ජ’පුර හෙද වර්ජනය අවසන් | දිනමිණ

ජ’පුර හෙද වර්ජනය අවසන්

සන්ධ්‍යා කරුණාරත්න

ජයවර්ධනපුර මහ රෝහලේ හෙද හෙදියන් දින 10 ක් පුරා ක්‍රියාත්මක කළ වැඩ වර්ජනය හෙද අයිතිවාසිකම් සියයට 95 ක් දිනා ගනිමින් අද (13) උදෑසන අවසන් කිරීමට තීරණය කරයි.

ඇඟිලි සලකුණු යන්ත්‍රය ක්‍රියාත්මක කිරීමට එරෙහිව රෝහලේ හෙද හෙදියන් මේ වැඩ වර්ජනයට සහභාගි වූ බවත් රෝහලේ පරිපාලනය සමඟ ඊයේ (12) සිදු කළ සාකච්ඡාවෙන් පසුව සිදු වූ එකඟතා අනුව වැඩ වර්ජනය අවසන් කරන බවත් ජයවර්ධනපුර රෝහල් ශාඛාවේ රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති චමින්ද රුද්‍රිගු මහතා පවසයි.

රෝහලේ බලධාරින් සමඟ කළ සාකච්ඡාවෙන් පසුව ඉදිරි කාලය තුළදී සෞඛ්‍ය අමාත්‍යාංශය මට්ටමින් පිළිගත් ක්‍රමවේදයකට අනුව මේ ගැටලුව මුළුමනින්ම විසඳා ගැනීමට පියවර ගන්නා බව ද ඒ මහතා ප්‍රකාශ කළේය.

ඇඟිලි සලකුණු යන්ත්‍රය ඉවත් කර වෙනදා පරිදි හෙද හෙදියන් පොතෙහි අත්සන් කිරීම අද (13) සිට සිදු කරන බවත් වෙනදා මෙන්ම රාජකාරි කටයුතු නිසි පරිදි හෙද හෙදියන් ක්‍රියාත්මක කරන බවට මේ සාකච්ඡාවේදි තීරණය කළ බවත් ඒ මහතා පැවැසුවේය. 

නව අදහස දක්වන්න