නැටුමෙහි සූර සුරසේන | දිනමිණ

නැටුමෙහි සූර සුරසේන

අසේල කුරුළුවංශ

මගේ ශරීරයේ සමබරතාව මීට අවුරුදු හතරකට විතර ඉස්සර නැති වුණා. මේ නිසා අවුරුදු 70 ක් කරපු නැටුම අත් හැරියා. හොඳ වුණාට පස්සේ දවසක් පෙරහැර බලන්න ගියා. බෙර සද්දේ ඇහෙන කොට මට නැටවෙනවා. කකුල් ඒ තාලෙට තියන්න ඉස්සෙනවා. වෙස් ඇඳුම් කට්ටලය ඇඳලා අල්ලපු කස්තිරම් සිහි වෙනවා. එතකොට මට වාවගන්න බැරුව ඇ‍ෙඬනවා...එදා මම හිතා ගත්තා ආයේ පෙරහැර බලන්න යන්නේ නැහැ කියලා.

උඩරට වෙස් නැටුම ජීවිතය කරගත් ඔහු මහනුවර ඇසළ පෙරහැරේ අඛන්ඩව හැත්තෑ වසක් රැඟුම් දැක් වූයේය.දළදා පෙරහැරට පෙම්බැඳි සියල්ලෝ ඔහුගේ රැඟුමින් මත්වූ බව නොරහසකි. ජීවිත මංපෙතේ හැත්තෑවන කඩ ඉම පසු කර සිටිදීත් හේ කිලෝ හතරක පමණ බරින් යුත් වෙස් නැටුම් කට්ටලට ඇඟ දරා රැඟුම් පෑවේ ජවසම්පන්න තරුණයකු මෙනි.ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිළමේ ඉදිරියේ ගමන් ගන්නා උඩරට වෙස් නැටුම් කණ්ඩායමට දශක ගණනාවක් තිස්සේ නායකත්වය දුන් ඔහු මෙයට සිව් වසරකට පෙර අවසන් වරට පෙරහැරේ ගමන් ගන්නා අවස්ථාවේදීද ජව සම්පන්න තරුණයින් පරදා නැටුමින් සැමගේ නෙත් සිත් පැහැර ගන්නට සමත් විය.උඩරට නැටුම් කලාවේ ගෞරවය ආරක්ෂාකර ගනිමින් එය තවත් උසස් ගෞවරණීය තැනකට ඔසවා තබන්නට ජීවිතය පුරා වෙහෙසුණු ඔහු නමින් පීටර් සූරසේනය ගුරුන්නාන්සේය.

ඉංග්‍රීසි පාලන සමයේ ආණ්ඩුකාරවර සෝල්බරි සාමිවරයා පිනවන්නට නව වැනි වියේදී උඩැක්කිය වාදනය කරමින් වේදිකාවට පිවිසි සූරසේනගුරුන්නාන්සේ දිනෙන් දින නර්තන හැකියාවන් දියුණු කර ගනිමින් මේසා විශාල ගමනක් ගියේ ඔහු තුළවූ අප්‍රතිහත ධෛර්ය හා නැටුම් කලාවට තිබූ ආදරය නිසාමය.නැටුමට අසීමිතව පෙම් බැඳි ඔහුගේ ජීවිතයට වාසනාව ගෙනාවේද නැටුමය.හිටපු ජනපති චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියට හා ඇගේ පුත් විමුක්තිට නැටුම් කියාදුන් සූරසේන පාඨශාලාචාර්යවරයකු ලෙස 1966 සිට 1993 දක්වා කටයුතු කරමින් විශ්‍රාම ගියේ දක්ෂ නර්තන ශිල්පීන් රැසක් රටට දායාද කරමිනි.මහනුවර අරුප්පොළ පිහිටි සූරසේන ගුරුන්නාන්සේගේ නිවසේ පවත්වා ගෙන යන සේසත සූරසේන කලායතනය තුළින්ද උඩරට පාරම්පරික නර්තන ශිල්පීන් බොහෝ පිරිසක් බිහි කළ හෙතෙම අද පසු වන්නේ මෙරට පාරම්පරික උඩරට වෙස් නැටුමට දිනෙන් දින අත් වෙමින් තිබෙන ඛේදනීය ඉරණම පිළිබඳ දැඩි කනගාටුවකිනි.

