ගමක් බබළවන පුතෙක් | දිනමිණ

ගමක් බබළවන පුතෙක්

ඉන්ද්‍රාණි තෝරදෙණිය
කරුණාරත්න මහතා සිය බිරිය සමඟ

මම ගියේ ඉස්කෝලේ හතරේ පංතියට . අපේ පවුලේ දොළොස් දෙනයි. මගේ ළමා කාලය ගතකළේ අඩුපාඩුකම් දහසක් මධ්‍යයේ. දුප්පත්කමේ දුක මම හොඳින් හඳුනනවා. මම අද කොතන හිටියත් දිළිඳුබවින් පෙළෙන අයට උදව් කිරීම මගේ එකම සතුටයි. එසේ පවසන්නේ දුප්පත්කමේ පතුලේ සිට උත්සාහය තුළින් ධනවත්කමේ මුදුනට නැඟ සමාජයේ පොඩි මිනිසා වෙනුවෙන් පුද්ගලික ධනයෙන් අමිල සේවාවක් කරන මහනුවර හාරගම පදිංචි බි.එම්. කරුණාරත්න මහතාය.

මගේ ගම මයිලපිටිය. අපේ අම්මට තාත්තට අපි ඔක්කොටෝම උගන්වන්න පුළුවන්කමක් තිබ්බේ නැ. එදා වේල වුණත් මේ ලොකු පවුලට හොයා ගත්තේ අමාරුවෙන්. මම ගියේ මයිලපිටිය ඉස්කෝලේ හතරේ පංතියට. එතනින් එහාට ඉගෙන ගන්න වත්කමක් අපිට තිබුණේ නැ.

මට ටිකක් තේරෙන වයසෙදි ගුරුදෙණියට ඇවිත් රුපියල් පන්සියයකින් එළවළු කඩයක් පටන් ගත්තා. මාසේ කුලිය රුපියල් දහයයි. ඒ රුපියල් දහය දෙන්නෙත් වාරික තුනකට. 1985 වසරේ වික්ටෝරියාවට ඉඩම් යට වුණාට පස්සේ හාරගමින් ඉඩම් ලැබුණා. හාරගම පොඩි සිල්ලර කඩයක් දාගත්තා. මම එහේ ඉඳන් පොල් එකතුකරගෙන මහියංගණය, ගිරාඳුරුකෝට්ටේ වැනි ඇත පළාත්වලට වෙළඳාමේ ගියා. අවුරුදු දහයක් විතර මේ වෙළඳාම කළා. පස්සේ මම මේ ඉන්න තැන පොඩි හාර්ඩ් වෙයාර් එකක් දාගත්තා. ඒ කාලේ මේ ඉඩම ගත්තේ පර්චර්ස් එකක රුපියල් දාහකට.

ඒ වන විට අපි විවාහ වෙලා හිටියේ. ඒ යෝජනාවකින්. මගේ තාත්තායි, නෝනගේ තාත්තයි යාළුවෝ. එයාලා කතාකරගෙන අපේ විවාහය සිදුවුණා. එයා ඒ කාලේ ළදරු පාසල් ගුරුවරියක්. හොඳින් ඉහළට අධ්‍යාපනය ලබපු කෙනෙක්. එයාගේ පවුලෙත් දොළොස් දෙනයි. එයා හතරට ගිය මගේ අධ්‍යාපනය ගැන හිතුවේ නෑ. කැමැත්තෙන් අපි විවාහ වුණා. ඉන් පස්සේ අපි දෙන්නම එකතු වෙලා මේ ව්‍යාපාර කර ගෙන ගියා. අපිට දරුවෝ තුන් දෙනෙක් ඉන්නවා. දුවලා දෙන්නයි පුතයි. දැන් පුතයි මායි දෙන්නම තමා මේ ව්‍යාපාරය කරගෙන යන්නේ.

අපේ ව්‍යාපාර දැන් හොඳ මට්ටමට දියුණු වෙලා. හොඳ ආදායමක් ලැබෙනවා. නමුත් මම හැම තප්පරයකම ජිවත් වන්නේ මගේ අතිතයත් එක්ක. හැමදාම මම නින්දට ගියාම මගේ අතීතය පිළිබඳව කල්පනා කරනවා. ඒ දුක අදටත් මගේ හදවතට දැනෙනවා. ඒ නිසා හැකි හැම වෙලාවෙම මම උපයන දෙයින් දුප්පත් ජනතාව වෙනුවෙන් යමක් කරන්ට බලාපොරොත්තු වෙනවා. ඒක මට ලොකු සතුටක්.

