ක්‍රිකට් පිටියේ පොඩ්ඩන්ගේ ලෝක කුසලාන සටන හෙට | දිනමිණ

ක්‍රිකට් පිටියේ පොඩ්ඩන්ගේ ලෝක කුසලාන සටන හෙට

ලොව පුරා යොවුන් ක්‍රීඩකයන්ගේ ක්‍රිකට් පිටියේ දස්කම් උරගා බලන 12 වැනි 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය හෙට (13) නවසීලන්තයේදී ආරම්භ වෙයි.

රටවල් 16කගේ සහභාගිත්වයෙන් ලබන මස 3 වැනිදා දක්වා පැවැත්වෙන තරගාවලියට සත්කාරක නවසීලන්තය සමගින් ශ්‍රී ලංකාව, ඔස්ට්‍රේලියාව, බංග්ලාදේශය, එංගලන්තය, ඉන්දියාව, පාකිස්තානය, දකුණු අප්‍රිකාව, බටහිර ඉන්දීය කොදෙව්, සිම්බාබ්වේ යන රටවල් 10 අයි.සී.සී පුර්ණ සාමාජිකයන් ලෙස එක්වෙයි. නැම්බියාව 2016 තරගාවලියට සුදුසුකම් ලැබූ කණ්ඩායම් අතුරින් හොඳම කණ්ඩායම ලෙස මෙවර තරගාවලියට එක්වන අතර ඇෆ්ගනිස්තානය, කෙන්යාව, කැනඩාව, පැපුවා නිව්ගිනියාව හා අයර්ලන්තය සුදුසුකම් ලැබීමේ තරග මගින් ලෝක කුසලාන තරගාවලියට එක්විය.

මෙතෙක් පැවැති ලෝක කුසලාන තරගාවලියන්හිදි ඔස්ට්‍රේලියාව හා ඉන්දියාව තෙවරක් බැගින් ශූරයන් වී තිබේ. පාකිස්තානය පිට පිට දෙවරක් ශූරතාව දිනා ඇති අතර දකුණු අප්‍රිකාව, බටහිර ඉන්දීය කොදව් හා එංගලන්තය එක්වරක් බැගින් ශූරතාව අත්කරගෙන සිටී. යොවුන් ලෝක කුසලාන ඉතිහාසයේ ශ්‍රී ලංකාව අත්කර ගෙන ඇති ඉහළම ස්ථානය වන්නේ 2000 වසරේ ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පැවැති තරගාවලියේදී දී අනුශූරතාව හිමිකර ගැනීමයි. එවර ශූරතාව ඉන්දියාවට හිමිවිය. නවසීලන්තයද අනුශූරතාවක් පමණක් දිනා තිබේ.

මෙවර තරගාවලිය ලොව පුරා රටවල් 200ක ප්‍රේක්ෂකයන් බිලියන 1.3ක ප්‍රමාණයක් රූපවාහිනිය මගින් නරඹනු ඇතැයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කරයි.

‘ඒ’ කාණ්ඩය බටහිර ඉන්දීය කොදෙව් පිල

දකුණත් පිතිකරු එමානුවෙල් ස්ටුවර්ට්ගේ නායකත්වයෙන් මෙවර තරග බිමට එක්වන බටහිර ඉන්දීය කොදෙව් පිල පසුගිය තරගාවලියේ ශුරතාව දිනාගත් කණ්ඩායමය. කණ්ඩායමේ උපනායක කර්ස්ටන් කලිචරන් මෙවර තරගාවලියේදී කොදෙව් පිලේ කැපී පෙනෙන පිතිකරු බවට පත්වනු ඇත.

දකුණු අප්‍රිකාව

පසුගිය තරගාවලියේදී දැඩි පසුබෑමකට ලක්වූ දකුණු අප්‍රිකාව එවර පළඟ ශූරතා අවසන් පූර්ව තරගයේදී සිම්බාබ්වේ පිල හමුවේ පරාජයට පත්විය.