මගේ තාත්තා මුණ්ඩාදෙණියේ ගෙදර ගුණයා.බලි පරම්පරාවක කෙනෙක් වූ තාත්තා විවාහ වුණේ උඩරට නර්තන පරම්පරාවකින් පැවත එන කාන්තවක් සමඟයි.මේ සංකලනය අපේ ජීවිතවලට ගොඩක් බලපෑවා.මම උපන්නේ 1940 ජනවාරි මාසේ 13 වෙනිදා.පවුලේ සහෝදරයෝ හතරයි සහෝදරියෝ තුනයි.මම හය වෙනියා.මගේ අයියා හීන් බබා ධර්මසිරි.එයාගේ ගුරුන්නාන්සේ නිත්තවෙලා එන්.එම් ගුණයා කලාකරුවයි.අයිය වෙස් බැඳලා ගුණයා ගුරුන්නාන්සේ එක්ක නිතරම රට යනවා.මටත් රට යන්න ආසායක් ආවා.ඒකට හොඳම මඟ නැටුම් ඉගෙන ගන්න එක කියලා කල්පනා කරලා මම අම්මට කිව්වා මටත් නැටුම් ඉගෙන ගන්න ඕන කියලා.එතකොට මම වටපුළුව සී.සී විද්‍යාලයේ 08 වන පන්තියේ ඉගෙන ගන්නවා.ඒකාලේ නැටුම් ඉගෙන ගන්න ගුරුන්නාන්සේ ළඟට යන්නේ කැවුම්,කිරිබත්,හාල්,පොල් කදක් බැඳ ගෙනයි.මම කදකුත් බැඳගෙන අමුණුගම සුරඹා ගුරුන්නාන්සේ ළඟට ගියා.ඒ කාලේ දැන් වගේ නෙවෙයි,ගුරුන්නාන්සේ ශිල්ප දෙන්නේ ශරීර ලක්ෂණ හොඳට බලලයි.එහෙම නොවුණොත් තමන්ගේ දරුවාටවත් ශිල්පය දෙන්නේ නැහැ.ඒකට හොඳම උදාහරණය තමයි සුරඹා ගුරුන්නාන්සේගේ පුතා. ගුරුන්නාන්සේ එයාට වෙස් බැන්දේ නැහැ....

උඩරට වෙස් නැටුමේ ආරම්භය පඬුවස්දෙව් රජ සමය දක්වා ඈතට දිවෙන අතර එය මෙරට ජන සමාජයට එක්වීමද සිදුව ඇත්තේ අපූරු අකාරයටය.අමනුෂ්‍ය දෝෂයකට ලක්වූ රජුට ශාන්තිකර්මයක් කිරීමට මලය රට සිට තුන් කට්ටුවක් පැමිණ තිබේ.ගැයුම්,වැයුම් හා නැටුම් එක්ව සිදුකළ ශාන්ති කර්මය(කොහොඹා කංකාරිය) අවසානයේ රජුගේ අමුනුෂ්‍යය දෝෂය තුරන්ව ගොස් සුවය ලැබී ඇත.මලය රජුගේ සර්ව අභරණ වලින් අඩකින් සමන්විත වූ වෙස් ඇඳුම් කට්ටලය ලා සිදු කරන වෙස් නර්තන කලාව ශ්‍රී ලංකාවේ තෝරාගත් ජන කොටසකට දායද කළ බව ඉතිහාසයේ දැක්වෙයි.පසුව අමුණුගම,තිත්තපජ්ජල, නිත්තවෙළ සහ තල්ගහගොඩ යන කන්ද උඩරට නර්තන පරම්පරා හතර කේන්ද්‍ර කර ගනිමින් වෙස් නැටුම ගොඩනැගුණි.අද ලංකාවේ කොතනක වෙස් නැටුම් ශිල්පියෙකු බිහි වූවත් ඔහු මෙම නර්තන පරම්පරා හතර අතරින් එකක ගෝලයකු වීම වැලකිය නොහැකිය.

