හිර ගෙදර කතාවක්! | දිනමිණ

හිර ගෙදර කතාවක්!

අධ්‍යාපනය හා අපරාධ අතර කවරාකාර හෝ සම්බන්ධයක් තිබේ දැ’යි හෙළිදරව් කරගත හැකි පර්යේෂණ අපේ රටේ සිදුවී නැත. වෙනත් රටවල කරන ලද පර්යේෂණවලින් පෙනීගොස් ඇත්තේ දේශපාලන සිරකරුවන් අතර ද, ත්‍රස්තවාදයට සම්බන්ධ වූ සිරකරුවන් අතර ද උගත් පිරිස් ඇති බව ය. අපේ සාමාන්‍ය පිළිගැනීම වන්නේ පාසලක් විවෘත කිරීමෙන් සිර ගෙවල් සියයක් වසා දැමිය හැකි බව ය. එහි යටි අරුත වන්නේ අධ්‍යාපනයෙන් ඉහළට ගිය තැනැත්තන් අපරාධ සිදු කිරීමට නො පෙලඹෙන බව ය. මේ මතය නැවත විමර්ශනයට ලක්විය යුතු බව වර්තමාන සිදුවීම් දෙස බලනවිට පෙනී යයි.

ශ්‍රී ලංකාවේ බන්ධනාගාරවල සිටින සිරකරුවන් පිළිබඳ 2017 වාර්තාව දැන් නිකුත්වී ඇත. එහි තොරතුරුවලින් කිහිපයක් මෙහිලා සඳහන් කිරීම වටී. එම වාර්තාවට අනුව රටේ ඇති බන්ධනාගාර විසිපහක රඳවා ඇති මුළු සිරකරුවන්ගේ ගණන 24060කි. මෙයින් 1523 දෙනෙකු කිසිදා පාසල් ගොස් නැත. 6879 දෙනකු පහ වසර තෙක් ඉගෙනගෙන ඇත. 5894 දෙනෙක් පහ සමත් ය. 6129 දෙනෙක් අට සමත්ය. 2643 දෙනෙක් සාමාන්‍ය පෙළ සමත් ය. 909 දෙනෙක් උසස් පෙළ සමත් ය. 55 දෙනෙක් උපාධිධාරියෝ ය.

මීට දසක කිහිපයකට පෙර අට සමත් කෙනකුට රජයේ රැකියාවක් ලබාගත හැකි ය. එදා සාමාන්‍ය පෙළ සමත් කෙනකුට සැලැකිය යුතු රැකියාවක් ලබාගත හැකි ය. අද වනවිට තත්ත්වය තරමක් වෙනස් ය. සාමාන්‍ය පෙළ හා උසස් පෙළ අද වනවිට උගත්කමේ ප්‍රාථමික අවදියක් ලෙස සලකනු ලැබේ. අද උගත් පුද්ගලයකු යනුවෙන් හැඳින්වෙන්නේ ප්‍රථම උපාධි, පශ්චාද් උපාධි, ඩිප‍්ලෝමා වැනි සහතික ලැබූ අය යැයි කියන්නට පුළුවන. එසේ නැතහොත් වෘත්තීය සුදුසුකම් ලැබූ පුද්ගලයන් යැයි කියන්නට පුළුවන. වාර්තාවට අනුව උපාධිධාරීහු පනස්පස් දෙනෙක් ද හිර ගෙවල්වල සිටිති. මෙය ඒ හැටි හොඳ තත්ත්වයක් නොවේ.

බොහෝ පාසල්වල “විද්‍යා දදාති විනයං” පාඨය සඳහන් කර තිබේ. එහි අර්ථය වන්නේ උගත්කම සමඟ විනය හා සංවරය පුද්ගලයා සතුවන බව ය. එහෙත් එය ඇත්තටම සිදුවන්නේ පුද්ගලයාගේ පුරුෂාර්ථ හා සාරධර්ම වර්ධනය කරන තැනක අධ්‍යාපනය පවත්වන්නේ නම් පමණි. නූතන අධ්‍යාපනය දැනුම කේන්ද්‍ර කරගත් එකකි. දැනුම ප්‍රාග්ධනය වේ යනුවෙන් තේමා පාඨයක් ද පවතී. මෙහි දැනුම යනු අලෙවි කළ හැකි කුසලතාවය නැතහොත් හැකියාවයි. නව නිෂ්පාදනයකට, කළමනාකරණ හැකියාවකට අනුයුක්ත නොවන දැනුම පද්ධති කෙරෙහි නූතන සමාජයේ අවධානය යොමුවන්නේ නැත. නිදසුනක් ගතහොත් ඉරිදා දහම් පාසලට වඩා ඉරිදා ටියුෂන් පන්තිය කාටත් වටී.

පිටරටක වෛද්‍ය අධ්‍යාපනය ලබන තරුණයෙක් නිවාඩුවට ශ්‍රී ලංකාවට පැමිණ ඉතා සූක්ෂ්ම මංකොල්ලයක යෙදුණේය. තරුණයා පොලිසියට හසුවූ අතර පසුව හෙළිදරව් වූයේ අධ්‍යාපනයට අවශ්‍ය මුදල් උපයාගැනීම සඳහා එලෙස මංකොල්ලයක් සිදුකළ බවය. මත්පැන් බෙදාහැරීම, කුඩු බෙදාහැරීම හා වෙනත් ජාවාරම්වලට සම්බන්ධ සරසවි සිසුන් ගැන වරින්වර අසන්නට ලැබී ඇත. මෙයින් සනාථ වන එක කාරණයක් වන්නේ පුද්ගලයාගේ විනය හදන අධ්‍යාපන ක්‍රමයක් අපට නැති බව ය. අතීතයේ එබඳු අධ්‍යාපන ක්‍රමයක් පැවැති බව ඉතිහාසය කියවනවිට පෙනීයයි. අද අධ්‍යාපනයේ පවතින තරගය නිසා එකිනෙකා නුරුස්සන හා එකිනෙකාට වෛර කරන සමාජයක් බිහිවී ඇතැ’යි කියන්නට පුළුවන.