මෙවර රෙනාර්ඩ් වැන් ටොන්ඩර්ගේ නායකත්වයෙන් නැවත දස්කම් අතරට පිවිසීම දකුණු අප්‍රිකානු පිලේ අරමුණ වී තිබේ. පසුගියදා කොදෙව් පිල හමුවේ තරග 3-2කින් පරාජයට පත්වූවත් එම තරගාවලියේදී පිත්තෙන් දස්කම් පෑ මැතිව් බ්‍රීට්ස්කි කණ්ඩායමේ වැඩි බලාපොරොත්තු රැඳී ඇති පිතිකරුවාය. එමෙන්ම දකුණු අප්‍රිකානු පිලේ හිටපු වේගපන්දු යවන්නකු වන මකායා නිට්නිගේ පුත් තන්ඩෝ නිට්නි කෙරෙහි ද කණ්ඩායම ඉහළ බලාපොරොත්තු තබා සිටී.

නවසීලන්තය

සිය රටෙහි සත්කාරකත්වය මැද පැවැත්වෙන බැවින් මෙවර තරගාවලියේදී නවසීලන්තය යොවුන් පිලට වාසිසහගත තත්ත්වයක් නිර්මාණය වී තිබේ. තුන්ඉරියව් ක්‍රීඩක කේලම් බොෂියර්ගේ නායකත්වයෙන් තරග බිමට එක්වන නවසීලන්ත පිලට රචින් රවින්ද්‍ර, ෆින් ඇලන්, ඩේල් පිලිප් සහ ෆිලික්ස් මරී වැනි පසුගිය තරගාවලියේදී ක්‍රීඩා කළ ප්‍රබල ක්‍රීඩකයන් රැසක් ඇතුළත්ය.

කෙන්යාව

වසර 2002 තරගාවලියට පසුව පළමුවරට යොවුන් ලෝක කුසලාන තරගාවලියට එක්වන කෙන්යාව අප්‍රිකානු කලාපයේ සුදුසුකම් ලැබීමේ තරගාවලිය ජයගැනීමට සමත්වීමෙන් මේ අවස්ථාව උදාකරගත්තේය.

සචින් බුඩියාගේ නායකත්වයෙන් තරග වදින කෙන්යානු පිලේ 17 හැවිරිදි පිතිකරු ආමන් ගාන්ධි වැඩි අවධානයට ලක්වන ක්‍රීඩකයා වනු ඇත. ඔහු සුදුසුකම් ලැබීමේ තරගාවලියේ තරග 6කදී ලකුණු 261ක් ලබාගැනීමට සමත්විය. මීට අමතරව දඟපන්දු යවන්නන් වන ජෙරල්ඩ් මුතුල් සහ අභිෂේක් චිදාම්බරම් පන්දු යැවීමේ අංශය ශක්තිමත් කරනු ඇත.

‘බී’ කාණ්ඩය ඉන්දියාව

අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ඉතිහාසයේ වඩාත්ම සාර්ථක කණ්ඩායම් අතර ඉහළින් සිටින ඉන්දියාව මෙතෙක් ශූරතා 3කට සහ අනුශූරතා 2කට හිමිකම් කියයි. බංග්ලාදේශයේ පැවැති පසුගිය තරගාවලියේ අවසන් මහා තරගයට පිවිසි එකම අපරාජිත කණ්ඩායම බවට පත්වූ ඉන්දියාව එහිදී බටහිර ඉන්දීය කොදෙව් පිල හමුවේ පරාජයට පත්විය.

මෙවර තරගාවලියට ඉන්දියාව එක්වන්නේ ශක්තිමත් කණ්ඩායමක් ලෙසිනි. ඉන්දීය පිලේ ක්‍රීඩකයන් 7 දෙනකුම එරට පළමුපෙළ තරග අත්දැකීම් ලැබූ අය වෙති. කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරන ආරම්භක පිතිකරු ප්‍රිට්වි ෂෝ වසර 2013 දී ඉන්දියාවේ අන්තර් පාසල් තරගයක ලකුණු 546ක් රැස් කිරිමට සමත්විය.

උපනායක ශබ්නාම් ගිල්, දඟපන්දු යවන අභිෂේක් ෂර්මා, වේගපන්දු යවන්නන් වන කමලේෂ් නාගර්කෝට් මෙවර තරගාවලියේ ඉන්දීය පිලේ වැඩි බලාපොරොත්තු තබා ඇති ක්‍රීඩකයෝ වෙති.