උඩැක්කිය වාදනය කරමින් මම ඉස්සර වෙලාම නුවර පෙරහැරේ ගියේ 1952දී.පස්සේ නෛයඩි ශිල්පියකු ලෙස පෙරහැරට සම්බන්ධ වුණා.අවුරුදු 12 ක් නැටුම් ඉගෙන ගත්තට පස්සේ තමයි ගුරුන්නාන්සේ මට වෙස් බඳින්න තීරණය කළේ.අද ඉස්කෝලවල අවුරුදු දෙකෙනුත් ළමයින්ට වෙස් බඳිනවා.මේ නිසා නැට්ටුවෝ ඕන තරම් හිටියත් නර්තන කලාව දවසින් දවස වළපල්ලට යනවා.සංස්කෘතික අමාත්‍යාංශය මගින් මුල්වරට ලංකාවේ රාජ්‍ය නැටුම් කණ්ඩායමක් ඇති කළේ 1959 අවුරුද්දෙයි.මගේ දක්ෂතා දැකලා මේකට තෝර ගන්නකොට මම වෙස් බැඳලා නැහැ.ඒ වෙලාවේ මම වෙස් බැඳලා නොහිටපු නිසා මාව නැටුම් කණ්ඩායමට එක්කර ගැනීම ප්‍රශ්නයක් වුණා.සුරඹා ගුරුන්නාන්සේ දක්ෂතා හොඳින් බලලා වෙස් බඳින්න තීරණය කළා.මගේ හිසේ වෙස් තට්ටුව තිබ්බේ අමුණුගම සුරඹා,නිත්තවෙල ගුණයා,තිත්තපජ්ජල සුරඹා,නිත්තවෙල උකුකුවා කියන ගුරුවරු හතර දෙනා.ඒ වගේ උඩරට පාරම්පරික වෙස් නැටුම් කලාවේ උරුමය තිබූ පරම්පරා හතර නියෝජනය කරමින් හතර දෙනෙක් හිසවෙස් තැබීමට සම්බන්ධ වුණේ පළවෙනි වතාවට.ඒ වගේ සුවිශේෂි අවස්ථාවක් මතු කිසිවකුටත් හිමි නොවන බවත් ඒකාන්තයි....

සූරසේන ගුරුන්නාන්සේ වෙස් බැන්ද 1959 වසරේදීම කරකාරද බැන්දේය.තම සහෝදරයා විදේශ රටවලට යනු දැක ඒ අසාවෙන් වෙස් නැටුම හැදෑරු සූරසේන කලාකරුවා රාජ්‍ය නැටුම් කණ්ඩායම සමඟ ප්‍රථම විදේශ සංචාරයට එක් වෙමින් ඉන්දියාවට ගියේය.එතැන් සිට ජර්මනිය,ප්‍රංශය,එංගලන්තය,පාකිස්ථානය,පෘතුගාලය,ඔස්ට්‍රේලියාව,ඊශ්‍රායලය ඇතුළු රටවල් 70 කට පමණ ගොස් තම නර්තන හැකියාවන් ප්‍රදර්ශනය කරන්නට හෙතෙම වාසනාවන්ත වූයේය.

ලංකාවේ පළවෙනි රාජ්‍යය නැටුම් කණ්ඩායටමට සාමාජිකයින් 17 ක් ඇතුළත් වුණා.කාන්තාවෝ හයක් කණ්ඩාමේ හිටියා.පණිභාරතය නායකත්වය ගත්ත කණ්ඩායමට ගායකයකු ලෙස අමරදේව මහත්මයාත් නර්තන ශිල්පිනියක ලෙස විමලා අමරදේව මහත්මියත් එක්ව හිටියා.ඉන්දියානු සංචාරය අතරතුර තමයි අමරදේව මාස්ටරුයි විමලයි ආදර සම්බන්ධයවක් ඇතිකර ගෙන පසුව විවාහ වුණේ.අ‍මෙරිකාවේ නිව්යෝක් නුවර කානගී ශාලාවේ හා එංගලන්තයේ ලන්ඩන් නුවර ඇල්බට් ශාලාවේ කළ නර්තනය මට කවදාවත් අමතක වෙන්නේ නැහැ.ඒ තියටර් වල නැටුමක් ඉදිරිපත් කරන්න අවස්ථාවක් ලැබීම කලා ශිල්පියෙකුට හීනයක් වගෙයි.මගේ නැටුම් බලලා එදා සුදු මහත්වරු ස්ටේජ් එකට මල් දැම්මා...සූරසේන මහතා එසේ පවසන්නේ අතීතයේ ලද ප්‍රශංසා යළි සිහිපත් කරමිනි.

