පසුගිය වසර තුනේ අපරාධ 35% කින් අඩු වෙලා | දිනමිණ

පසුගිය වසර තුනේ අපරාධ 35% කින් අඩු වෙලා

චමීර ඇල්ලදෙණිය

ශ්‍රී ලංකාව තුළ අපරාධ සිදුකිරීම් පසුගිය වසර තුන ඇතුළත සියයට 35කින් අඩුවී ඇති බවත් අපරාධ විසඳුම් ප්‍රමාණය සියයට 20කින් වැඩිවී ඇති බවත් නීතිය, සාමය හා දක්ෂිණ සංවර්ධන ඇමැති සාගල රත්නායක මහතා අනාවරණය කළේය.

2014 වසරට වඩා 2017 වසර තුළ අපරාධ සිදුවීම් සියයට 35කින් අඩුව ඇති බවත් අපරාධ විසඳීම 2014 සියයට 58ක්ව පැවැති අතර. එය 2017 වන විට සියයට 78 දක්වා වැඩිවී ඇති බවත් හෙළි කළේය.

ශ්‍රී ලංකා පොලිසිය හා ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය එක්ව අනතුරකින් පසු ප්‍රථමාධාර ලබාදීමේ වැඩමුළුවේ ආරම්භක අවස්ථාවට ඊයේ (11) එක්වෙමින් ඇමැතිවරයා මේ අදහස් පළ කළේය.

පොලිසිය විසින් ජනතාවට සේවා සැපයීමට අදාළව නව තාක්ෂණය හා පහසුකම් ලබාදීමට රජය සැමවිටම කටයුතු කර ඇති බවත් ඉදිරියේ දී නව තාක්ෂණය තව දුරටත් ලබාදීමටත් කටයුතු කරන බවත් හෙතෙම පැවැසීය.

පොලිස් නිලධාරීන් සිදු කරන මෙහෙවර ඇගයීම සඳහා වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන අතර, ඔවුන්ගේ ජීවන තත්ත්වය එමඟින් ඔසවා තැබීමට හැකියාව පවතින බව ද රත්නායක මහතා පෙන්වා දුන්නේය.

නීතිය, සාමය හා දක්ෂිණ සංවර්ධන ඇමැති සාගල රත්නායක මහතා-

රථ වාහන අනතුරු නිසා දිනකට දහයක් ජීවිත නැති වෙනවා කියා වාර්තාවේ සඳහන් වෙනවා. මේ අනතුරුවලින් පසු ජීවිත නැතිවීමේ ප්‍රමාණය වැඩි වෙනවා. අනතුරට ලක් වූ තුවාලකරුවන් රෝහලට ප්‍රවාහනය කරන ආකාරය නිසා. සමහරු කලබලේට තුවාලකරුවන් ඇදල ගන්නවා. මේ සියල්ල කරන්නෙ ජනතාව හොඳ අරමුණකින් වුණත් ප්‍රවේශමෙන් සිදු නොකළහොත් හානි සිදු වෙනවා. ගිලන් රථයක් එතනට පැමිණි විට ඔවුන් ඉතා ප්‍රවේශමෙන් තමයි කටයුතු කරන්නේ. ඒ නිසාමයි රතු කුරුස සංගමය සමඟ කතා කරලා මේ පිළිබඳ දැනුම ලබාදීමට හැකියාවක් තිබෙනවාද කියා. මේ සඳහා වැඩි වශයෙන් දායක වෙන්නේ පොලිස් නිලධාරීන් හා ත්‍රිරෝද රථ රියැදුරන් නිසා ඔවුන්ට මේ පුහුණුව ලබාදීමට අප සැලසුම් කළා. මූලික ප්‍රථමාධාර කටයුතු කර රෝහලට පරිස්සමින් යන්නේ කියා මෙහි දී කියා දෙනවා. මෙහි පළමු අදියර අප කළා. මේ ආරම්භ කරන්නේ දෙවන පියවරයි. අපි මෙය තවත් පුළුල් කරන්න බලාපොරොත්තු වෙනවා. පුහුණුවන අයගේ ත්‍රීවීලරයේ ස්ටිකරයක් ඇලවීමට කටයුතු කරනවා. ඒ පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමක් ද සිදු කරනවා. ත්‍රිරෝද රථ හිමියන්ගේ පැමිණීම ඉතාම වැදගත් වෙනවා වගේම මම එය අගය කරනවා.

