අහසට ඉස්සුණු දස්කම් | දිනමිණ

අහසට ඉස්සුණු දස්කම්

මංජුලා විජයරත්න

ලෝක ප්‍රකට කීර්තිමත් වාස්තු විද්‍යාඥ අයි. එම්. පෙයි පසුගිය වසරේදී සිය ජීවන ගමනේ සියවන සැතපුම පසු කළේය. චීන - ඇමෙරිකා සම්භවයක් ඇති අයි.එම් පෙයි ලෝකයට වැදගත් වන්නේ වසර සියයක් ජීවත් වූ වාස්තු විද්‍යාඥයකු නිසා නොව මතකයෙන් ඈත කළ නොහැකි තරමේ අලංකාරවූත් සුවිසල්වූත් ගොඩනැඟිලි පන්තියක් ලෝකයට දායාද කළ හෙයිනි. පෙයිගේ ගෘහ නිර්මාණ ශිල්ප ඥානයෙන් සැලසුම් වී ඉඳිවුණු මේ ගොඩනැඟිලි පන්තියට අයත් ගොඩනැඟිලි ලෝකය පුරා දැකිය හැකිය. ඔහුගේ සැලසුම්වලින් ඉඳි වුණු කෞතුකාගාර, දේවස්ථාන, විශ්වවිද්‍යාල, පුස්තකාල, බැංකු ආදී විවිධ සමාජ ආයතන ඒ අතර ඇත. ඔහු නිර්මාණය කළ ඇතැම් ගොඩනැඟිලි අහස සූරන තරම් උස නමුත් ඔහුගේ සෑම නිර්මාණයක්ම ඒ ගණයෙහිලා දැමිය නොහැකිය. එසේ වුවත් අලංකාරත්වය, හැඩය, ඉඳිකිරීම් සඳහා යොදාගෙන ඇති ද්‍රව්‍යය ආදිය ගැන සලකා බලන විට ඒ ගොඩනැඟිලි අතිශයින්ම සුවිශේෂිය. මේ නිසා ලෝක ගොඩනැඟිලි සැලසුම් කිරීමේ ක්ෂේත්‍රය තුළ සිය සලකුණ පැහැදිලිවම සටහන් කරන්නට අයි.එම්. පෙයි සමත් වී ඇතැයි කිවහොත් එහි අතිශයෝක්තියක් නැත.

ගොඩනැඟිලි සැලසුම්කරණය සහ ඉංජිනේරු විද්‍යාව යන විෂයන් සම්බන්ධයෙන් ඇමෙරිකා විශ්වවිද්‍යාල කිහිපයකින් හෙතෙම උපාධි ලබා ඇත. ඔහු ලත් ඒ ඥානය ඔහු කළ ගොඩනැඟිලි සැලසුම්වලින් මැනැවින් පිළිබිඹු වේ. ඇමෙරිකා එක්සත් ජනපදයේ කොළරාඩෝහි පිහිටි ජාතික වායුගෝලීය පර්යේෂණ මධ්‍යස්ථානයේ මෙසා පුස්තකාල ගොඩනැඟිල්ල පෙයි අතින් 1961දී සැලසුම් කෙරිණ. මේ පුස්තකාල ගොඩනැඟිල්ලෙහි හැඩය, ඊට යොදා ඇති වර්ණ ආදිය ගොඩනැඟිල්ල පිහිටා ඇති පරිසරයට කදිමට ගැලපෙන බවට විවාදයක් නැත. ඇමෙරිකාවේ මැසචුසෙට්හි ජෝන් එෆ් කෙනඩි ජනාධිපති පුස්තකාලය සහ කෞතුකාගාරය, පෙයිගේ නිර්මාණශිලීත්වය එක්තැන් වුණු තවත් රමණීය ගොඩනැඟිල්ලකි. මේ ගොඩනැඟිල්ල සැලසුම් කර තිබෙන්නේ ජෝන් එෆ් කෙනඩි ජනාධිපතිවරයාගේ සර්ව ශුභවාදී අදහස් සහ බලාපොරොත්තු පිළිබිඹු වන පරිදි බව සඳහන් වේ.

