උක් වගාකරුවන්ගේ සියලු ගැටලුවලට විසැඳුම් ලබා දෙනවා | දිනමිණ

උක් වගාකරුවන්ගේ සියලු ගැටලුවලට විසැඳුම් ලබා දෙනවා

සුභාෂීණී සේනානායක

උක් වගාව සඳහා පොහොර සහනාධාර ලබා දීම ඇතුළු අනෙකුත් සියලුම ගැටලුවලට තම අමාත්‍යාංශයේ මැදිහත්වීමෙන් අදාළ අංශ සමඟ සාකච්ඡා කර විසඳුම් ලබා දීමට කඩිනමින් පියවර ගන්නා බව කර්මාන්ත හා වානිජ කටයුතු ඇමැති රිෂාඩ් බදියුදීන් මහතා පැවසීය.

උක් ටොන් 1ක මිල රු. 8500ක් කිරීම, උක් වගා කරන ඉඩමේ අයිතිය ගොවියා වෙත ලබා දීම, උක් වගාව සඳහා ද පොහොර සහනාධාරය ලබා ගැනීම, ආයතනය ලබා දෙන ණය පහසුකම් සඳහා අය කරන අසාධාරණ පොළිය ඉවත් කිරීම, ප්‍රමිතියෙන් යුතු බීජ ලබා ගැනීම සහ ප්‍රමිතියෙන් යුතු නොවන බීජවලින් සිදු කරන වගා හානියට, වසංගත රෝග හා බරපතළ ස්වාභාවික විපත්වල දී ගොවියාට වන්දි ලබා දීම, අස්වනු නෙලීමේ දී සමාගමේ ප්‍රමාදය නිසා සිදුවන පාඩුවට වන්දි ලබා ගැනීම, කර්මාන්ත ශාලාවේ දුමත් සමඟ පිටවන අපද්‍රව්‍ය නිසා සිදුවෙමින් පවතින පරිසර හා සෞඛ්‍ය ගැටලු විසඳීමට පියවර ගැනීම, කර්මාන්ත ශාලාවේ සේවය කරන සියලුම සේවකයන්ට ජීවත්වීමට සරිලන වැටුපක් හා අනෙකුත් දීමනා ලබා දීම, ස්ථීර නොවන සේවකයන් ස්ථීර කිරීම, ගොවියා හා සමාගම අතර ද්වීපාර්ශ්වීය සමබර ගිවිසුමක් වහා ඇති කර ගැනීම ඇතුළු සමස්ත ලංකා ගොවි සම්මේලනය ඉදිරිපත් කළ ගොවි ජනතාවගේ ඉල්ලීම් 10 සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඇමැතිවරයා එසේ ප්‍රකාශ කළේය.

ඇමැති රිෂඩ් බදියුදීන් මහතා උක්ගොවියන්ගේ ගැටලු 10 ටම, ඊට අදාළ අංශ සමඟ වහාම සාකච්ඡා කර විසඳුම් ලබා දෙන ලෙස අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

එසේම එම සියලුම ගැටලු විසඳා ගැනීමේ ක්‍රියාවලියේ දී සමස්ත ලංකා ගොවි සම්මේලනයේ හා උක්ගොවි ජනතාවගේ පූර්ණ සහයෝගය ලබා දෙන ලෙසත්, ඒසේම සීනි නිෂ්පාදනය ඉහළ නැංවීමට කාර්යක්‍ෂමව හා ඵලදායීව සයෝගය ලබා දෙන ලෙස ද ඇමැතිවරයා උක්ගොවි ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

අම්පාර උක්ගොවි ජනතාවගේ ගැටලු පිළිබඳව තමාව කිසිඳු ආකාරයකින් දැනුවත් කර නොතිබූ බවත්, තමන්ට ලිපි මඟින් දැනුම් දුන් බව සඳහන් කළත්, අද මේ සාකච්ඡාව පවත්වන තුරු එම ගැටලු ගැන තමන් දැනුවත්ව නොසිටිය බවත්, ඒ කෙසේ වෙතත්, මෙම උක්ගොවි ජනතාවගේ ගැටලු තමන්ගේ ගැටලුවක් ලෙස සලකා විසඳුම් ලබා දීමට පියවර ගන්නා බවත් රිෂාඩ් බදියුදීන් මහතා කියා සිටියේය.

ඇමැතිවරයා ‍මේ බව පැවසුවේ ඉකුත් දා (9) ස.තො.ස. මහා ලේකම් කර්යාල පරිශ්‍රයේ දී සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ සභාපති නාමල් කරුණාරත්න මහතා ප්‍රමුඛ, නිලධාරී මණ්ඩලය සමඟ පැවැති සාකච්ඡාවක දීය.

අම්පාර සෙවනගල, පැළවත්ත සහ හිඟුරාන උක්ගොවි ජනතාව තම ගැටලුවලට විසැඳුම් ඉල්ලා දින 81ක් උද්ඝෝෂණයේ නිරත වූ. තමා මුහුණපාන ගැටලු 10කට විසඳුම් ලබා දෙන ලෙස ඉල්ලා 2017 ඔක්තෝම්බර් 17 වැනි දාතමින් ජනාධිපතිතුමාට ලිපියක් යවා ඇති අතර, එහි පිටපතක් රිෂාඩ් බදියුදීන් ඇමැතිතුමාට ද යොමු කළ බව සඳහන්ය.

එහෙත් මේ මොහොතේ තමන් වෙත ඉදිරිපත් කළ ලිපිය හැරුණු විට කිසිදු ලිපියක් සමස්ත ලංකා ගොවිජන සම්මේලනයෙන් නොලැබුණු බව ඇමැතිවරයා එහිදී කියා සිටියේය.

සමස්ත ලංකා ගොවි සම්මේලනයේ සභාපති නාමල් කරුණාරත්න, උක්ගොවි සංගම් එකමුතුවේ කැඳවුම්කරු වසන්ත පියතිස්ස ඇතුළු නියෝජිතයන් ද, අමාත්‍යාංශය වෙනුවෙන් අතිරේක ලේකම් කේ. පියරත්න, ලංකා සීනි සමාගමේ සභාපති නවීන් අදිකාරම්, අමාත්‍ය සම්බන්ධීකරණ ලේකම් ඉර්ෂාඩ් රහමතුල්ලා යන මහත්ම මහත්මීහු මේ අවස්ථාවට සහභාගී වූහ. 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...