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ වෙස් නැටුම් ශිල්පියෙකු ලෙස ඔහු වසර 60 කට ආසන්න කාලයක් ගමන් ගෙන තිබේ.ජනපති ජේ.ආර් ජයවර්ධන මහතා විසින් මහනුවර ඇසළ පෙරහැරට සම්බන්ධව අති විශිෂ්ට දක්ෂතා දක්වන කලා කරුවන් ඇගයීම පිණිස 1978 දී ඇතිකළ ජනපති සම්මාන පිරි නැමීමේ උත්සවයේදී සූරසේන මහතා තම ජීවිතයේ මුල් වරට ජනපති සම්මානයකින් පිදුම් ලැබීය.ඉන් පසු ආර්.ප්‍රේමදාස,ඩී.බී විජේතුංග,චන්ද්‍රිකා කුමාරතුංග,මහින්ද රාජපක්ෂ යන මෙරට බිහිවූ විධායක ජනතිවරුන් සිව් දෙනකු ගෙන්ම ඇගයීම් ලබන්නට හෙතෙම සමත් විය.....පෙරහැරට සම්බන්ධ වන කලාකරුවන් ඇගයීම මුලින්ම ආරම්භ කළේ ජනාධිපති ජේ.ආර් ජයවර්ධන මහත්තයායි.මට සම්මානේ දෙනකොට එතුමා කිව්වාලෙඩක් දුකක් නොවී තව ගොඩ කාලයක් නටන්න වාසනාව ලැබෙන්න ඕන කියලා.මට සම්මානයක් ගන්න බැරි වුණේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහත්තයා අතින් විතරයි.එතුමා ජනාධිපති වෙන්න අවුරුද්දකට විතර කලින් තමයි මම අසනීප වෙලා නර්තනයෙන් අයින් වුණේ.ලෙඩ නොවෙන්න මම එතුමා අතිනුත් සම්මානයක් ගන්නවා...සූරසේන මහතා එලෙස පවසන්නේ ඔහු තුළ ඇති අධිෂ්ඨාන ශක්තිය පෙරදැරිවය.

චන්ද්‍රිකා මැතිණි ජනාධිපති කාලේ අපේ පනස් වැනි නිදහස් සැමරුමට චාර්ල්ස් කුමාරයා ලංකාවට ආවා. කුමාරයා වෙනුවෙන් රජ ගෙදර ලොකු උත්සවයක් තිබ්බා.මම ඒකේ වෙස් බැඳලා නැටුවා.චාල්ස් කුමාරයා එක්ක පිංතූරයක් ගන්න සූදානම් කළා.මම නැටුම ඉවර වුණු ගමන් කුමාරය ළඟට ගිහින් මම හිටගත්තා.ළඟ හිටපු චන්ද්‍රිකා මැතිණියට කුමාරයා මොනවදෝ කිව්වා.සූරසේන ඔයා ළඟ ගොඩක් රස්නෙයි කියලා චාල්ස් කුමාරයා කියනවා කියලා මැඩම් මට කිව්වා.මම හිනාවෙලා හොඳට නැටුවම ඇඟ රත් වෙනවා මැඩම් කියලා කව්වම හැමෝම හිනාවුණා.....