ඇමෙරිකාවේ ඩලාස් නගර ශාලාව නිර්මාණය කරන්නට සිදුව තිබුණේ බෙහෙවින්ම සීමිත බිමක් මතය. බිම් ප්‍රමාණය සීමාසහිත වුවත් රජයේ කාර්යාල රැසක් පවත්වාගෙන යෑම සඳහා ගොඩනැඟිල්ලෙන් ඉඩකඩ අවශ්‍යය විය. ඒ ආයතනවලට පැමිණෙන වාහන නවතා තබන්නට සරිලන තරමේ වාහන අංගනයක් ද වුවමනා විය. මේ සියලු ඕනෑ එපාකම් ගැන සොයා බලා පෙයි අගනා නිර්මාණයක් කළේය. ඔහු නිර්මාණය කළ ගොඩනැඟිල්ලේ පහළ කොටස පුළුල් නැත. එහෙත් ඉහළ මහල් පුළුල් ය. එමෙන්ම ගොඩනැඟිල්ල අංශක 34ක ආනතියකින් ද යුක්ත විය. තට්ටු පිට තට්ටු නංවමින් සුලභ මෝස්තරයකට අනුව ඩලාස් නගර ශාලා ගොඩනැඟිල්ල නිර්මාණය කරනවාට වඩා මේ අන්දමින් නව ආරයකට නිර්මාණය කිරීම නගරයේ සුන්දරත්වයට හේතුවක් බව බලධාරීහු අවසානයේදී පිළිගත්හ. එනිසා පෙයි නිර්මාණය කළ ගොඩනැඟිල්ල ඒ සැටියෙන්ම එහි ඉඳිවිණ.

පෙයිගේ නිර්මාණශීලීත්වය මුසු වුණේ ඇමෙරිකා බිමෙහි ඉඳිවන ගොඩනැඟිලි සැලසුම්වලට පමණක් ම නොවේ. ප්‍රංශයේ පැරිස් නුවර ග්‍රෑන්ඩ් ලූවර් පිරමීඩ නිර්මාණය කළේ ද අයි. එම්. පෙයිය. මෙය ඓතිහාසික ලූවර් මන්දිරයට අනුබද්ධව කෙරෙන ඉඳි කිරීමක් වූ බැවින් එහි සැලසුම කෙරෙහි ප්‍රංශ රජය මෙන්ම ප්‍රංශ මහජනයාත් මහත් විමසිල්ලෙන් බලා සිටියහ. වීදුරු සහ වානේවලින් කළ හැකි පිරමිඩාකාර සැලසුමක් හඳුන්වා දෙන්නට පෙයි අවසානයේදී සමත් වූයේය. චීනයේ ශීෂෝ කෞතුකාගාරයේ සැලසුම පෙයි අතින් නිමැවුණේ 2006 වසරෙහිදී බව සඳහන් වේ. මේ ගොඩනැඟිලි සැලසුම ශීෂෝ නගරයේ පෞරාණිකත්වය විදහා දැක්වෙන අයුරින් නිර්මාණය වූවකි.

