සත්ත්ව ආහාර-පශු නිෂ්පාදන වැඩිකිරීමට මිලියන 493ක් | දිනමිණ

සත්ත්ව ආහාර-පශු නිෂ්පාදන වැඩිකිරීමට මිලියන 493ක්

චන්ද්‍රිකා පෙරේරා

සත්ත්ව ආහාර හා පශු නිෂ්පාදනවල ගුණාත්මක බව වැඩිදියුණු කිරීමට පශු එන්නත් වෙනුවෙන් නව වසර සඳහා රුපියල් මිලියන 493ක මුදලක් වෙන් කර ඇති බව ග්‍රාමීය ආර්ථික අමාත්‍යාංශය සඳහන් කරයි.

මේ අනුව උසස් තත්ත්වයේ පශු එන්නත් දේශීයව නිපදවීමට තීරණය කර ඇති අතර ඒ සඳහා රුපියල් මිලියන 320ක් පමණ වැය වෙතැයි ගණන් බලා ඇත. සත්ත්ව ආහාර හා පශු නිෂ්පාදනවල ගුණාත්මකභාවය සහතික කිරීමට අවශ්‍ය උපකරණ මිල දී ගැනීමටත්, ගොඩනැඟිලි අලුත්වැඩියා කිරීමටත් රුපියල් මිලියන 173ක පමණ මුදලක් වෙන් කර තිබේ.

සත්ත්ව පාලනයේ යෙදී සිටින ග්‍රාමීය ගොවි ජනතාවගේ ආර්ථිකය නංවාලීමට කුකුළු නිෂ්පාදන තවදුරටත් ව්‍යාප්ත කිරීමේ වැඩපිළිවෙළක් ද 2018 වසරේ ආරම්භ කෙරේ. එම වැඩසටහන යටතේ කුකුළු නිවාස ස්ථාපිත කරමින් සංවෘත කුකුළු නිවාස සහිත බිත්තර රක්නාගාර පුළුල් කිරීමටත්, ඒවායෙහි එකතු වන අපද්‍රව්‍ය නිසි ලෙස ප්‍රතිචක්‍රිකරණය කිරීමටත්, මේ ස්ථිර වැඩපිළිවෙළක් ආරම්භ කෙරෙන බව ග්‍රාමීය ආර්ථික අමාත්‍යාංශය පැවැසීය. ඒ සඳහා චීන රජයේ අරමුදලෙන් අමෙරිකන් ඩොලර් මිලියන 7.63ක් වැය කිරීමට යෝජිත අතර එම මුදල් යොදවමින් කුකුළු අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රිකරණය ඒකක හා ශීතකරණ ගබඩා ස්ථාපිත කිරීම අලෙවිසල් හා උපකරණ මිල දී ගැනීමට ද සැලසුම් කර ඇත.

මීට සමගාමීව අභිජනන මව් සතුන් ප්‍රමාණය ඉහළ නැංවීම, අභිජනන ගොවිපොළ සංවර්ධනය කිරීම, කුකුල් කෑම නිෂ්පාදනය හා කුකුල් කොටුවලට අවශ්‍ය උෂ්ණත්වය ලබාදීම සඳහා සූරිය බල ශක්ති පද්ධතියක් සවිකිරීම ශ්‍රී ලංකා කුකුළු පාලන සංවර්ධන (පුද්ගලික ) සමාගමෙන් සිදු කිරීමට නියමිතය.

වසර 2017 දී විට සුළු හා මධ්‍ය පරිමාණ කුකුළු ගොවිපොළ 1,684ක් ග්‍රාමීය ආර්ථික අමාත්‍යාංශයෙන් පිහිටුවා අවසන් කර තිබෙන අතර කුඩා පරිමාණ සත්ත්ව නිෂ්පාදනාගාර 17ක්, මස් සකස් කිරීමේ මධ්‍යස්ථාන 24ක් සහ බිත්තර රක්නාගාරයක් ද ස්ථාපිත කර ඇත. කුඩා පරිමාණ කුකුළු ගොවිපොළ සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය යටතේ ගොවිපොළ 3,698ක් පිහිටුවීමට පියවර ගෙන ඇති අතර ඒ සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 30කි.

රුපියල් මිලියන 1.5ක මුදලක් වැය කරමින් ගල් පොකුණ හා සිරිංගපාත ගොවිපොළෙහි ගම් කුකුලන් හා කළුකුම් බිත්තර රැක්කවීමේ ඒකක 2ක් ස්ථාපිත කර ඇත. ගොවිපොළ සංවර්ධන ව්‍යාපෘතිය යටතේ මාරවිල ගොවිපොළ වෙත කිකිළි පැටවුන් 5,600ක් ආනයනය කර ඇති අතර මේ සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 5.1කි.

පසුගිය වසර අවසන් වන විට බොයිලර් කුකුළු මස් නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 325ක් දක්වා ඉහළ නැංවීමට කටයුතු කර තිබෙන අතර ඒ සඳහා ආයෝජනය කර ඇති මුදල රුපියල් මිලියන 56.8කි. 

නව අදහස දක්වන්න