කැලණි කේබල්ස් ජාත්‍ය­න්තර සම්මා­න­යට | දිනමිණ

කැලණි කේබල්ස් ජාත්‍ය­න්තර සම්මා­න­යට

ශ්‍රී ලංකාවේ අංක 1 ආරක්ෂිත විදුලි රැහන් වෙ‍ළෙඳ නාමය වන කැලණි කේබල්ස් PLC සමාගම, World Class Global Performance Excellence Awards සම්මානයෙන් පසුගිය දා පිදුම් ලැබීය. Asia Pacific Quality Organization (APQO) ආයතනය විසින් සංවිධානය කරන මේ World Class Global Performance Excellence Awards සම්මාන උළෙල පිළිපීනයේ මැනිලා නගරයේ පිහිටි ‘ඔකාඩා’ හෝටලයේ දී (Okada Hotel) පසුගිය දා පැවැත්විණ. 23 වැනි වරට පැවැති මෙවර සම්මාන උළෙලේ දී මහා පරිමාණ අංශයෙන් සම්මානයට පාත්‍ර වූ එකම ශ්‍රී ලාංකේය සමාගම වන්නේ ද කැලණි කේබල්ස් සමාගම වේ. ගෝලීය තත්ත්වයෙන් ප්‍රබලත්වයට පත් ආසියානු හා පැසිෆික් කලාපීය රටවල් 11ක ආයතන 22ක් මෙහි දී සම්මානයට පාත්‍ර වූහ. මෙය අමෙරිකාවේ Malcolm Baldrige Performance Excellence Awards සම්මාන උළෙලට සමානව පවත්වන්නකි. මේ කීර්තිමත් ජාත්‍යන්තර සම්මානය සඳහා සුදුසුකම් ලබන්නේ අදාළ වසරේ දී ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය SLSI පිරිනමන ජාතික තත්ත්ව සම්මානය හිමිකරගත් සමාගමට පමණි.

කැලණි කේබල්ස් සමාගමට World Class Global Performance Excellence Awards සම්මානය හිමිවීම සම්බන්ධයෙන් අදහස් දැක් වූ එම සමාගමේ අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී, මහින්ද සරණපාල මහතා පැවැසුවේ, ‘මෙරට ප්‍රමුඛතම සමාගමක ලෙසින් කැලණි කේබල්ස් සමාගම, නිරන්තරයෙන්ම දේශීය සම්මානයට පාත්‍රවෙනවා. දැන් අප සමාගම විදේශීය වෙළෙඳ පොළ ග්‍රහණය කර ගැනීමේ වේගවත් ගමනක යෙදෙන ආයතනයක්. දැනටමත් කැලණි කේබල්ස් වෙළෙඳ නාමය විදේශ රටවල විදුලි රැහැන් ක්ෂේත්‍රයෙහි පෙරමුණෙහි පවතින සන්නාමයක්. එහෙයින් ජාත්‍යන්තර තත්ත්වයේ ක්‍රියාකාරීත්වයකින් යුත් සමාගමක් ලෙසින් පිළිගැනීමකට ලක් වූ මේ සම්මානය අපට බොහෝ වැදගත් වූවක්. එය විදේශීය වෙළෙඳ පොළේ දී අපේ නිෂ්පාදන කෙරෙහි විශේෂ අවධානයක් යොමුවීමට බලපාන්නක්. එමෙන්ම මෙවැනි කීර්තිමත් සම්මාන හිමිවීමට දැඩි සේ බලපාන්නේ නිෂ්පාදන ප්‍රමිතිය උසස් තත්ත්වයක පවත්වා ගැනීමට අප සමාගමේ කාර්ය මණ්ඩලය දක්වන දැඩි කැපවීම හා උනන්දුවයි.’ යන්නය.

මේ World Class Global Performance Excellence Awards සම්මාන උළෙලට කැලණි කේබල්ස් සමාගම නියෝජනය කරමින් එම සමාගමේ මෙහෙයුම් සාමාන්‍යාධිකාරී, උපුල් මහානාම මහතා හා තාක්ෂණික මෙහෙයුම් කළමනාකාරීනි, ශ්‍යාමා පෙරේරා මෙනෙවිය සහභාගී විය.

නව අදහස දක්වන්න