ගෘහ නිර්මාණ සඳහා ඒ ඒ ජාතීන්ගේ සංස්කෘතිය මැනැවින් ගලපා ගැනීමේ හැකියාව පෙයිට යස අපූරුවට පිහිටා තිබිණ. ඔහු 2008 වසරේදී කටාර් රාජ්‍ය වෙනුවෙන් නිර්මාණය කළ ඉස්ලාමික කෞතුකාගාරයේ සැලසුම ඊට කදිම නිදසුනකි. එමෙන්ම 1963දී තායිවානයේ තායිචුන්ග් නගරයේ ඉඳිකෙරුණු ලුසේ අනුස්මරණ දෙව් මැදුරේ සැලසුමත් නිමැවුණේ පෙයිගේ අතිනි. මේ දෙව් මැදුරේ ගෘහ සැලසුම සකස් කරද්දී එය ඉඳිකෙරුණු පරිසරයේ පවත්නා අධික ආර්ද්‍රතාවයත් ප්‍රදේශයට බලපාන භූ කම්පන පිළිබඳවත් විශේෂ අවධානයක් යොමු කරන්නට පෙයිට සිදු වුණු බව සඳහන් වේ. සුවිශේෂවයන් රැසක් සමඟ ජපානයේ මිහෝ කෞතුකාගාරයේ සැලසුම ද පෙයි අතින්ම නිම විණ. ජපානයේ ක්‍යාතෝහි කඳුකර පෙදෙසක ඉඳි වී ඇති මේ කෞතුකාගාරයට පිවිසිය යුත්තේ නලයක ආකාරයට සකස් කරන ලද මාර්ගකිනි. කෞතුකාගාරයේ හැඩය මෙන්ම ඊට යොදා ඇති පැහැයන් ද කඳුකර පරිසරයට මනාව ගැලපේ. පෙයි කළ විශිෂ්ට ගණයේ ගෘහ නිර්මාණ අතර වඩාත් කැපී පෙනෙන්නේ හොංග් කොංග් නගරය සඳහා ඔහු 1990දී නිර්මාණය කළ චීන බැංකු කුලුනයි. එය අහස සූරන ගොඩනැඟිල්ලකි. එමෙන්ම ඉතා සංකීර්ණ ජ්‍යාමිතික හැඩයන් අනුව නිර්මාණය වූවකි.

අයි.එම්. පෙයි අතින් නිමැවුණු ගොඩනැඟිලි සැලසුම් ප්‍රමාණය අපමණය. ඒ සෑම එකකම සැලසුම සැකසීම සඳහා ඔහු වචනයට නැඟිය නොහැකි තරමේ වෙහෙසක් ගත් බව සඳහන් වේ. ඇමෙරිකාවේ ජෝන් එෆ් කෙනඩි ජනාධිපති පුස්තකාලය සහ කෞතුකාගාරයෙහි සැලසුම සකසමින් සිටි කාලයේ දිනක් ඔහු නිවෙසට ගොඩවැදුණේ පුදුමාකාර වෙහෙසකින් බව ඔහුගේ බිරිය එයිලීන් ලූ මාධ්‍යයට වරක් පවසා තිබිණ.

“ඔහුට නිවෙස තුළට පැමිණෙන්නට මම ගෙයි දොර අරින විට ඔහු සිටියේ දැඩි වෙහෙසකින්. ඔහුට හරියට ඇවිද ගන්නවත් හැකියාවක් තිබුණේ නැහැ. ඔහුගේ දෙපා පොළොව මත ඇදුණා පමණයි. ඒ විධියට වෙහෙස වී නිම කළ සැලසුම බලධාරීන් අතින් වරක් ප්‍රතික්ෂේප වුණා. එය ඔහුට දරාගන්න වුණා” කියා ඈ එහිදී සඳහන් කර තිබුණාය.

මාස ගණන් වෙහෙස වෙමින් ඔහු කළ අගනා සහ අර්ථවත් නිර්මාණ පවා ප්‍රතික්ෂේප වුණු අවස්ථා ඇති බව කියන්නට මේ හැර තවත් සාක්ෂියක් වුවමනා නැත. එදා එසේ ප්‍රතික්ෂේප වූයේ ගෘහ නිර්මාණ ශිල්පයේ නොබෙල් ත්‍යාගය ලෙස සැලකෙන ප්‍රිට්ස්කර් ත්‍යාගයට, එයින් වසර කිහිපයකට පසු හිමිකම් කී සැලසුම් ය.


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...