බන්ධනාගාර‍යක් පමණක් නොවේ | දිනමිණ

බන්ධනාගාර‍යක් පමණක් නොවේ

මහර බන්ධනාගාරය මීට වසර එකසිය හතළිස් දෙකකට පමණ පෙර ඉංග්‍රීසි පාලන සමයේ ඉදිකර ඇති බව පැරැන්නන් පවසන අතර බන්ධනාගාරයේ ගොඩනැගිල්ලක මෙය ක්‍රිස්තු වර්ෂ 1875 දී ඉදිකර ඇති බවට සටහනක් තිබේ. අතීතයේ මෙම ප්‍රදේශය ආශ්‍රිතව යුද හමුදා කඳවුරක් තිබී ඇත. එවක දුම්රිය මාර්ග ඉදිකර මෙම භූමියේ කළුගල් කඩා දුම්රිය මඟින් කොළඹ වරායට සහ කටුනායක ගුවන් තොටුපළට ප්‍රවාහනය කර ඇති බව ද සඳහන් වේ. එම කාලයේ මේ ප්‍රදේශයේ ගල් වළවල් දෙකක් තිබී ඇති බවත්, එම ගල් වළවල්වල සම්ප්‍රදායික ක්‍රම උපයෝගී කරගෙන ගල් කඩා ඇති බවත් සඳහන් වේ.

මේ වන විට මෙම භූමියේ කළුගල් කැඩීම නොකෙරේ. එහෙත් එවකට ගල් කැඩීමට යොදාගත් පැරණි ගල් වළවල් තවමත් තිබේ.

බන්ධනාගාර භූමිය තුළ එළවළු වගාකිරීමේ ගොවිපළක් පවත්වාගෙන යන අතර එයින් ලැබෙන නැවුම් එළවළු රැඳවියන්ගේ ආහාරයට ගැනීමට සහ ප්‍රදේශවාසීනට විකිණීමට කටයුතු කෙරේ. බන්ධනාගාර භූමියේ ඉදිකරන ලද නව ගොඩනැගිලි අතර මුල් කාලයේ ඉදිකෙරුණු පැරණි ගොඩනැගිලි මේ දක්වා මෙම භූමියේ පිහිටා තිබේ. රැඳවියන්ට ආගමික කටයුතු කිරීම සඳහා විහාරස්ථානයක් ද ඉදිකර තිබේ. රැඳවියන් නිපදවන කොහු, පාපිසි, ඉදල්, ලණු, රෙදි ආදිය විකුණා ලැබෙන මුදල් රැඳවියන්ගේ සුබසාධන කටයුතු සඳහා යෙදවීමට කටයුතු කරති. බන්ධනාගාරයේ ක්‍රීඩාංගණය විවිධ උත්සව සහ ක්‍රීඩා තරග සඳහා කුලී පදනම මත ලබාදීමට ද බලධාරීන් කටයුතු කරති. මීට අමතරව උත්සව සඳහා අවශ්‍ය නැටුම් කණ්ඩායම් ඉදිරිපත් කර එයින් ලැබෙන මුදල් ද රැඳවියන්ගේ සුබසාධන කටයුතු සඳහා යොදා ගැනේ. රැඳවියන් කොණ්ඩ කැපීම, රැවුල් බෑම, ආපනශාලාවේ ආහාර පිසීම ඇතුළු විවිධ කටයුතු සිදු කරති. අතීතයේ මෙම බන්ධනාගාරය ආශ්‍රිතව එළගවයන්, ඌරන් සහ එළුවන් වැනි සතුන් ඇතිකිරීමට කටයුතු කර තිබේ.

මෙහි ඇති සමහර පැරණි ගොඩනැගිලි ප්‍රතිසංස්කරණය කර ඇති නමුත් සමහර පැරණි ගොඩනැගිලි අබලන් තත්ත්වයෙන් පවතී. මහර බන්ධනාගාර අධිකාරි ටී. අයි. උඩුවර මහතා මෙම බන්ධනාගාරය පවත්වාගෙන යාමට ඉමහත් මෙහෙයක් ඉටුකරයි.

ගණිඳු රෝචන සමරතුංග
මහර සමූහ


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...