මහවැලි කේෂ්ත්‍ර අංක තුනෙහි ජිවත් වන ජනතාවට අවුරුදු තිස්පහක් විතර වතුර තිබුණේ නෑ. අති දුෂ්කර ජිවිතයක් ගත කළේ . ඒ ගමට වතුර ලැබුණු ගමන් මම වතුර ටැංකි හැටක් ඒ ඒ ගෙවල්වලට අරගෙන දුන්නා. ජලය ගන්න බැරි නිවෙස්වලට වතුර ගැනීමට උපකාර කළා. වසර හතළිහකින්වත් වතුර ලැබි නැති තව ගමකට මේ ළඟදී වතුර ලැබෙනවා. ඒ ගමටත් අවශ්‍ය වතුර ටැංකි ලබා දිම මගේ බලාපොරොත්තුව.

අපේ ගමේ තැපැල් කන්තෝරුවෙන් පිං පඩි නාම ලේඛනය අරගෙන ඒ අයට පෝෂණ මල්ලක් ලබා දීම වසර ගණනක් පුරාවට කරගෙන එනවා. ඒක ලැබුණම ඒ අයගේ මුහුණුවල තියෙන සතුට දැක්කම පුදුම සතුටක් දැනෙන්නේ. මයිලපිටිය මගේ උපන් ගමේ මගේ ඉඩමක ප්‍රජා ශාලාවක් හදනවා. මම ඒ ඉඩම පරිත්‍යාග කළා. තව එම ගොඩනැඟිල්ල හදන්නත් ආධාර කරනවා. ඒ ගමේ සමිතිවල සාමාජකයින් සියයකට වඩා ඉන්නවා. ඒ අය සමිතිවල රැස්වීම් පවත්වන්නේ ගෙවල්වල. ප්‍රජාශාලාවක දැඩි අවශ්‍යතාවයක් ඔවුන්ට තියෙනවා.

හාරගම ජයසුන්දරා රාමයේ මකර තොරණ සාදා දුන්නා. විහාර ගෙයක් හදනවා . ඒ විහාර ගෙට රුපියල් ලක්ෂ නවයක් පරිත්‍යාග කළා. පන්සලේ වතුර බිල, ලයිට් බිල ගෙවිම වසර ගණනක් පුරා මම ඉතාම සතුටින් කරන කටයුත්තක්. ඒ වගේම බොහෝ විහාරස්ථානවලට උදවු උපකාර කර තිබෙනවා.

වකුගඩු රෝගින්ට, ලේ දන්දීමේ කටයුතුවලට උදවු උපකාර කරනවා. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු පාසල්වල අවශ්‍යතා වගේ ගොඩාක් ඉල්ලීම් මගෙන් බලාපොරොත්තුව පැමිණෙනවා. අවශ්‍යතාවය බලා මට පුළුවන් තරමින් මුදලින් යමක් කිරීම තමා මගේ එකම බලාපොරොත්තුව. මේ ගමන යන්න මගේ බිරියගෙන් මට ලැබුණ සහයෝගය අති විශාලයි. මගේ උත්සාහය කැපවීම නිසා ලොකු අධ්‍යාපනයක් නැතත් අද දෙපයින් සිටගෙන තවත් අයකුට උදවු කරන්න පුළුවන් තැනකට ඇවිත් තියෙන්නේ. අදටත් මම අවදි වෙන්නේ පාන්දර දෙකට. ඒ කාලය දවසේ වැඩවලට ගොඩාක් වටිනවා.

ඔහු කුමන දේශපාලන පක්ෂයකට බරදැයි දැන ගැනීමට අප තුළ වූයේ කුතුහලයකි. අපි ඒ පිළිබඳව ඔහුගෙන් විමසුවෙමු.

"මට පාටක් පක්ෂයක් විශේෂ නෑ. එන ඕනැම කෙනෙක් සුහදව පිළිගන්නවා. හැකි විදිහට සලකනවා. මම ඒ පසුපස ගොස් බැබලෙන්න හිතන්නෙ නෑ. මට ඕනේ මගේ දැතේ ශක්තියෙන් මගේ ව්‍යාපාර දියුණු කරගෙන යහපත් ජිවිතයක් ගෙවන්න. තනතුරු සම්මාන පස්සේ මම දුවන්නෙ නෑ. වෙළෙඳ ආයතනවලින් ප්‍රගතියට ලැබෙන සම්මාන ළඟටම ගෙනැත් දෙනවා. ඒ හැරුණු කොට සම්මාන පස්සේ හඹාගෙන ගොස් ඒවා ගොඩ ගසා ගන්න මම කැමති නෑ.

ඒ උත්සාහවන්ත මිනිසා, හිත හොඳ මිනිසා,තමන්ගේ දුප්පත් අතිතය තුළ ජිවත්වෙමින් අන් අය දෙසද කරුණාබර දෑසින් බලන මිනිසා, අද හාරගම ගුරුදෙණිය ප්‍රදේශයේ ප්‍රධාන ධනවතුන්ගෙන් කෙනෙකි. ඔහු එම ප්‍ර දේශයට සම්පතකි. සමාජයටත් රටටත් වැඩක් ඇති ඔහුගේ ඉදිරි කටයුතුද සාර්ථක වන තරමටම තවත් දිළිඳු හදකට සැනසිමක් ලැබෙනු ඇත.


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...