සූරසේන මහතා පුතුන් තිදෙනකුගේ දියණියන් දෙදෙනකුගේ පියෙකි.සුමනාවතී උඩගෙදර මෙම දරුවන්ගේ මවයි.කලා පරපුරවල් දෙකකින් පැවැත එන මේ දරුවන්ද කලාකාමීන්ය.සුසන්ත සූරසේන,ජානක සූරසේන හා නිලන්ත සූරසේන පිය මඟ යමින් අද වෙස් බැඳි නර්තන ශිල්පීන් ලෙස කරළියට පැමිණ සිටිති.පියා හා පුතුන් තිදෙනා වරක් දෙවරක් නොව කිහිප වතාවක්ම මහනුවර ඇසළ පෙරහැරේ එකට වෙස් නැටුම් ඉදිරිපත් කළහ.පියා හා දරු තිදෙනා වෙස් බැඳ එකට නර්තනයේ යෙදෙණු දැකීමට ඇස් පින්කර තිබිය යුතුය.ඒ තරමටම ඒ දසුන සුන්දරය...

මගේ දරුවෝ මේ කලාවට ආදරෙයි.ඒ අය උඩරට වෙස් නැටුම රැක ගන්න ගොඩක් මහන්සි වෙනවා.අද හැමදේම මුදල් වලට යට වෙනවා.වෙස් නැටුම විතරක් ඒකෙන් ගැලවෙන්නේ නැහැ.කාන්තාවොත් දැන් වෙස් බඳින්න පටන් අරන්.මේ ඇඳුම දෙවියන්ගේ ඇඳුමක්.අද වෙස් බැඳලා සමහරු කරනම් ගහනවා.පෙරහැර නැති වෙන්නේ නැහැ.ඒත් කලාව නැති වෙනවා.නැටුම නැති වෙන්නෙත් නැහැ.ඒත් නැටුම් කලාව නැති වෙනවා....අද හැමදේම ක්ෂණික වෙලා.වෙස් නැටුම් ශිල්පියෝ අද පාසැල් වලින් බිහි වෙන්නේ ආප්ප බානවා වගේ....සූරසේනයන් පවසන්නේ හැඟීම්බරවය.

අවුරුදු 70 ක් පෙරහැරේ ගමන් කළ නිසාවෙන් සූරසේන ගුරුන්නාන්සේට පෙරහැර දකින්නට අවස්ථාව ලැබී ඇත්තේ අතේ ඇඟිලි ගානටත් අඩු අවස්ථා ගණනකි.දැන් පෙරහැර බලන්න පුළුවන් නේදැයි මා විමසූ ප්‍රශ්නය සූරසේනයන්ගේ දෙනෙතට කඳුළු ගෙනාවේය.තොලපොට විකා කඳුළු කැට එළියට පනින්නට නොදී සඟවා ගැනීමට ඔහු ගත් වෑයම අපතේ ගියේය..මගේ ශරීරයේ සමබරතාව මීට අවුරුදු හතරකට විතර ඉස්සර වෙලා නැති වුණා.මේ නිසා අවුරුදු 70 ක් කරපු නැටුම අත් හැරියා.හොඳ වුණාට පස්සේ දවසක් පෙරහැර බලන්න ගියා.බෙර සද්දේ ඇහෙන කොට මට නැටවෙනවා.කකුල් ඒ තාලෙට තියන්න ඉස්සෙනවා.වෙස් ඇඳුම් කට්ටලය ඇඳලා අල්ලපු කස්තිරම් සිහි වෙනවා.එතකොට මට වාවගන්න බැරුව ඇඬනවා...එදා මම හිතා ගත්තා ආයේ පෙරහැර බලන්න යන්නේ නැහැ කියලා..සූරසේනයෝ පවසයි

පීටර් සූරසේන කලාකරුවා මින් මතු මහනුවර ඇසළ පෙරහැරෙදී දක්නට නොලැබුණද ඔහු දශක හතක් තිස්සේ උඩරට නර්තන කලාවටත් මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය සාර්ථක කර ගැනීමටත් ලබාදුන් දායකත්වය තවත් පරම්පරා ගණනාවක් යනතුරු සිහිපත් කරනු නොඅනුමානය.පීටර් සූරසේන කලාකරුවාගේ 78 වන ජන්ම දිනය හෙටට (13) යෙදී ඇති අතර අපි එතුමාට දීර්ඝෘයුෂ පතන්නෙමු.


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...