රථ වාහන පොලිසියේ ඉන්න නිලධාරීන් පුදුම දුකක් විඳිනවා. අවුව කියා පැත්තකට වෙලා ඉන්න බැහැ. වැස්ස කියා පැත්තකට වෙලා ඉන්න බැහැ. මගේ ප්‍රශංසාව පුද කරනවා. අද කොළඹ වගේ නගරවල විශාල ප්‍රශ්නයක් තිබෙනවා. මේ නගරය සැලසුම් කළේ මේ තරම් රථ වාහනවලට ඔරොත්තු දෙන්න නොවෙයි. තවත් මාර්ග පුළුල් කරන්න විදිහක් නැහැ. ඒ නිසා මේ අභියෝගයට මුහුණු දෙන්න නම් රියැදුරන්ගේ විනයක් තිබිය යුතුයි. රාජකාරිය වෘත්තීය මට්ටමින් කරන්න. තමන් නිවැරැදිව රාජකාරිය ඉටු කරන්න. සමාජජාල මාධ්‍යයෙන් විවිධ චෝදනා කළාට ඒවාට උත්තර දෙන්න යන්න එපා. නවීන තාක්ෂණය භාවිත කරන නව වැඩපිළිවෙළක් අපි ඉදිරියේ දී සකස් කරනවා. නීති උල්ලංඝනය කරද්දී කැමරාව භාවිත කර ඡායාරූප සමඟ දඩ කොලය නිවසට යැවීමේ වැඩපිළිවෙළක් අපි නිර්මාණය කරනවා. එය අත්හදා බැලීමේ වැඩසටහනක් ලබන මාසයේ දී ආරම්භ කරනවා. දඩකොලේ ගෙදරට ගිය විට කොලේට තමයි බැණ ගන්න චෝදනා කරන්න වෙන්නේ. ඔවුන්ට පුළුවන් ඒ දඩ කොලේ භාවිත කර උසාවි යන්නත් පුළුවන්. නැතිනම් ගෙවල ගැලවෙන්න පුළුවන්. තව ටිකක් කල් යනවිට රියැදුරු බලපත්‍ර ඔන් ලයින් ක්‍රමයට පැමිණි විට රියැදුරන් කරන වැරැදි එහි සටහන් වෙනවා. පොලිස් නිලධාරීන්ටත් අපි උපකරණයක් දෙනවා රියැදුරු බලපත්‍ර පරීක්ෂා කිරීමටත් රියැදුරුගේ විස්තර ලබාගැනීමටත්. අපිට මේ තරම් නිලධාරීන් රථවාහන සඳහා ඉන් පසුව යෙදීමට අවශ්‍යතාවක් නැහැ. ඒ අය ජනතාවගේ වෙනත් ප්‍රශ්න සොයා බැලීමට යෙදවිය හැකියි.

අපරාධ අඩු කිරීමට මේ අය යෙදවිය හැකියි. අපි ඔබලා වෙනුවෙන් ගත හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ගැනීමට කටයුතු කරනවා. මේ නිලධාරීන් කරන සේවය අපි ඇගයිය යුතුයි. රථවාහන අංශයේ නිලධාරීන් කරන සේවය අනුව දුෂ්කරතාව අනුව තවත් දීමනාවක් ලබාදීමට සැලසුම් කර තිබෙනවා. එම දීමනාව ලබාදීමට එකතු කරන දඩමුදල්වලින් කොටසක් ලබාදීමට හැකියාව තිබෙනවා. ඒ පිළිබඳව කැබිනට් එකටත් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඔබ කරන සේවය හොඳ නිසයි මේ දේ කරන්නේ.

අපේ රටේ සිදුව තිබෙන අපරාධ ප්‍රමාණය අඩුවීමක් පෙන්නුම් කරනවා. බල අපරාධ කියන අංශය 2014ට වඩා 2017 වන විට සියයට 35කින් අඩුවී තිබෙනවා. අපරාධ විසඳුම් සියයට 58 සිට සියයට 78 දක්වා වැඩිවී තිබෙනවා. එය හොඳ ප්‍රතිඵලයක්. ජනතාවට හොඳ පරිසරයක් නිර්මාණය කිරීමට අද කරන වැඩමුළුවත් ඉතාම විශේෂයි.

පොලිස්පති පූජිත ජයසුන්දර මහතා-

ඇමැතිවරයාගේ උපදෙස් මත අරැඹි මේ වැඩමුළුව අද සිදු කරන්නේ දෙවන වතාවටයි. මෙහි දී රථවාහන අනතුරුවලින් දිනකට අටදෙනකු පමණ මරණයට පත් වෙනවා. 15 දෙනකු පමණ බරපතළ තුවාලවලට ලක් වෙනවා. මේ වැඩමුළුව නිසා අනතුරකින් පසු රෝගීන්ට දිය යුතු ප්‍රථමාධාර පිළිබඳ පොලිස් නිලධාරීන්ට හා ත්‍රිරෝද රථ රියැදුරු මහතුන්ට ලබාදෙනවා. මක්නිසාදයත් ඔවුන් තමයි අනතුරක දී වැඩියෙන්ම දායකත්වය සපයන්නේ. රෝගීන් රෝහලට ගෙන යන්නේද ත්‍රිරෝද රථ රියැදුරු මහතුන්මයි. ඒ නිසයි අප ඒ අයටත් මේ පුහුණුව ලබාදෙන්නේ. ඔවුන් අද ජීවිත බේරා ගැනීමේ පෙරමුණක් ලෙස මේ වැඩමුළුවෙන් පසු ඉදිරිපත් වේවි. රථ වාහන පොලිසියේ රාජකාරිය පිළිබඳ ඇගයීමට අපට කිසිදු ගැටලුවක් නැහැ. රථවාහන පොලිස් නිලධාරීන් තමයි පළමුවෙන්ම මර්ගයට යන්නේත් රාත්‍රියේ අවසානයට මාර්ගයෙන් පැමිණෙන්නේත් ඔවුනුයි. ඒ නිසයි රථ වාහන පොලිස් නිලධාරීන්ට මේ පුහුණුව ලබාදෙන්නේ. අනතුරින් තුවාල ලබන රෝගීන් බේරා ගැනීමට පුහුණුවක් වගේම මානසික සුවතාවයක් වැදගත් වෙනවා. එය මෙහි දී ලබාදෙනවා. ඔබ සේවයක් කරන්නේ.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ, නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක, රතු කුරුස සංගමයේ ශ්‍රී ලංකා සභාපති ජගත් අබේසිංහ මහත්වරු ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

ඡායාරූප - රොෂාන් පිටිපන 

නව අදහස දක්වන්න