ආබාධිත ඡන්ද? | දිනමිණ

ආබාධිත ඡන්ද?

 නාවුල - අලහැර මාර්ගයේ පිහිටි පිටිසරබද ගම්මානයක උපාධිධාරිනියකගෙන් මේ කතාව ආරම්භ කරන්නට පුළුවන. ඇය දෘශ්‍යාබාධිත තැනැත්තියකි. මනෝවිද්‍යාව ඇතුළුව සමාජ විද්‍යා විෂයයන් හදාරා ශාස්ත්‍රවේදී උපාධිය ලබාගත් ඇය 2012දී අභ්‍යාසලාභී පත්වීමක් ලැබ පුහුණුව ආරම්භ කරයි. නියමිත පුහුණුව අවසන් කිරීමෙන් පසු මාතලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයයෙන් ඇයට කැඳවීමක් ලැබෙයි. ප්‍රජා සේවයට අදාළ පත්වීමක් මේ තැනැත්තියට ලබාදිය හැකි වුව නිලධාරීහු එය ප්‍රතික්ෂේප කළහ. ආබාධිතයකු කොහොම ද ප්‍රජා සේවය කරන‍්නේ? නිලධාරීන්ගේ ප්‍රශ්නය එය විය. දෘශ්‍යාබාධිත උපාධිධාරිනිය සිය සහතිකත් රැගෙන පෙරළා නිවසට පැමිණියා ය.

ඉහත සිද්ධියෙන් පෙනීයන්නේ ආබාධිත පුද්ගලයන්ට සලකන ක්‍රමයක් හෝ ඔවුන්ගේ කුසලතාවලින් රටට වැඩගන්නා ක්‍රමයක් හෝ අපට නැති බවය. දියුණු රටවල් ආබාධිත පුද්ගලයන් පුනරුත්ථාපනය කිරීම සඳහා විශාල මුදලක් වාර්ෂිකව වැය කරයි. ඒ හැරෙන්නට ඔවුන් සඳහා පහසුකම් ඇති කිරීමටත් වාර්ෂිකව විශාල මුදලක් වැය කරයි. ඇතැම් රටවල ගොඩනැගිලි ඉදිකිරීමේදී ආබාධිතයන්ට ගැළපෙන ලෙස ඒවායෙහි ප්‍රවේශමාර්ග ආදිය සකස් කරයි. ආබාධිත පුද්ගලයන්ට ද සමාන අයිතිවාසිකම් ඇති බව එම රටවල් පිළිගනී. ඔවුන් දෙස අනුකම්පාවෙන් බලනවාට වඩා ඔවුන් වෙත සමාන අයිතිවාසිකම් හා සමාන පහසුකම් ලබාදීම වැදගත් ය.

අප මේ කතාව ගොනුකළේ දෘශ්‍යාබාධිත උපාධිධාරීන්ගේ එකමුතුව පෙරේදා මහනුවරදී රැස්වීමක් පවත්වා රජයට අපූරු දැනුම්දීමක් කරන නිසා ය. එම එකමුතුව කියාසිටින්නේ රජය ආබාධිතයන්ගේ ඉල්ලීම් ගැන සැලැකිල්ලක් නොදක්වන නිසා මෙවර පළාත් පාලන මැතිවරණය වර්ජනය කරන බව ය. දෘශ්‍යාබාධිත උපාධිධාරීන්ගේ සංගමය පෙන්වා දෙන ලෙස මේ පණිවිඩය ලක්ෂ දාහතකට අධික සියලුම ආබාධිතයන් වෙත ගෙනයනු ලැබේ. ඊට අමතරව ආබාධිතයන්ගේ පවුල්වල අය ද, පවුල්වලට සම්බන්ධ වෙනත් පුද්ගලයන් ද සම්බන්ධ කරගනිමින් විරෝධතාවක් ලෙස මෙය ඉදිරියට ගෙන යනු ලැබේ. සියලුම ආබාධිතයන් එකතුවුවහොත් ලක්ෂ දාහතකගේ ඡන්දය පාවිච්චි නොවෙයි. පවුල් හා තවත් අය එකතුවුවහොත් තවත් ලක්ෂ ගණනක ඡන්දය පාවිච්චි නොවෙයි.

මැතිවරණය හා ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතාකරනවිට මෙය විහිළුවක් නොවන බව පෙනී යයි. රජය, රාජ්‍ය පාලනය, ජනතාවගේ අයිතීන් ආදිය සැලැකිල්ලට ගන්නාවිට ආබාධිත ප්‍රජාවගේ ඉල්ලීම් ගැන සලකා බලන තත්ත්වයක් ඇත්තේ ම නැති තරම් ය. දෘශ්‍යාබාධිත උපාධිධාරී සංගමය කියන ලෙස ඔවුන්ගේ එකමුතුවෙහි ඇත්තේ දෘශ්‍යාබාධිත උපාධිධාරීන් හැත්තෑ දෙනකු පමණි. හැත්තෑ දෙනාගේ ප්‍රශ්නය තව ම විසැඳී නැත. ඔවුන්ගේ සුදුසුකම් අනුව රැකියාවක් ලබාදීමට කිසිදු ආයතනයක් ඉදිරිපත්වී නැත. මේ වසර අවසන්වීමට ප්‍රථම තවත් දෘශ්‍යාබාධිත උපාධිධාරීන් තිස්දෙනකු විශ්වවිද්‍යාලවලින් පිටවෙන බව ද කියති. එවිට හැත්තෑවේ ගැටලුව සියය දක්වා ඉහළ යනු ඇත. වසරින් වසර ප්‍රමාණය විශාල වන්නට පුළුවන. ප්‍රශ්නය බැරෑරුම් වන්නටත් පුළුවන.

