගණන් 150%ත් 300%ත් අතර ප්‍රමාණයකින් ඒ වනවිට ඉහළ ගොස් තිබෙන බවකි. පාරිභෝගිකයන් ඖෂධ හල් වෙත පැමිණ ඖෂධවල මිල ගණන් විමසා බලා ආපසු හැරී යන බවද හෙතෙම පැවසීය. මේ නිසා ඖෂධ හල් හිමියන් මිලදී ගත් ඖෂධ විකුණාගත නොහැකිව රාක්ක මත ගොඩ ගැසී තිබෙන අයුරු දක්නට හැකි බව අල්ජසීරා පුවත් සේවය වාර්තා කර තිබිණ. පවත්නා වාතාවරණය යහපත් කරදෙන මෙන් රජයට බලකරමින් ඖෂධවේදීහු පසුගිය කාලයේදී ඛාර්ටුම් අගනුවර විරෝධතා පැවැත් වූහ.

විදුලිය සහ ඉන්ධනවල ඉහළ යාම සාමාන්‍ය ජනයාට බලපා ඇත. තේ හදා විකුණමින් දිවි ගැටගහගත් හතළිස් දෙහැවිරිදි අම්නා සයේඩ් පවසන්නේ මෙවැන්නකි.

“ඖෂධවල මිල වැඩිවීම විතරක් නෙවෙයි අනෙක් හැම දේකම මිල ගණන් වැඩිවීම අපේ ජීවිතවලට දරුණු විධියට බලපාලා තියෙන්නේ. ළමයි දෙන්න පාසල් යවා ගන්න මට දැන් හැකියාවක් නැහැ. ප්‍රවාහනයට ආහාරවලට යන වියදම් දරන්න අමාරුයි”

හාල් කිලෝ ග්‍රෑම් 50ක හාල් බෑගයක් සුඩාන පවුම් 510 සිට 580 දක්වා ඉහළ ගොස් ඇත. කිලෝග්‍රෑම් 10ක බරැති පාන් පිටි පැකට්ටුවක් සුඩාන පවුම් 65 සිට 85 දක්වා පසුගිය කාලයේදී වැඩි විය. කිලෝග්‍රෑම් 100ක ධාන්‍යය ඇට බෑගයක් පෙර අලෙවි වූයේ සුඩාන පවුම් 1700ක මිලකටය. එහි මිල සුඩාන පවුම් 2100ක් දක්වා හදිසියේ වැඩි විය. බිත්තර 24ක ඇසුරුමක් සුඩාන පවුම් 30 සිට 60 දක්වාත්, කුකුළු මස් කිලෝ ග්‍රෑමයක් සුඩාන පවුම් 33 සිට 45 දක්වාත් වැඩි වී තිබේ. භාණ්ඩවල මිල ගණන් මෙසේ වැඩි වන්නේ හිටි අඩියේය. මේ වාතාවරණය තුළ කෑමට යමක් පහසුවෙන් මිලදී ගැනීමට සාමාන්‍ය ජනයාට නොහැකි වී ඇත. අතොරක් නැතිව කෙරෙන මිල වැඩිවීම් නිසා භාණ්ඩවලට ඇති ඉල්ලුම පහළ වැටීමෙන් කුඩා ව්‍යාපාර විශාල සංඛ්‍යාවක් කඩා වැටී තිබෙන බවත් සඳහන් වේ.

සුඩාන ජනයා ප්‍රධාන වශයෙන් ආහාරයට ගන්නේ තිරිඟු පිටිවලින් කළ ආහාරයි. එහිදී පාන්වලට හිමිවන්නේ විශේෂ තැනකි. වසරකට තිරිඟු පිටි ටොන් මිලියන 2කට ආසන්න ප්‍රමාණයක් එරටට අවශ්‍ය වේ. එම තිරිඟු පිටි තොගය ආනයනයට ඇමෙරිකා ඩොලර් බිලියන 1.5ක මුදලක් වාර්ෂිකව අවශ්‍ය වේ. එකී මුදල අවම කරගත හැකි වන්නේ රටේ තිරිඟු පිටි නිෂ්පාදනය වැඩි කිරීමෙන් පමණි. එසේ වුවත් යට කී තිරිඟු පිටි අවශ්‍යතාවයෙන් 12%ක පමණ ප්‍රමාණයක් පමණක් සුඩානය තුළ නිෂ්පාදනය කෙරේ. ඉතිරි ප්‍රමාණය ආනයනය කරන්නට සිදුව තිබේ. ආයෝජන අඩුවීම නිසා පැන නැඟී තිබෙන විදේශ විනිමය සංචිත පහළ වැටීම හේතුවෙන් ආනයන බෙහෙවින්ම සීමා කරන්නට සුඩාන බලධාරීන්ට සිදුව ඇත. මේ නිසා එක බේකරියකට සීමිත තිරිඟු පිටි ප්‍රමාණයක් නිකුත් කරන්නට පියවර ගෙන තිබේ. එය බේකරි නිෂ්පාදන අඩු කරන්නට හේතුවකි. එනිසා බේකරි වසා දමන්නටත්, ජනතාවට හාමතේ සිටින්නට ඉඩ හැරීමත් හැර වෙනත් විකල්පයක් දැන් එහි ඉතිරිව නැත.

