මාන්නප්පෙරුමගේ වී වගා වික්‍රමය | දිනමිණ

මාන්නප්පෙරුමගේ වී වගා වික්‍රමය

රට පුරා පොහොර හිඟයක් ඇතිවීමෙන් ගොවි ජගතාව පීඩාවට පත්ව උද්ඝෝෂණ කරන යුගයක පුරා දස වසරක් තිස්සේ රසායනික පොහොර හෝ කෘෂි රසායන බිඳකුදු යෙදවීමක් නැතිව සාර්ථක ලෙස දේශීය වී වගාවේ නිරතව සිටින ගොවි මහතකු නිට්ටඹුව ගොවිජන සේවා බලප්‍රදේශයේ දෙල්ගමුව කුඹුරු යායේදී හමුවිය.

මේ ආකාරයෙන් වස විසෙන් තොරව දේශීය වී ගොවිතැන නඟාසිටුවන්නට පෙරමුණ ගෙන සිටින්නේ නිට්ටඹුව හුඹුටියාවේ සමන් පුෂ්පසිරි මාන්නප්පෙරුම (54) මහතාය.

ඔහු අපට හඳුන්වා දුන්නේ නිට්ටඹුව නැඟෙනහිර වසමේ කෘෂිකර්ම පර්යේෂණ සංවර්ධන සහකාර එම්. ඒ. එස්. එස්. කේ. මුදන්නායක මහතා විසිනි. දස වසරකට පමණ පෙර අතුරලියේ රතන හිමියන්ගේ මැදිහත්වීමකින් ලැබුණු දේශීය වී බීජ අහුරකින් ආරම්භ කළ ‍ගමන මේ වන විට විශාල පිරිසකට බීජ වී සැපයීම දක්වා වර්ධනය කර ගන්නට ලැබී ඇතැයි සමන් මහතා කියයි.

ගතවූ කන්නයේදී ද ඔහු වී ලාස් විස්සකට වැඩි ප්‍රමාණයක පච්චපෙරුමාල්, කුරුළු තුඩු සාර්ථක ලෙස වගාකර ඇත. මේ කන්නයේදී අතරින් පතර වැඩුණු වෙද හීනටි තෝරා බේරාගනිමින් ඉදිරි කන්නයේදී තවත් ගමනක් යන්නට ඔහු පෙරුම් පුරමින් සිටී. ගතවූ වසර දහයක් තිස්සේ තම වී වගාවට කොම්පෝස්ට් පොහොර හැරෙන්නට වෙනත් කිසිම රසායනික ද්‍රව්‍යයක් නොදැමූ බව සමන් පුෂ්පසිරි මහතා පැවසුවේ මහත් ආඩම්බරයෙනි. යායේ තෙල් පෝර යොදා දෙමුහුන් වී වගා කළ කුඹුරු රැසක් මේ වතාවේ කීඩෑ උවදුරට ලක්ව විනාශ වී ඇතත් සමන් මහතාගේ වී වගාවට කිසිදු ආකාරයක හානියක් වී නැති බව හොඳින්ම දැකිය හැකිය.

සමන් පුෂ්පසිරි මාන්නප්පෙරුම මහතා -

ඉස්සර තෙල් පෝර යොදා උපරිම සටනක් දීලා වී බුසල් 75 - 80 ක් විතර මම අරගත්තා. දැන් මම තෙල්වලට පෝරවලට සතයක්වත් වියදම් කරන්නේ නැහැ. ඉස්සර කන්නයකට තෙල් ගහන්න විතරක් රුපියල් හාර පන්දහසක් වියදම් කරන්න වුණා. දැන් තෙල් පෝර නොදා සෑම කන්නයකම වී බුසල් 65 -70 ක් විතර මට ලබාගන්න පුළුවන් වුණා. ඒ අතින් බලනකොට මට ලාභයක් තියෙනවා. මගේ බත් ඇටයකට වස විස මුසුවෙලා නැහැ. ලෙඩෙකුට දේශීය වී හාල් ටිකක් දෙන්න වුණාම මට මහත් සතුටින් එය දෙන්න පුළුවන්. වස විස නැති බත් කන්න ගත්තට පස්සේ ලෙඩ දුක් කරදරත් අඩුයි. ඕනෑවට වැඩියෙන් හොයන්න වියදම් කරලා මහන්සි වෙන්නේ නැතිව අඩු වියදමින් ටිකක් අඩුවෙන් හරි හම්බ කර ගැනීමෙන් මට මහත් සතුටක් දැනෙනවා.

නිට්ටඹුව ගොවිජන සේවා ‍කාර්යාලයේ නිලධාරීන්ගෙන් ලත් උපදෙස් මත වී වගාව සඳහා පැරෂුට් ක්‍රමය යොදාගැනීමෙන් පසුව වඩාත් සාර්ථකව පවත්වාගෙන යාමේ අවස්ථාව උදා වී ඇතැයි ද ඔහු සඳහන් කළේය. තෙල් පෝර සඳහා විදේශයන්ට අපේ මුදල් කාබාසිනියා නොකර කාබනික පොහොර යොදමින් අපේ වී වගා කර ජය ගන්නට අත්වැල් බැඳගන්නැයි සමන් මහතා ශ්‍රී ලාංකේය ගොවි ජනතාවගෙන් ඉල්ලීමක් ද කරයි.

කොටදෙණියාව සමූහ

 

නව අදහස දක්වන්න