වරින්-වර අපේ ජනමාධ්‍ය පෙන්වා දෙන්නේ ආබාධිත පුද්ගලයන් ඉතා දක්ෂ අන්දමින් වැඩකරන අන්දම ය. රෝද පුටුවෙන් ගොස් රථවාහන අලුත්වැඩියා කරන ‘ගැරේජ් බාස්’ කෙනකු ගැන පුවත්පත්වල පළවී තිබිණි. දෑත අහිමි පුද්ගලයකු තමන්ගේ පාද යොදාගෙන මැෂිමක් තනා බිම් කොටන ආකාරය ගැන රූපවාහිනී චැනලවල ආකර්ෂණීය වැඩසටහන් නිර්මාණය වී තිබිණි. තව-තවත් වැඩකරන ආබාධිතයන් ගැන නොයෙක් විශේෂාංග අප ඇස ගැටී තිබේ. ඒවා නරක නැත. ආත්ම විශ්වාසයකින් යුතුව ජීවිතයට මුහුණදෙන ආබාධිතයෝ අපට නිතර මුණගැසෙති. එහෙත් ඔවුන්ගේ වැඩට හෝ නිර්මාණවලට හෝ උපකාරයක් දෙන ආයතනයක් දකින්නට නැත. ආබාධිතයන්ට ණය ලබාදීමට බැංකු පවා මැළිකමක් දක්වන බව පෙනී යයි.

අප මුලින් සඳහන් කළ මනෝවිද්‍යා උපාධිධාරිනිය පිළිබඳ ගැටලුව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු පිළිබඳ අමාත්‍යංශය වෙත යොමුකර තිබේ. එම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අමාත්‍යාංශයෙන් කිහිපවරක්ම ඒ ගැන විමසා තිබේ. එහෙත් කිසිවකුගෙන් පිළිතුරක් ලැබී නැති බව දැනගන්නට ලැබේ. මේ කතාන්දරයෙන් කියැවෙන්නේ ආබාධිතයන් ගැන සැලැකිල්ලක් දැක්වීමට කිසිවකු උනන්දු නොවන බව ය. මේ අතින් බලනවිට ආබාධිතයන් සංවිධානවීම වැදගත් ය. ඔවුන් පොදු මතයකට අනුව ඒකරාශී වී හඬක් නඟන්නේ නම්; කාගෙ-කාගේත් ඇස් ඇරෙනු ඇත.

බසයක හා දුම්රිය මැදිරියක ආබාධිතයන් උදෙසා අසුනක් වෙන් කිරීමෙන් පමණක් මේ ප්‍රජාවට සමාන අයිතිවාසිකම් ලබාදුන්නා වන්නේ නැත. ආබාධිතයන් සිය අධ්‍යාපනය ලබාගන්නේ බලවත් දුෂ්කරතා මැදය. ඒ සඳහා පහසුකම් ඇත්තේ ඉතා අල්ප වශයෙන් ය. ඇතැම් රටවල පාසල්වල පවා බ්‍රේල් ක්‍රමයෙන් අධ්‍යාපනය ලැබීමේ පහසුකම් ඇත. එහෙත් අපේ රටේ ආබාධිතයන්ගෙන් වැඩි පිරිසකට වෙන ම අධ්‍යාපනය ලැබීමට සිදුවී ඇත. තාක්ෂණය ඉතා වේගයෙන් දියුණු වන යුගයක ආබාධිතයන්ගේ අධ්‍යාපනය කෙතරම් පහසු කළ හැකි ද? එහෙත් අපේ කිසිදු ආයතනයක් ඒ ගැන පැහැදිලි වැඩසටහනක් සකස් කර නැත. සමාජ සේවා හා සුබසාධන අමාත්‍යාංශය රෝද පුටුවක් ලබාදුන්න ද වෙනත් සාධනීය වැඩසටහනක් ක්‍රියාත්මක කරන බවක් පෙනෙන්නට නැත. මීට කලකට පෙර ආබාධිතයන් සඳහා වෘත්තීය පුහුණුව ලබාදෙන ක්‍රමයක් තිබිණි. අද වනවිට එය ද අක්‍රීය වී ගොසිනි.

ආබාධිත ප්‍රජාව සම්බන්ධයෙන් සලකා බැලිය යුතු ප්‍රධාන කරුණු කිහිපයක් තිබේ. ඉන් පළමුවන්න නම්; ඔවුන් සිඟාකෑමට හෝ අනුන්ගෙන් යැපෙන හෝ තත්ත්වයකට ඇදදැමීම නොකළ යුතු බව ය. කොටින්ම ආබාධිතයන් යනු අසරණයන් නොවන බවත්; සිඟන්නන් නොවන බවත් සමාජය වටහාගත යුතු ය. ඔවුන් සමාන අයිතිවාසිකම් සහිත පුද්ගලයන් බව පළමුව වටහාගත යුතුය. 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...