හිරෙන් පැන්න හොරා අත්අඩංගුවට | දිනමිණ

හිරෙන් පැන්න හොරා අත්අඩංගුවට

වලස්ගල සමූහ - ලක්ෂ්මන් කුමාරසිංහ

මෙයට වසර දෙකකට පමණ ඉහතදී මාතර අධිකරණයෙන් මාස 6ක සිරදඬුවම් ලබා තිබියදී බන්ධනාගාර බස් රථයේ නිලධාරීන්ගෙන් මිදී පලාගිය සැකකරුවකු දික්වැල්ල, අලුත්පාර ප්‍රදේශයේදී මහත් පරිශ්‍රමයක් දරා පසුගියදා අත්අඩංගුවට ගැනීමට දික්වැල්ල පොලිසිය සමත්වී ඇත.

මොහු 40 හැවිරිදි දෙදරු පියකු වන අතර හිටපු හමුදා සෙබලෙකි. ගන්දර, වව්නියාව, තංගල්ල, දික්වැල්ල යන පොලිස් කොට්ඨාසවල සිදුකරන ලද සිද්ධීන්වලට අදාළව විවෘත වරෙන්තු 6ක් තිබී ඇත.

ජීව අත්බෝම්බයක් ළඟ තබාගැනීම, ගෙවල් බිඳීම්, කොල්ලකෑම්, දේපළ සොරකම් කිරීම, අවි පෙන්වා බියගැන්වීම ආදී අපරාධ සඳහා මෙම වරෙන්තු නිකුත්කර තිබිණි.

මොහු බන්ධනාගාර නිලධාරීන්ගෙන් මිදී පලායාම හේතුවෙන් ඔවුන් 6 දෙනකු වැඩ තහනමට ලක්කර තිබිණි.

අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක කරවිට මහතාට ලැබුණු රහසිගත තොරතුරක් මත මොහු අත්අඩංගුවට ගැනීමට හැකිවිය.

එම අවස්ථාවේදී ‍පොලිස් නිලධාරීන්ගෙන් මිදී ඔවුන්ට පහරදී පලායාමට උත්සාහ කළද එය අසාර්ථක වී ඇත.

දික්වැල්ල වැඩබලන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කෞශල්‍ය නානායක්කාර මහතාගේ උපදෙස් පරිදි අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ගයන්ත කරවිට මහතාගේ ‍මෙහෙයවීමෙන් පො. කොස්තාපල්වරුන් වන (68082) මධූෂ (72937) මිලාන් (89394) ප්‍රසන්න යන නිලධාරීන් සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ. 

නව අදහස දක්වන්න