ජන ජීවිතයට අවශ්‍යම පාරිභෝගික භාණ්ඩ මිලදී ගැනීමට ක්‍රමයක් නැතිව ළතැවෙන ජනයාගේ පීඩනය මේ වනවිට ඉහළ ගොස් ඇත. එය රට තුළ දරුණු නොසන්සුන්තාවක් වර්ධනය කරන්නට හේතුවක් වේ. පසුගිය මාස කිහිපය පුරාම සුඩානයේ ප්‍රබල උද්ඝෝෂණ පැවැත්වුණේ ඊට පෙර නිමිත්තක් ලෙස විය පුළුවන. සාමාන්‍ය ජනයාගේ පීඩනය ඉහළ යනවිට ඔවුන් සමඟ අවි ගත් කණ්ඩායම් ද එක් වීමට ඉඩ ඇති බවට අනතුරු ඇඟ වේ. එවිට පවත්නා තත්ත්වය බල පෙරළීමක් දක්වා දික් ගැස්සෙන්නට වුවත් බැරිකමක් නැත. එය ලේ වගුරුවමින්, ජීවිත බිලිගනිමින් කෙරෙන බල පෙරළියක් නොවන්නේ යැයි කියා කිසිවකුට අනුමාන කළ හැකිද?. මේ නිසා රජයේ සහනාධාර කපා හැරීම සහ බඩු මිල ඉහළ නැංවීම යන කාරණා දෙස වඩාත් පුළුල්ව සිතා බලන්නට සුඩාන බලධාරීන්ට සිදුවේ.

යථාර්ථය එය වුවත් සුඩාන රජයට කළ හැකි අන් දෙයක් නැති බවකුත් පෙනී යයි. එයට හේතුව සුඩාන රජයට අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ කොන්දේසිවලට එකඟව කටයුතු කරන්නට සිදුව තිබීමයි. එනිසා ජනතාවට ලබා දෙන සහනාධාර අවශ්‍යයෙන්ම කප්පාදු කරන්නට සිදුව ඇත.

ඒ හැරුණු විට සුඩානයට ධනය ගලා ආ ප්‍රධාන මාර්ගයක්ද මේ වනවිට සැලකිය යුතු තරමකින් වැසී ගොස් ඇත. එම මාර්ගය අනෙකක් නොව ඛනිජ තෙල් නිෂ්පාදන මාර්ගයයි. එම අහිමි වීම සිදුවූයේ සුඩානය ලෙස පැවැති පළමු භූමිය, උතුරු දිග සුඩානය හෙවත් සුඩානය සහ දකුණු දිග සුඩානය ලෙසට බෙදී වෙන් වූ 2011 සිටය. මුල් සුඩාන භූමිය එසේ දෙකඩ වූයේ විසි දෙවසරක් පුරා පැවැති සිවිල් යුද්ධයේ ප්‍රතිඵලයක් ලෙසටය. මේ බෙදී වෙන්වීමේදී මුල් සුඩාන භූමියේ පැවැති ඛනිජ තෙල් ආකාරවලින් විශාල සංඛ්‍යාවක් දකුණු දිග සුඩානයට අයිති වූයේය. එනිසා සුඩානය හෙවත් උතුරු දිග සුඩානය හැටියට හැඳින්වුණු කොටසට ඛනිජ තෙල්වලින් ලැබෙන ආදායමෙන් 70%ක පමණ කොටසක් අහිමි විය. ඒ හරහා සුඩානයට ලැබෙන විදේශ ආදායම්ද අඩු වී ගියේය. රට තුළ පවත්නා මහා පරිමාණ වංචා සහ දූෂණ තවත් පැත්තකින් එහි ආර්ථිකය විකෘති කර දැමූ බවත් අමුතුවෙන් කිව යුත්තක් නොවේ.

මංජුලා 

 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...