නූතන සමාජය තුළ පරිගණක තාක්ෂණය භාවිතා කරමින් සිදු කරන අපරාධ හා ජාවාරම් විශාල ප්‍රමාණයක් පවතී. මේ අපරාධ හා ජාවාරම් මෙහෙයවන්නේ ද ඒවා සැලැසුම් කරන්නේ ද නූගත්තු නොවේ. ඇතැම් අපරාධ සැලැසුම් කිරීමට විශේෂ ඥානයක් හා විශේෂ දැනුමක් අවශ්‍ය වේ. එබඳු අපරාධ කිසිදා පාසල් නොගිය පුද්ගලයකුට කළ නොහැකි ය. කිසිදා පාසල් නොගිය පුද්ගලයන් එක්දහස් ගණනක් හිරගෙවල්වල සිටින අතර සාමාන්‍ය පෙළ හා උසස් පෙළ සමත් අය දසදහසකට වඩා හිරගෙවල්වල සිටිති. ඔවුන් අපරාධකාරයන් ලෙස හැඳින්විය හැකි ය. මේ වනවිටත් සිදු කළ අපරාධ සඳහා දඬුවම් විඳිමින් සිටින බැවින් ය. 2017 බන්ධනාගාර වාර්තාව පෙන්වා දෙන සාධකවලින් පෙනීයන්නේ උගත්කම තිබූ පමණින් අපරාධ අඩුවන්නේ නැති බව ය.

ඉන්දියාව, අමෙරිකාව හා යුරෝපා රටවල අපරාධ දෙස බලනවිට පෙනී යන්නේ නූතන අධ්‍යාපනය කවර ලෙසකින් හෝ අපරාධ අඩු කිරීමට ප්‍රධාන සාධකයක් නොවන බව ය. මේ අනුව අපරාධකාරයන් පුනරුත්ථාපනය කිරීමේ වැඩසටහන් මෙන්ම ආරවුල් විසැඳීමේ සමාජ සත්කාරක වැඩසටහන් ද ‍එම රටවල පවත්වාගෙන යනු ලැබේ. ඉන්දියාවේ හිරගෙවල් තුළ භාවනා වැඩසටහන් පැවැත්වීම ප්‍රචලිත ය. අමෙරිකාවේ ආරවුල් විසඳන සමාජ සත්කාරක වැඩසටහන් ප්‍රචලිත ය. මෙයින් සනාථ වන ප්‍රධාන කාරණය වන්නේ පුද්ගලයා අපරාධවලින් ගලවාගැනීම සඳහා වෙනත් විශේෂ අධ්‍යාපනයක් හා පුහුණුවක් අවශ්‍ය බවය. එබඳු වැඩසටහන් අපේ රටේ ප්‍රචලිත නැත. බන්ධනාගාරවල යම් පමණකින් නිවාරණ වැඩසටහන් සිදුවන්නේ වුව ඒවා සාර්ථක යැයි කිව නොහැකිය.

මීට වසර කිහිපයකට පෙර ගාල්ල බන්ධනාගාරයේ සිරකරුවන් ඒකරාශීකොට වෙසක් නාට්‍යයක් නිෂ්පාදනයකොට වේදිකාගත කළ බවක් අපට මතක ය. එම නාට්‍යයේ නම “දැහැමි රාජ්‍යය” යන්න ය. නාට්‍යය අති සාර්ථක අන්දමින් වේදිකා ගත කිරීමට සිරකරුවෝ සහයෝගය ලබා දුන්හ. ඇතැම් සිරකරුවකුගේ රංගන විලාසය දැක ප්‍රේක්ෂකයන් මවිත වූ බව ද වාර්තාවල සඳහන් ය. මෙබඳු වැඩසටහන් සෑම බන්ධනාගාරයක ම සාර්ථකව පවත්වාගෙන යා ‍හැකි ය. මේ සිරකරුවන් නැවත අපරාධවලට පෙලැඹීම එමඟින් වළක්වාගත හැකිය. එහෙත් ඒවා අඛණ්ඩව සිදුවන්නේ නැත. එබැවින් සිරකරුවෝ සිරගෙදර සිටම වෙනත් ජාවාරම් කිරීමට පෙලඹෙති.

සමස්තයක් ලෙස බලනවිට මේ සෑම සිරකරුවකු ළඟම මනුෂ්‍යයෙක් සිටී. වැදගත් වන්නේ ඒ මනුෂ්‍යයා අවදිකොට ඔහු පෝෂණය කිරීම ය. වරදකරුවකු වීමට පෙර සාමාන්‍ය පුද්ගලයා තුළ ද හොඳ මනුෂ්‍යයෙක් සිටී. අප කළ යුත්තේ ඔහු අවදිකොට අමනුෂ්‍යයා පලවා හැරීම ය. අධ්‍යාපනය ඒ සඳහා යොදාගත හැකි ය. එසේ යොදාගත හැක්කේ දැනුම පමණක් නොව මනුෂ්‍යත්වය ද මිනිසාට කියාදීමෙන් ය. මේ සඳහා සාහිත්‍යය, කලාව, සිනමාව, සංගීතය, දර්ශනය, ආගම වැනි විෂයයන් මිනිස් සමාජය තුළ ප්‍රචලිත කළ යුතුය. එවැන්නක් කළ හැක්කේ අපේ රට පාලනය කරන බලධාරීන්ට හා නායකයන්ට පමණි.


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...