ඔස්ට්‍රේලියාව

බංග්ලාදේශයේ පැවැති පසුගිය තරගාවලියට සහභාගි නොවූ ඔස්ට්‍රේලියාව මෙතෙක් කුසලාන 3කට හිමිකම් කියයි. මෙවර තරගාවලියේදී ඔස්ට්‍රේලියාවේ පළමුපෙළ තරගයකදී ශතකයක් රැස්කළ ලාබාලතම පිතිකරු බවට පත්වූ ජේසන් සංගා නායකත්වය දැරුවත් කැපී පෙනෙන ක්‍රීඩකයා බවට පත්වී සිටින්නේ ඔස්ට්‍රේලියාවේ හිටපු විශිෂ්ට පිතිකරු ස්ටීව් වෝගේ පුත් ඔස්ටින් වෝය.

එමෙන්ම ඔස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි ජේම්ස් සදර්ලන්ඩ්ගේ පුත් විල් සදර්ලන්ඩ් ද මෙවර තරගාවලියට ක්‍රීඩා කරති. ප්‍රබල ක්‍රීඩකයන් රැසකගෙන් සමන්විත ඔස්ට්‍රේලියාව මෙවර තරගාවලියේ වඩාත් ශක්තිමත් කණ්ඩායමක් බවට පත්වනු ඇත.

සිම්බාබ්වේ

බංග්ලාදේශයේ පැවැති අවසන් තරගාවලියේදී ක්‍රීඩාලෝලීන්ගේ ජනප්‍රියත්වය ලැබූ සිම්බාබ්වේ පිල පළඟ ශූරතා අවසන් පූර්ව තරගයේදී ප්‍රබල දකුණු අප්‍රිකාව පරාජය කිරීමෙන් කැපී පෙනෙන කණ්ඩායම බවට පත්විය. ඔවුන් මෙවර තරගාවලියට සහභාගි වන්නේ ලියම් රොච්ගේ නායකත්වය යටතේය. ඔහු දැනටමත් එරට පළමුපෙළ තරග වලට ක්‍රීඩා කරමින් සිටින අතර අනගි ශතකයකට ද හිමිකම් කියයි.

පැපුවා නිව්ගිනියා

අටවැනි වරටත් යොවුන් ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා සිටින පැපුවා නිව්ගිනියා කණ්ඩායම මෙහෙයවනු ලබන්නේ දකුණත් මැදපෙළ පිතිකරු වගී කරාහෝය. තුන්ඉරියව් ක්‍රීඩක ජේම්ස් ටවු කණ්ඩායමේ උපනායකයා ලෙස කටයුතු කරයි. වේගපන්දු යවන සිනකා අරුවා, ආරම්භක පිතිකරු ඉගෝ මහුරු වැඩි බලාපොරොත්තු තබා සිටින ක්‍රීඩකයෝ වෙති.

‘සී’ කාණ්ඩය එංගලන්තය

1998 පැවැති දෙවැනි යොවුන් ලෝක කුසලාන තරගාවලියේ ශුරතාව දිනූ එංගලන්ත පිල මෙවර තරගාවලියට එක්වී සිටින්නේ වසර 20කට පසුව නැවත කිරුළ අතට ගැනීමේ බලාපොරොත්තුව අතැතිවය.

හැරී බෘක්ගේ නායකත්වයෙන් යුතුව තරග බිමට පිවිසෙන එංගලන්ත පිලට ශ්‍රී ලාංකිකයකු ක්‍රීඩා කිරීම විශේෂත්වයකි. ඔහු මිඩ්ල්සෙක්ස් ප්‍රාන්ත යොවුන් පිලේ 18 හැවිරිදි සවින් පෙරේරාය. වමත් ආරම්භක පිතිකරුවකු වන සවින් මෙවර තරගාවලියේදී වැඩි දස්කම් දක්වනු ඇතැයි අනුමාන කෙරේ. මිට අමතරව තුන්ඉරියව් ක්‍රීඩක ටොම් ස්ක්‍රීවන් කෙරෙහි කණ්ඩායමේ වැඩි බලාපොරොත්තු රැඳී තිබේ.

බංග්ලාදේශය

පසුගිය තරගාවලියට සත්කාරකත්වය ලබාදෙමින් අවසන් පූර්ව වටය දක්වා පැමිණි බංග්ලාදේශ කණ්ඩායම මෙවර තරගාවලියේදී වැඩි දස්කම් දක්වනු ඇතැයි විචාරකයෝ කියති. සයිෆ් හසන්ගේ නායකත්වයෙන් තරග වදින බංග්ලාදේශ යොවුන් පිලට විශිෂ්ට පිතිකරුවකු ලෙස නම් දරා සිටින පිනැක් ගොෂ් ද එක්වී සිටී. ඔහු පසුගිය තරගාවලියේ පිත්තෙන් වැඩි දස්කම් පෑවේය.

