හොරු හැම තිස්සේම හිතන්නේ බලය ගන්නේ හොරකම් කරන්න කියලා | දිනමිණ

හොරු හැම තිස්සේම හිතන්නේ බලය ගන්නේ හොරකම් කරන්න කියලා

අග‍මැති රනිල් වික්‍රමසිංහ මහතා සොරකම් කළේ යැයි අධිකරණයක් ඉදිරියේ ඔප්පු වුවහොත් ඇමැතිකම් හා මන්ත්‍රිකම් අතහැර දේශපාලනයෙන් සමුගන්නා බව අධිකරණ හා විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය පවසයි.

ඇමැතිවරිය මේ බව සඳහන් කළේ පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් රත්නපුර මාදම්පේ ප්‍රදේශයේ පැවැත්වුණු ජන හමුවකට එක්වෙමිනි.

එහි දී අදහස් දැක්වූ ඇමතිවරිය මෙසේද සඳහන් කළාය. අද මොනතරම් මාධ්‍ය ජනාධිපතිවරයාට බනිනවද, අගමැතිවරයාට බනිනවාද, අපිට බනිනවද. අද මාධ්‍ය ෆුල් ට‍්‍රයි කරන්නේ අගමැතිවරයා හොරෙක් කරන්න. අපේ අගමැතිතුමා හොරෙක් කියලා මොනම අධිකරණයක හරි ඔප්පු වුණොත් මේ තලතා අතුකෝරළ ඇමැතිකම් දෙකත් තියලා මන්ත්‍රිකමත් තියලා ගෙදර යනවා. හොරකම් කරපු එකා හැම තිස්සේම හිතන්නේ බලය ගන්නේ හොරකම් කරන්න කියලා. මිනී මරපු එකා හැම තිස්සේම හිතන්නේ බලයට එන්නේ මිනී මරන්න කියලා. අපි ඒවා ජනවාරි 8 වෙනිදා නැවැත්වුවා. අද අගමැතිතුමාට මාධ්‍යවේදීන් කියන දේවල් එදා කිව්වා නම් ලසන්ත වික්‍රමතුංගලා, ලක්මාල්ලා, එක්නැලිගොඩලා වගේ මාධ්‍යවේදීන් 34ක් අතුරුදන් කරපු විදිහට ඒ අයත් අතුරුදන් වෙනවා.

අද සමහර අය කියනවා තලතා අතුකෝරළ අවුරුදු 20ක හිර දඩුවම් දෙන්න යනවා කියලා. ඒ අයගේ කාලේ කරපු දේවල් තමයි. ඒ අයගේ කාලේ තමයි නීතිපති දෙපාර්තමේන්තුව ජනාධිපතිවරයා යටතේ තියාගෙන අග්‍රවිනිශ්චයකාරවරිය ඒ අය කැමති දේ කළේ නෑ කියලා පැය 48න් ගෙදර ඇරියේ. අපි බොහොම සතුටින් කියනවා මහින්ද රාජපක්ෂ වගේ වැඩ කරන ජනාධිපතිවරයෙක්වත්, අගමැතිවරයෙක්වත්, අධිකරණ ඇමතිවරියක්වත් දැන් නෑ. නඩුකාරයට කියලා නඩුව වෙනස් කරනවා. තීන්දුව වෙනස් කරනවා. නීති වෙනස් කරනවා කියන අය නීති විද්‍යාලයේ කානුවක්වත් අතුගාන්න වටින අය නෙවෙයි. ඒ තරම් බුද්ධියක්වත් නැති මිනිස්සු තමයි මේ ගැන කතා කරන්නේ. නීතිය ගැන දන්න හැදිච්චකම තියෙන සීලාචාරකමක් තියෙන සදාචාරය අනුව ජීවත් වෙන මිනිස්සුන්ට ඒ වගේ හැඟීම් ඇති වෙන්නේ නෑ. කොයි තරම් හොරා කරන්න හැදුවත් රනිල් වික්‍රමසිංහගේ ඇගේ ඔය ලේබල් එක ගහන්න කිසි කෙනෙක්ට පුළුවන් කමක් නෑ. 

නව අදහස දක්වන්න