නැමීබියාව

පසුගිය තරගාවලියේ කාගෙත් අවධානය දිනූ නැගී එන කණ්ඩායම බවට පත්වූ නැමීබියාව එවර ස්කොට්ලන්තය සහ දකුණු අප්‍රිකාව පරාජය කිරීම කැපී පෙනුණි. දකුණත් පිතිකරු ලොහාන් ලෝරන්ස්ගේ නායකත්වයෙන් තරග බිමට එක්වන නැමීබියාවේ 16 හැවිරිදි තුන්ඉරියව් ක්‍රීඩක ජැන් අයිසැක් මෙවර තරගාවලියේ දී සිය කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට දායකත්වයක් ලබාදෙනු ඇත.

කැනඩාව

අමෙරිකානු කලාපයේ සුදුසුකම් ලැබිමේ තරගාවලියෙන් මෙවර යොවුන් ලෝක කුසලාන තරගාවලියට පිවිසි කැනඩාව සුදුසුකම් ලැබීමේ තරගාවලියේදී අමෙරිකාව, බර්මුඩා රටවල් සමග පැවැති තරග 4න් 3ක්ම ජයගැනීමට සමත්විය. අමෙරිකාව සමග පැවැති තීරණාත්මක තරගයේදී ලකුණු 28කට කඩුලු 6ක් දවාලු රොමෙල් ශෙහ්සාඩ් මෙවර තරගාවලියේදී කැපී පෙනෙන දස්කම් දැක්වීමට බලාපොරොත්තු වෙයි. මීට අමතරව පිත්තෙන් දස්කම් පාමින් ලකුණු 52ක් ලැබූ අස්ලන් ඛාන් මෙවර තරගාවලියේදී කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරයි.

‘ඩී’ කාණ්ඩය ශ්‍රී ලංකාව

ශ්‍රී ලංකා යොවුන් පිල මෙවර තරගාවලියට එක්වන්නේ දෙඅතින්ම පන්දු යැවිය හැකි අසමසම හැකියාවෙන් පිරිපුන් තුන්ඉරියව් ක්‍රීඩක කමිඳු මෙන්ඩිස්ගේ නායකත්වය යටතේය. තුන්වැනි ස්ථානය සඳහා පැවැති තරගයෙන් බංග්ලාදේශය හමුවේ පරාජයට පත්වී සිවුවැනි කණ්ඩායම ලෙස ශ්‍රී ලංකා පිල නිමා කළ වසර 2016 යොවුන් ලෝක කුසලාන තරගාවලියේ වැඩි අවධානයකට ලක්වූ ක්‍රීඩකයා ද ඔහුය.

මෙන්ඩිස් මෙන්ම මෙවර උපනායකයා ලෙස කටයුතු කරන ජෙහාන් ඩැනියෙල් ද එවර තරගාවලියේ වැඩි දායකත්වයක් ලබාදුන්නේය. මෙවර කණ්ඩායමට එක්වී සිටින ක්‍රීඩකයන් අතර 2016 තරගාවලියට ක්‍රීඩා කළ ක්‍රීඩකයන් වන්නේ ඔවුන් දෙදෙනා පමණි. යොවුන් ආසියානු කුසලාන තරගාවලියේ වැඩිම කඩුලුලාභීන් අතර දෙවැනි තැනට පත්වූ දඟපන්දු යවන ප්‍රවීන් ජයවික්‍රමත් මෙවර ලෝක කුසලාන තරගාවලියේ වැඩි අවධානයට ලක්වනු ඇත. හසිත බෝයගොඩ, රශ්මික ඩිල්ෂාන්, අෂේන් බණ්ඩාර, නිපුන් මාලිංග සහ හරීන් බුද්ධිල කණ්ඩායමේ කැපී පෙනෙන ක්‍රීඩකයෝ වෙති.

පාකිස්තානය

අවුරුදු 19න් පහළ ලෝක කුසලාන තරග ඉතිහාසයේ සාර්ථකම කණ්ඩායම් අතරේ පසුවන පාකිස්තානය පිට පිට දෙවතාවක් ශුරතාව දිනූ එකම කණ්ඩායම ද වෙයි. වසර 2004 සහ 2006 තරගාවලි ජයගනිමින් පාකිස්තානය මේ වාර්තාව තැබුවේය. මීට අමතරව වාර 3කදී අනුශූරයන් වීමට ද පාකිස්තානය සමත්විය. එහෙත් පසුගිය තරගාවලියේදී ඔවුන් අර්ධ අවසන් පූර්ව වටයෙන් ඉවතට විසිවූයේ අවසානයේදී ශූරතාව දිනූ බටහිර ඉන්දීය කොදෙව් පිල හමුවේ පරාජයට පත්වීමෙනි.

පසුගිය තරගාවලියේ දී ලකුණු 293ක් රැස් කිරීමට සමත්වූ හසන් ඛාන්ගේ නායකත්වයෙන් යුතු පාකිස්තාන පිල ශක්තිමත් කිරීමට පසුගිය ආසියානු තරගාවලියේ දී කඩුලු 8ක් දවාලු මුනිර් රියාස් සහ ශහීන් අෆ්රිඩි ඇතුළත්වී සිටිති.. එහිදී අවසන් තරගයෙන් පාකිස්තානය පරාජය කරමින් ශූරතාව දිනාගැනිමට සමත්වූ ඇෆ්ගනිස්තානය මෙවර තරගාවලියේ දී එකම කාණ්ඩයක සිටීම පාකිස්තානයට දැඩි අභියෝගයක් වනු නිසැකය.

ඇෆ්ගනිස්තානය

ආසියාවේ විශිෂ්ටතම නැගී එන කණ්ඩායම වන ඇෆ්ගනිස්තානය ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියේදී අපරාජිතභාවය රැකගැනීමට සමත්වූ කණ්ඩායමකි. පසුගිය තරගාවලියේ පළඟ ශූරතාව දිනාගනිමින් සෙසු රටවල්වල දැඩි අවධානයට ලක්වූ ඇෆ්ගනිස්තානය මෙවර තරගාවලියේදී මෙහෙයවනු ලබන්නේ නවීන් උල් හක් විසිනි.

මෙවර තරගාවලියේ වැඩිම අවධානය දිනාගනු ඇත්තේ පාකිස්තානය පරදවා ශූරතාව දිනූ ආසියානු තරගාවලියේ අවසන් තරගයේදී ලකුණු 13කට කඩුලු 5ක් දවාලූ 16 හැවිරිදි මුජීබ් සද්රන්ය. ආසියානු තරගාවලියේ වීරයා සම්මානය දිනාගත්තේ ද මුජීබ්ය. අවසන් තරගයේදී විශිෂ්ට පිතිහරඹයක නිරතවෙමින් නොදැවී ශතකයක් රැස් කළ කඩුලු රකින පිතිකරු ඉක්රාම් අලි කිල් කෙරෙහි මෙවර ඇෆ්ගනිස්තානය වැඩි බලාපෙරොත්තු තබා සිටී. ඔවුන්ගේ ආරම්භක පිතිකරු යුගලය රහ්මනුල්ලා ගුර්බාස් සහ ඉබ්‍රාහිම් සද්රාන් මෙවර තරගාවලියේ කැපී පෙනෙන සෙසු පිතිකරුවන් වනු ඇත.

අයර්ලන්තය

යුරෝපයෙන් සුදුසුකම් ලැබීමේ අවස්ථාව උදාකරගනිමින් මෙවර ලෝක කුසලාන තරගාවලියට එක්වූ අයර්ලන්ත පිල මෙහෙයවනු ලබන්නේ හැරී ටොම් ටෙක්ටර් විසිනි. පසුගිය ලෝක කුසලාන තරගාවලියේ දී කැනඩාව සහ ස්කොට්ලන්තය පරාජය කිරීමටත්, ඉන්දියාවට සහ නවසීලන්තයට දැඩි අභියෝගයක් එල්ල කිරීමටත් අයර්ලන්තයට විශිෂ්ට දායකත්වයක් පන්දුවෙන් ලබාදුන් ජොෂුවා ලිට්ල් සහ ආරොන් කව්ලි කෙරෙහි මෙවර වැඩි බලාපොරොත්තු ගොඩනැගී තිබේ.

නිරෝෂාන් ප්‍රියංකර

නව අදහස දක්වන්න